සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 56 

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව ආර්ය න්‍යාය දර්ශනයවීම සිදුවන විට, කාලික බව ද, අකාලික බව ද (අතීත, අනාගත, වර්තමාන) පිළිබඳව ද ඤාණය ඇතිවේ. ඒ පිළිබඳව පහත සූත්‍ර තුළින් මනාව තේරුම් ගත හැක. 

යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකො එවං ජරාමරණං පජානාති, එවං ජරාමරණසමුදයං පජානාති, එවං ජරාමරණනිරොධං පජානාති, එවං ජරාමරණනිරොධගාමිනිං පටිපදං පජානාති, ඉදමස‍්ස ධම‍්මෙ ඤාණං. සො ඉමිනා ධම‍්මෙන දිට‍්ඨෙන විදිතෙන අකාලිකෙන පත‍්තෙන පරියොගාළ‍්හෙන අතීතානාගතෙ නයං නෙති. 

යෙ ඛො කෙචි අතීතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා ජරාමරණං අබ‍්භඤ‍්ඤංසු, ජරාමරණසමුදයං අබ‍්භඤ‍්ඤංසු, ජරාමරණනිරොධං අබ‍්භඤ‍්ඤංසු, ජරාමරණනිරොධගාමිනිං පටිපදං අබ‍්භඤ‍්ඤංසු, සබ‍්බෙ තෙ එවමෙව අබ‍්භඤ‍්ඤංසු, සෙය්‍යථාපහං එතරහි. යෙපි හි කෙචි අනාගතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා ජරාමරණං අභිජානිස‍්සන‍්ති, ජරාමරණසමුදයං අභිජානිස‍්සන‍්ති, ජරාමරණනිරොධං අභිජානිස‍්සන‍්ති, ජරාමරණනිරොධගාමිනිං පටිපදං අභිජානිස‍්සන‍්ති, සබ‍්බෙ තෙ එවමෙව අභිජානිස‍්සන‍්ති, සෙය්‍යථාපහං එතරහි. ඉදමස‍්ස අන‍්වයෙ ඤාණං. -පෙ-” (ඤාණවත්ථු සූත්‍රය – ස.නි. 2) 

“මහණෙනි, යම් කලෙක ආර්ය ශ්‍රාවකයා මෙසේ ජරාමරණ ප්‍රඥාවෙන් දනී ද, මෙසේ ජරාමරණ සමුදය ප්‍රඥාවෙන් දනී ද, මෙසේ ජරාමරණ නිරෝධය ප්‍රඥාවෙන් දනී ද, මෙසේ ජරාමරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව ප්‍රඥාවෙන් දනී ද, මෙය ඔහුගේ දහමෙහි නුවණ ය. ඔහු මේ ධර්මයන් දැකීමෙන්, පත්වීමෙන්, කාලික නොවීමෙන්, ප්‍රත්‍යක්ෂවීමෙන්, බැසගැනීමෙන්, අතීත අනාගත පිළිබඳව න්‍යායට පමුණුවයි. 

අතීත කාලයෙහි යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ජරාමරණ ප්‍රඥාවෙන් දත්තාහු ද, ජරාමරණ සමුදය ප්‍රඥාවෙන් දත්තාහු ද, ජරාමරණ නිරෝධය ප්‍රඥාවෙන් දත්තාහු ද, ජරාමරණ- නිරෝධගාමිනී ප්‍රතිපදාව ප්‍රඥාවෙන් දත්තාහු ද, ඒ සියල්ලෝ එසේම ප්‍රඥාවෙන් දත්තාහු නම් මම දැන් යම්සේ දත් හෙයින් ය. අනාගත කාලයෙහි යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ජරාමරණ ප්‍රඥාවෙන් දන්නාහු ද, ජරාමරණ සමුදය ප්‍රඥාවෙන් දන්නාහු ද, ජරාමරණ නිරෝධය ප්‍රඥාවෙන් දන්නාහු ද, ජරාමරණ- නිරෝධගාමිනී ප්‍රතිපදාව ප්‍රඥාවෙන් දන්නාහු ද, ඒ සියල්ලෝ එසේ ම ප්‍රඥාවෙන් දන්නාහු නම් මම දැන් යම්සේ දත් හෙයින් ය. මේ ඔහුගේ අනුව යන ඤාණය යි. -පෙ-”  

ජාතිපච‍්චයා ජරාමරණන‍්ති ඤාණං, අසති ජාතියා නත්‍ථි ජරාමරණන‍්ති ඤාණං, අතීතම‍්පි අද‍්ධානං ජාතිපච‍්චයා ජරාමරණන‍්ති ඤාණං, අසති ජාතියා නත්‍ථි ජරාමරණන‍්ති ඤාණං, අනාගතම‍්පි අද‍්ධානං ජාතිපච‍්චයා ජරාමරණන‍්ති ඤාණං, අසති ජාතියා නත්‍ථි ජරාමරණන‍්ති ඤාණං, යම‍්පිස‍්ස තං ධම‍්මට‍්ඨිති ඤාණං තම‍්පි ඛයධම‍්මං වයධම‍්මං විරාගධම‍්මං නිරොධධම‍්මන‍්ති ඤාණං. -පෙ-” (දුතියඤාණවත්ථු සූත්‍රය – ස.නි. 2) 

“ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ යැයි නුවණක් ය, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැයි නුවණක් ය, අතීත කාලයෙහි ද ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වී යැයි නුවණක් ය, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැයි නුවණක් ය, අනාගත කාලයෙහි ද ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වන්නේ යැයි නුවණක් ය, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැයි නුවණක් ය, යම් ඒ ධර්ම ස්වභාවය (මුලින් විග්‍රහ කළ ධර්ම න්‍යායන්) පිළිබඳව ඤාණයක් වන්නේ නම් එය ද ක්‍ෂයවන ස්වභාවයෙන් යුක්ත ය, නැසෙන ස්වභාවයෙන් යුක්ත ය, නොඇලෙන ස්වභාවයෙන් යුක්ත ය, නිරෝධ ස්වභාවයෙන් යුක්ත ය යන නුවණ ය. -පෙ-”  

අතීත අනාගතයට නය පැමිණවීම පෙන්වීමෙන් අතීත අනාගතය ඇත හෝ නැත යන්න අදහස් නො වේ. එමෙන්ම වර්තමානය යන්නත් ඉස්මතු කර නැත. ඒ සඳහා පටිච්ච සමුප්පාද බව පෙන්වා දී ඇත. පටිච්ච සමුප්පාද බව දකින විට වර්තමානය ‘ඇත’ හෝ ‘නැත’ යන්න ඉස්මතු නොවී, එතෙර වීමේ දර්ශනය සිදුවේ. එය ‘මෙය ඇති කල්හි මෙය වේ’ යන්නෙන් මනාව විග්‍රහ කර ඇත. අතීත හා අනාගත යන්න පැනවෙන්නේම වර්තමානය ‘ඇත’ යන්න ඉස්මතු වූ විට යි. අතීත අනාගත ‘නැත’ යන්න පැනනගින්නේත් වර්තමානය ‘නැත’ යන්න සිදු වූ විටය. මේ දෙකම නොයෙදෙන විට කතාව අවසන් වී එතෙර වීමට අනුගත වේ. 

අතීතං ඛො ආවුසො එකො අන‍්තො, අනාගතං දුතියො අන‍්තො, පච‍්චුප‍්පන‍්නං මජ‍්ඣෙ, තණ‍්හා සිබ‍්බනී. තණ‍්හා හි නං සිබ‍්බති තස‍්ස තස‍්සෙව භවස‍්ස අභිනිබ‍්බත‍්තියා. එත‍්තාවතා ඛො ආවුසො භික‍්ඛු අභිඤ‍්ඤෙය්‍යං අභිජානාති පරිඤ‍්ඤෙය්‍යං පරිජානාති, අභිඤ‍්ඤෙය්‍යං අභිජානන‍්තො පරිඤ‍්ඤෙය්‍යං පරිජානන‍්තො දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොතී”ති.” (මජ්ඣෙ සූත්‍රය – අ.නි. 4) 

“ඇවැත්නි, අතීතය එක් අන්තයකි, අනාගතය දෙවන අන්තයකි, පච්චුප්පන්නය මැදයි. තණ්හාව මැහුම්කාරිය යි. ඒ තණ්හාවම ඒ ඒ පැවැත්මේ විශේෂයෙන් බැසගැනීම, මැහීම කරයි. ඇවැත්නි, මෙතෙකින් භික්ෂුව විශේෂයෙන් අවබෝධකළ යුත්ත විශේෂයෙන් අවබෝධ කරයි. පිරිසිඳ දත යුත්ත පිරිසිඳ දකී. විශේෂයෙන් අවබෝධ කොට යුත්ත, විශේෂයෙන් අවබෝධ කොට, පිරිසිඳ දත යුත්ත, පිරිසිඳ දැන දිටුදැහැමෙහිම දුක කෙළවර කරන්නේ වෙයි.”  

‘වර්තමානයක්’ යන්න ඇති විට, එනම් ප්‍රත්‍යයෙන් ඉපදීම නොදැකීම නම් වූ තැවරීම නිසා ‘අතීත අනාගත’ යන අන්ත ඉස්මතු වේ. නමුත් ප්‍රත්‍යයෙන් ඉපදීම දකින විට වර්තමානය ‘ඇත හෝ නැත’ ලෙස තැවරීමක් සිදු නොවී ‘අතීත අනාගත අන්ත’ වලට නොගොස් පැවැත්ම ම ඉක්මවේ. ප්‍රත්‍යයෙන් ඉපදීම නොදකින විට වර්තමානය ‘ඇත හෝ නැත’ යන්නෙන් පැවැත්ම සිදුවන නිසා ‘අතීත අනාගතයන්’ ද ‘ඇත හෝ නැත’ යන්න ඉස්මතු වේ. මේ ආකාරයට පැවැත්මක් සිදුවේ. මෙය පැවැත්ම ම නම් වූ තණ්හාව වේ. මේ තණ්හා ක්‍රියාකාරිත්වය ද දකිමින් සිටින විට සියලු දුක ඉක්මවන, එතෙර වන ආකාරය ඉහත මජ්ඣෙ සූත්‍රයේ සඳහන් වේ. මෙවැනි සුන්දර ප්‍රතිපදාවක් සිදුවන්නේ එලෙස පෙන්වූ එතෙර වන දහම නිසාය. 

ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො සන්‍දිට‍්ඨිකො අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහී’ති” (මහානාම සූත්‍රය – අ.නි. 6) 

“භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මනා කොට දේශනා කරන ලද්දක් ය. ස්වයං දැකීමක් ය. කාලික බව ඉස්මතු නොවන්නක් ය. ඇවිත් බලවක් ය (දහම විසින්, ඇවිත් බලන්න යැයි කියවෙන්නක් ය). ළං වී බැලීමක් ය (දහමට). වෙන් වෙන් වශයෙන් නුවණැත්තන් දත යුත්තක් ය.”  

මෙම දහම තුළ සම්පූර්ණයෙන්ම ප්‍රතිපදාව ඉස්මතු වී ඇත. එනම් ‘ස්වකීයත්වය දැක්ම’ (සක්කාය දිට්ඨිය) ඉක්මවමින්, පැවැත්ම සිදු නොවී, තව දෙයකට දාස නොවී, හික්මෙන වැඩපිළිවෙළ පෙන්වා දී ඇත. කිසිඳු විදියකට හමුවීමක් හෝ ලැග ගැනීමක් සිදුවන්නේ නැත. සම්මා සම්බුදුවරුන්ට ආවේණිකම වූ දහමේ මුල සිටම බලන විට අවසානය දක්වාම එතෙර වන ප්‍රතිපදාව මනාව ඉස්මතු වේ. එබැවින් එම දහම ස්වාක්ඛාත වේ. එනම් ‘ස්වකීයත්වය දැක්මේ’ වැරැද්දේ සිටම පැවැත්ම ඉක්මවන වැඩපිළිවෙළ දක්වාම මනා වූ ප්‍රතිපදාවෙන් යුතු බවයි. එම දැක්ම ද අල්වා ගැනීමක් නොවේ. 

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි 

රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය 

වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ