සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 58 

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ප්‍රතිපදාත්මකව ම එතෙරවීම ඉස්මතු වී ඇත. එලෙස ප්‍රතිපදාත්මකව ම එතෙරවීම ඉස්මතුවීම එනම් දහමේ ස්වක්ඛාත ගුණය, මුලින් පැහැදිලි කරන ලදී. සන්දිට්ඨික, ඒහිපස්සික ගුණයන් ද පැහැදිලි කරන ලදී. මෙසේ ඒහිපස්සික ගුණයෙන් යුතු ධර්මය කල්‍යාණ මිත්‍රයෙකු විසින් පෙන්වා දෙනු ලබයි. කල්‍යාණ මිත්‍රයා එම දහම පෙන්වන විට තමාගේ නිමිතිවලට ගැලපීමක් නොවන නිසා එම දහමට යොමු වී බලන විටම, එම දහමටම ළං වී බැලීමක් සිදුවේ. එසේ දහමට ළං වන විට එහි හමුවීමක් නැත. මන්දයත් ස්වාක්ඛාත ලෙසට, එතෙර වීම ම දහම තුළ පවතී. එම දහමට ම ළං වී බලන විට, එම දහමටම ළං වී වටහා ගන්න විට එතෙර වීම සිදුවේ. එබැවින් එම දහම ‘ඕපනයික’ වේ. 

මෙලෙසට දහමට යොමුවන විට එතෙර වීමේ ප්‍රතිපදාව සිදුවේ. මෙලෙසට එතෙර වීමේ ප්‍රතිපදාව සිදුවන්නේ ඔහු තුළ ඇති මනා ප්‍රඥාව නිසාවෙනි. මේ ආකාරයට යමෙකුට දහමට යොමුවිය හැකි නම් ඔහු ප්‍රඥාවන්තයෙකි. තථාගත දහම ඇත්තේ ප්‍රඥාවන්තයාට පමණි. 

පඤ‍්ඤාවතො අයං ධම‍්මො, නායං ධම‍්මො දුප‍්පඤ‍්ඤස‍්සාති.” (අනුරුද්ධ සූත්‍රය – අ.නි. 5) 

“මේ ධර්‍මය ප්‍රඥා ඇත්තහුට ය. මේ ධර්‍මය දුෂ්ප්‍රාඥයාට නොවේ යැයි.”  

ප්‍රඥාවට හේතුව සිතීමේ හැකියාව (විචක්ෂණය) බව කලින් විස්තර කර ඇත. සිතීමේ හැකියාව නැති කෙනෙකුට කවරදාකවත් මේ දහමට යොමුවිය නොහැක. සිතීමේ හැකියාවෙන් යුතු කෙනා මේ පෙන්වන දහම ඒ ඒ කරුණු අනුව යොමුවී බලයි. විවිධ ක්‍රම වලින් පෙන්වන දහම ඒ ඒ ආකාරයටම ප්‍රඥාවන්තයා දකී. එසේ එම කරුණු වෙන් වෙන් වශයෙන් දකින විට එතෙර වන ප්‍රතිපදාව පෙන්වන දහමේ ස්වභාවය ප්‍රායෝගිකව සිදුවේ. මෙසේ වෙන් වෙන්ව පෙන්වූ කරුණු නුවණැති කෙනා එතෙර වන ලෙසම අත්විඳීමට යොමුවේ. එබැවින් ‘පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි’ ලෙස පැහැදිලි කර ඇත. මෙවන් වූ සුන්දර දහමකට යමෙකුට නිවැරදිව යොමුවිය හැකි නම් ඔහු සැබෑම වාසනාවන්තයෙකි. මෙලෙසට සැබෑම දහමට යොමු වන්නේම කල්‍යාණ මිත්‍රයාට නිවැරදිව යොමුවීම තුළිනි. 

පුන චපරං සුභූති, භික‍්ඛු කල්‍යාණමිත‍්තො හොති කල්‍යාණසහායො කල්‍යාණසම‍්පවඞ‍්කො. යම‍්පි සුභූති භික‍්ඛු කල්‍යාණමිත‍්තො හොති කල්‍යාණසහායො කල්‍යාණසම‍්පවඞ‍්කො, ඉදම‍්පි සුභූති සද‍්ධස‍්ස සද‍්ධාපදානං හොති.” (සුභූති සූත්‍රය – අ.නි. 6) 

“තවද සුභූතියෙනි, භික්ෂුව කල්‍යාණ මිතුරන් ඇතියේ වේ, කල්‍යාණ යහළුවන් ඇතියේ වේ, කල්‍යාණ මිතුරන් කෙරෙහි නැඹුරු වූයේ වෙයි, සුභූතියෙනි, යම් හෙයකින් භික්ෂුව කල්‍යාණ මිතුරන් ඇතියේ කල්‍යාණ යහළුවන් ඇතියේ කල්‍යාණ මිතුරන් කෙරෙහි නැඹුරුවූයේ වේ ද, සුභූතියෙනි, මෙය ද ශ්‍රද්ධාවන්තයාගේ ශ්‍රද්ධාවෙන් යුතු වීර්‍ය වේ.”  

කල්‍යාණමිත‍්තො ච හොති කල්‍යාණසහායො කල්‍යාණසම‍්පවඞ‍්කො. සම‍්මාදිට‍්ඨිකො හොති සම‍්මාදස‍්සනෙන සමන‍්නාගතො.” (ආහුනෙය්‍ය සූත්‍රය – අ.නි. 6) 

“කල්‍යාණ මිතුරන් ඇතියේ වේ, කල්‍යාණ යහළුවන් ඇතියේ වේ, කල්‍යාණ මිතුරන්ට නැඹුරු වූයේ වේ. සම්මා දිට්ඨියෙන් යුක්ත වෙයි. සම්මා දර්ශයෙන් සමන්වාගත වේ.”  

මෙම සියලුම කරුණු සලකා බලන විට කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ වටිනාකම මැනවින් ඉස්මතු වේ. එලෙසට කල්‍යාණ මිත්‍ර සම්පත්තියට යොමුවීමෙන්ම, එවන් සුන්දර දහමක වූ ප්‍රතිපදාවට යොමු වේ. තම තමන්ට අයත් වූ කිසිඳු දෙයක් ඉස්මතු නොවේ. යමෙක් තම තමන්ට අයත් යැයි කොපමණ සිතුව ද, එය ද බාහිර අරමුණු හා සම්බන්ධ වීමකි. එබැවින් එම බාහිරත්වය කල්‍යාණ මිතුරාටම යොමු වන්නේ නම් එම ජීවිතය මනාව සුන්දර වේ. එසේ සුන්දර ජීවිතය, නිර්භයව ජීවත් වේ. 

අරියසාවකො පඤ‍්චභයානි සමතික‍්කන‍්තො හොති, කතමානි පඤ‍්ච: ආජීවිකභයං, අසිලොකභයං, පරිසසාරජ‍්ජභයං, මරණභයං, දුග‍්ගතිභයං.” 

“ආර්‍ය ශ්‍රාවකයා පහක් වූ භය ඉක්ම වූයේ වෙයි. කවර පහක් ද යත්: ආජීවික (ජීවන පැවැත්ම පිළිබඳ) භය, අසිලෝක භය (ගැරහුම් ලැබීමේ භය) පරිසසාරජ්ජ භය (පිරිස්මැද සිටීමේ භය) මරණ භය, දුග්ගති භය යි.”  

එතදග‍්ගං භික‍්ඛවෙ, දානානං යදිදං ධම‍්මදානං. එතදග‍්ගං භික‍්ඛවෙ, පෙය්‍යවජ‍්ජානං යදිදං අත්‍ථිකස‍්ස ඔහිතසොතස‍්ස පුනප‍්පුනං ධම‍්මං දෙසෙති. එතදග‍්ගං භික‍්ඛවෙ, අත්‍ථචරියානං යදිදං අස‍්සද‍්ධං සද‍්ධාසම‍්පදාය සමාදපෙති නිවෙසෙති පතිට‍්ඨාපෙති. දුස‍්සීලං සීලසම‍්පදාය සමාදපෙති නිවෙසෙති පතිට‍්ඨාපෙති, මච‍්ඡරිං චාගසම‍්පදාය සමාදපෙති නිවෙසෙති පතිට‍්ඨාපෙති. දුප‍්පඤ‍්ඤෙ පඤ‍්ඤාසම‍්පදාය සමාදපෙති නිවෙසෙති පතිට‍්ඨාපෙති, එතදග‍්ගං භික‍්ඛවෙ, සමානත‍්තතානං යදිදං සොතාපන‍්නො සොතාපන‍්නස‍්ස සමානත‍්තො, සකදාගාමී සකදාගාමිස‍්ස සමානත‍්තො, අනාගාමී අනාගාමිස‍්ස සමානත‍්තො, අරහං අරහතො සමානත‍්තො. ඉදං වුච‍්චති භික‍්ඛවෙ සඞ‍්ගහබලං.” (බලසඞ්ගහවත්ථු සූත්‍රය – අ.නි. 5) 

“මහණෙනි, යම් මේ ධර්‍ම දානයෙක් වේ ද, දානයන් අතුරෙන් මෙය අග්‍ර යි. මහණෙනි, කන් යොමුකර ගැනීමෙන් යුක්ත, ධර්‍ම දේශනාවෙන් ප්‍රයෝජන ඇතියකු හට පුනපුනා දම් දෙසන්නේය යන යමෙක් වේ නම් ප්‍රියවචන අතුරෙහි එය අග්‍ර යි. මහණෙනි, ශ්‍රද්ධාව නැති අයෙකු ශ්‍රද්ධා සම්පත්තියෙහි සමාදන් කරවයි, වාසය කරවයි, පිහිටුවයි. දුස්සීල අය ශීල සම්පත්තියෙහි සමාදන් කරවයි, වාසය කරවයි, පිහිටුවයි. මසුරු අය ත්‍යාග සම්පත්තියෙහි සමාදන් කරවයි. වාසය කරවයි. පිහිටුවයි. දුෂ්ප්‍රාඥයන් ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් කරවයි. වාසය කරවයි. පිහිටුවයි යන මෙබඳු යමෙක් වේ නම් අර්ථචර්යාවන් අතුරෙහි මේ අග්‍ර යි. සෝතාපන්න වූයේ සෝතාපන්නයෙකු හට සමානාත්ම වෙයි. සකදාගාමී වූයේ සකදාගාමියෙකු හට සමානාත්ම වෙයි. අනාගාමී වූයේ අනාගාමියෙකු හට සමානාත්ම වෙයි. අර්‍හත් වූයේ රහතන් වහන්සේලා හට සමානාත්ම වෙයි යන මෙබඳු යමෙක් වේ නම් සමානාත්මතාවන් අතුරෙහි මේ අග්‍ර යි. මහණෙනි, මේ සඞ්ග්‍රහ බලය යැයි කියනු ලැබේ.”  

එසේ සුන්දරව ජීවත්වන කෙනා තුළ කිසිඳු ලෙසකින් මරණ භය ආදී කිසිවක් ඇති නොවේ. ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම දහමත් සමඟම පවතී. එම නිසාම දානය, ප්‍රිය වචනය, අර්ථ චරියාව තුළින් මුළුමනින්ම දහම ඉස්මතු වී ඇත. මෙවැනි පුද්ගලයෙක් ලෝකය තුළ නිර්භයව, විශාරදව ජීවත් වේ. මෙසේ විශාරදව, නිර්භයව සතුටින් ජීවත් වීමට නම් මේ දක්වා වූ ප්‍රතිපදාව එලෙසටම අනුගමනය කළ යුතු වේ. 

අථ ඛො භිය්‍යොව යෙ උපාසකා මම සාවකා ගිහී ඔදාතවසනා කාමභොගිනො සාසනකරා ඔවාදපතිකරා තිණ‍්ණවිචිකිච‍්ඡා විගතකථඞ‍්කථා වෙසාරජ‍්ජප‍්පත‍්තා අපරප‍්පච‍්චයා සත්‍ථුසාසනෙ විහරන‍්තීති.” (මහාවච්ඡගොත්ත සූත්‍රය – ම.නි. 2) 

“ඉක්බිති මාගේ ශ්‍රාවක වූ ගිහි සළු පිළි හඳින කාමභෝගී වූ, ශාසනය කරන ලද වූ, අවවාද පිළිගෙන කරන ලද, විචිකිච්ඡාව ඉක්මවා, සැක සංකා දුරු කොට, විශාරද බවට පැමිණි, ශාස්තෘ ශාසනයෙහි අනුන්ගේ උපකාරයකින් තොරව යම් උපාසක කෙනෙක් වෙසෙත් ද, එබඳු උපාසකයෝ බොහෝ වෙති.”  

ගැඹුරු දහම පෙන්වන කල්‍යාණ මිත්‍රයාට යොමු වී විමුක්තිකාමී චින්තනය ද, සත්‍යගවේශී බව ද ඇති කර ගනිමින් කිසිම ගැලපීමක් නොකොට, විචක්ෂණශීලී බව ඉස්මතු කර ගත යුතු වේ. එලෙස වූ ජීවිතයට කල්‍යාණ මිතුරා අනුකම්පා කොට නිවන් මාර්ගයේ හික්මවනු ලැබේ. මේ සඳහා සාගරයක් බඳු වූ ගුණධර්ම ඇති ජිවිතයක් අත්‍යාවශ්‍ය ම වේ. ඒ සියල්ල හොඳින් ඇති කර ගෙන ‘ස්වකීයත්වය දැක්ම’ දුරු කොට සැබෑම තථාගත දහමට යොමු වීමට මේ සියලුම කරුණු, කල්‍යාණ මිතුරු දහම් පඬුරක්ම වේවා! 

සමාප්තයි! 

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි 

රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය 

වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ