සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 57 

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ධර්මයේ දී, ප්‍රතිපදාත්මකව ම එතෙරවීම සිදුවේ. එම දහම පහුරකට ද උපමා කොට භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එතෙරවීම සඳහා පෙන්වන දහම ද ග්‍රහණය වීමක් නොවන්නක් බව ද, ස්වාක්ඛාත ගුණයෙන් මනාව තහවුරු වේ. ඒ පිළිබඳව කිංදිට්ඨික සූත්‍රයේ ද විස්තර වේ.  

යං ඛො භන‍්තෙ කිඤ‍්චි භූතං සංඛතං චෙතයිතං පටිච‍්චසමුප‍්පන‍්නං තදනිච‍්චං, යදනිච‍්චං, තං දුක‍්ඛං, යං දුක‍්ඛං තං නෙතං මම, නෙසො’හමස‍්මි’ න මෙසො අත‍්තාති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨං තස‍්ස ච උත‍්තරිං නිස‍්සරණං යථාභූතං පජානාමීති.” (කිංදිට්ඨික සූත්‍රයඅ.නි. 6) 

“ස්වාමීනි, යම් කිසිවක් හටගත්ත ද, සකස්වූ ද, සිතූ ද, ප්‍රත්‍යයෙන් උපන්නේ ද, එය අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම්, එය දුක යි. යමක් දුක ද එය ‘මාගේ නොවෙයි, මම නොවෙමි, මාගේ ආත්මය (අල්වාගැනීමක්) නොවෙයි. මෙසේ යථාර්ථ වශයෙන් මනා ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. එයට ද මත්තෙහි නිස්සරණය ඇති බව යථාර්ථ වශයෙන් ප්‍රඥාවෙන් දනිමි’යි.”  

යථාර්ථ වශයෙන් (ප්‍රඥාවෙන්) දකින ආකාරය ද ඉක්මවන බව ඉහත පෙන්වූ කිංදිට්ඨික සූත්‍රයෙන් හොඳින්ම ඉස්මතු වේ. මෙය වෙන කෙනෙකුගේ දැක්මක් නොවන අතරම, ‘ස්වකීයත්වය දැක්ම’ (සක්කාය දිට්ඨිය) නැති ස්වයං දැක්මකි (සන්දිට්ඨික). මෙම කියමන තුළම බාහිරව සහ අභ්‍යන්තරව (ද්වයතාවයක්) නොවන, ආධ්‍යත්මික (මැනීමකින් තොර, කේවල වූ) මනා දැක්ම ම ඉස්මතු වේ. බාහිර අරමුණු වන රූප, ශබ්ද ආදී ආරම්මණ ද විශේෂයෙන් ධම්මාරම්මණ ද ඉස්මතුවන්නේ නම් එය බාහිරට විසිරීමකි. එසේ වුවහොත් එය සැබෑම ස්වයං දැක්මක් නොවේ. ධම්මාරම්මණ සිදුවීම, බාහිරට විසිරීමක් මෙන්ම අර්ථ උපපරීක්ෂණය නොවීම බව ද උද්දෙසවිභඞ්ග සූත්‍රයේ සඳහන් විය. එය මුලින් විස්තර කරන ලදී. යමෙකු ජීවත්වීම යනු කුමන හෝ ආයතනයක් සමඟ සිටීම යි.  

යත්‍ථ ඛො සමිද‍්ධි, අත්‍ථි චක‍්ඛු, අත්‍ථි රූපා, අත්‍ථි චක‍්ඛුවිඤ‍්ඤාණං, අත්‍ථි චක‍්ඛුවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බා ධම‍්මා, අත්‍ථි තත්‍ථ ලොකො වා ලොකපඤ‍්ඤත‍්ති වා -පෙ- අත්‍ථි මනො අත්‍ථි ධම‍්මා අත්‍ථි මනොවිඤ‍්ඤාණං අත්‍ථි මනොවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බා ධම‍්මා, අත්‍ථි තත්‍ථ ලොකො වා ලොකපඤ‍්ඤත‍්ති වා.” (සමිද්ධි ලෝකපඤ්හ සූත්‍රයස.නි. 4) 

“සමිද්ධිය, යම් තැනෙක ඇස ඇති ද, රූපයෝ ඇති ද, චක්‍ඛු විඤ්ඤාණය (ඇසේ දැනගැනීම) ඇති ද, චක්‍ඛු විඤ්ඤාණයෙන් දතයුතු දහම් (ඇසේ දැනගැනීමෙන් දැනගැනීම්) ඇති ද, එහි ‘ලෝකය’ හෝ ‘ලෝක ප්‍රඥප්ති ය (ලෝක පැනවීම)’ හෝ වේ … … මනස ඇති ද, ධර්‍මයෝ ඇති ද, මනෝ විඤ්ඤාණ‍ය ඇති ද, මනෝ විඤ්ඤාණයෙන් දත යුතු දහම් ඇති ද, එහි ‘ලෝකය’ හෝ ‘ලෝක ප්‍රඥප්තිය’ හෝ ඇත.”  

අස‍්මීති භික‍්ඛවෙ මඤ‍්ඤිතමෙතං, අයමහමස‍්මීති මඤ‍්ඤිතමෙතං, භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං, න භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං, රූපී භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං, අරූපී භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං, සඤ‍්ඤී භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං, අසඤ‍්ඤී භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං, නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී භවිස‍්සන‍්ති මඤ‍්ඤිතමෙතං; මඤ‍්ඤිතං භික‍්ඛවෙ රොගො, මඤ‍්ඤිතං ගණ‍්ඩො, මඤ‍්ඤිතං සල‍්ලං. තස‍්මාතිහ භික‍්ඛවෙ අමඤ‍්ඤමානෙන චෙතසා විහරිස‍්සාමාති, එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බං.” (යවකලාපී සූත්‍රය – ස.නි. 4) 

“මහණෙනි, ‘වෙමි’යි යන මෙය මඤ්ඤනාවෙකි (හැඟීමකි). ‘මේ මම වෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘වන්නෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘නොවන්නෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘රූපී වන්නෙමි’යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘අරූපී වන්නෙමි’යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘සංඥී වන්නෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘අසංඥී වන්නෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘නේවසංඥීනාසංඥී වන්නෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. මහණෙනි, මඤ්ඤනාව රෝගයෙකි. මඤ්ඤනාව ගෙඩියකි. මඤ්ඤනාව උලකි. මහණෙනි, එහෙයින් මෙහි ලා මඤ්ඤනා රහිත සිතින් යුතුව වෙසෙන්නෙමු’යි මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු යි.”  

යමෙක් ජීවත් වෙනවා යන්නම ආයතන පැවැත්ම ම යි. එවිට මනස කවරදාකවත් අරමුණු නැතිව නො පවතී. 

චක‍්ඛුං ඛො මාගන්‍දිය රූපාරාමං රූපරතං රූපසම‍්මුදිතංපෙ – සොතං – පෙ – ඝානං – පෙ – ජිව‍්හා – පෙ – කායො – පෙමනො ඛො මාගන්‍දිය ධම‍්මාරාමො ධම‍්මරතො ධම‍්මසම‍්මුදිතො. සො තථාගතස‍්ස දන‍්තො ගුත‍්තො රක‍්ඛිතො සංවුතො. තස‍්ස ච සංවරාය ධම‍්මං දෙසෙති. ඉදං නු තෙ එතං මාගන්‍දිය, සන්‍ධාය භාසිතං:‘භූනහු සමණො ගොතමො’ති. එතදෙව ඛො පන මෙ භො ගොතම සන්‍ධාය භාසිතං. භූනහු සමණො ගොතමො’ති. තං කිස‍්ස හෙතු: එවං හි නො සුත‍්තෙ ඔචරතී’ති” (මාගන්‍දිය සූත්‍රයම.නි. 2) 

“මාගන්‍දිය, ඇස වනාහි රූපය ආරාමය (වාසස්ථානය) වේ. රූපය ඇලුණේ වේ. රූපය සතුටුවීම වේ. – පෙ – කන – පෙ – නාසය – පෙ – දිව – පෙ – කය – පෙ – මනස වනාහි ධර්‍මය (අරමුණු) ආරාමය (වාසස්ථානය) වේ, ධර්‍මය ඇලුණේ වේ, ධර්‍මය සතුටුවීම වේ. එය තථාගතයන් විසින් දමනය කරන ලදී, ගෝපනය කරන ලදී, රක්නා ලදී, සංවර කරන ලදී. එය සංවරය පිණිස දහම් දෙසති. මාගන්‍දිය, තොප විසින් “ශ්‍රමණ ගෞතමයන් විනාශයක් පණවන්නෙක් යැයි කියන ලද දැ? යි. භවත් ගෞතමයන් වහන්සේ මා විසින් මේ සඳහාම “ශ්‍රමණ ගෞතම විනාශය පණවන්නෙක් යැයි කියන ලදී. ඒ කවර හෙයින් ද යත්: අපගේ සූත්‍රයෙහි මෙසේ එන හෙයිනි. ” 

මනස අරමුණු සමඟ පවතින්නේ නම් එය බාහිර සමඟ ජීවත්වීමකි. එය සැබෑම ස්වයං දැක්මක් නොවේ. එය කිලිටි වීමකි. 

පභස‍්සරමිදං භික‍්ඛවෙ චිත‍්තං. තඤ‍්ච ඛො ආගන‍්තුකෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨන‍්ති.” (අ.නි. 1) 

“මහණෙනි, මේ සිත ප්‍රභාස්වර ය, එය ද වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වූයේ වෙති.”  

අරමුණු සමඟ නොයා ජීවත් වීමක් ද නැත. එසේ ජීවත් වන විට ආගන්තුක උපක්ලේශ සහිතය. එය සැබෑම ස්වයං දැක්ම නොවේ. සැබෑම ස්වයං දැක්ම තුළ සිදුවන්නේ එතෙරවීම පමණි. එයත් දහමේ ගුණයකි. එය සන්දිට්ඨික ගුණය වේ.  

නනු භික‍්ඛවෙ යදෙව තුම‍්හාකං සාමං ඤාතං සාමං දිට‍්ඨං සාමං විදිතං තදෙව තුම‍්හෙ වදෙථාති. එවම‍්භන‍්තෙ. 

සාධු භික‍්ඛවෙ. උපනීතා ඛො මෙ තුම‍්හෙ භික‍්ඛවෙ ඉමිනා සන්‍දිට‍්ඨිකෙන ධම‍්මෙන අකාලිකෙන එහිපස‍්සිකෙන ඔපනයිකෙන පච‍්චත‍්තං වෙදිතබ‍්බෙන විඤ‍්ඤූහි. සන්‍දිට‍්ඨිකො “අයං භික‍්ඛවෙ ධම‍්මො අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බොවිඤ‍්ඤූහී”ති.” (මහාතණ්හාසඞ්ඛය සූත්‍රය – ම.නි. 1) 

“මහණෙනි, යම් වූ තොප විසින් ස්වයං නුවණින් දැක්මක් වේ ද, ස්වයං දැක්මක් වේ ද, ස්වයංව දත යුතු ද, එයම තෙපි කියන්නාහු නොවේ ද? වහන්ස, එසේ ය. 

හොඳයි මහණෙනි, මා විසින් මේ සංදිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බ වූ ධර්මයෙන් තෙපි පමුණුවන ලද්දහු ය. මහණෙනි, “මේ ධර්‍මය සංදිට්ඨික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඕපනයික ය, පච්චත්තං වේදිතබ්බ ය”  

‘ස්වකීයත්වය දැක්ම’ දුරුවීමත් සමඟ ම අතීත, අනාගත, වර්තමාන පැවැත්ම ගැන සම්පූර්ණම කතාව දුරු වේ. එය ඉහතින් මනාව පැහැදිලි කළහ. එබැවින් මෙම දහම අකාලික වේ. මෙම ධර්මය කල්‍යාණ මිතුරෙකුගෙන් ඇසෙන්නකි. එසේ ඇසෙන ධර්මය ගම්භීර, දුද්දස, අතක්කාවචර වේ. එහි කිසිවක්ම තම තමන්ගේ අත්දැකීම් ලෝකය සමඟ ගැලපීමට ගත නොහැක. එම නිසා එම දහමට යා යුතුම වේ. තමන්ගේ අත්දැකීමකින් නිමිති වලින් ගලපන විට, එය ඇද ගැනීමකි. නමුත් දහමේ ස්වභාවය එයට යොමුවීමකි. එය සිදුවන්නේ එම ධර්මය කියන පුද්ගලයාට, එනම් කල්‍යාණ මිත්‍රයාට සම්පූර්ණයෙන්ම යොමුවීමෙනි. මේ ධර්මය තුළින් ඉස්මතු වන්නේ ඇවිත් බැලිය යුතු බව යි. එමනිසා ‘ඒහිපස්සික’ ලෙස ඉස්මතු වී ඇත. 

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි 

රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය 

වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ