සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 55 

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට යමෙක් අනුගත වූ විට එතෙර වන ප්‍රතිපදාව දර්ශනය වේ. එසේ යොමු වූ අය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වේ. මේ ශ්‍රාවකයන්ගේ හික්මෙන වැඩපිළිවෙළ පිළිබඳ මනා විග්‍රහයක් චේතනාකරණීය සූත්‍රවල සඳහන් වේ. 

සීලවතො භික‍්ඛවෙ සීලසම‍්පන‍්නස‍්ස න චෙතනාය කරණීයං “අවිප‍්පටිසාරො මෙ උප‍්පජ‍්ජතූ”ති. ධම‍්මතා එසා භික‍්ඛවෙ යං සීලවතො සීලසම‍්පන‍්නස‍්ස අවිප‍්පටිසාරො උප‍්පජ‍්ජති. අවිප‍්පටිසාරිස‍්ස භික‍්ඛවෙ න චෙතනාය කරණීයං “පාමොජ‍්ජං උප‍්පජ‍්ජත‍්තූ”ති. ධම‍්මතා එසා භික‍්ඛවෙ යං අවිප‍්පටිසාරිස‍්ස පාමොජ‍්ජං උප‍්පජ‍්ජති. පමුදිතස‍්ස භික‍්ඛවෙ න චෙතනාය කරණීයං “පීති මෙ උප‍්පජ‍්ජතූ”ති. ධම‍්මතා එසා භික‍්ඛවෙ යං පමුදිතස‍්ස පීති උප‍්පජ‍්ජති. පීතිමනස‍්ස භික‍්ඛවෙ න චෙතනාය කරණීයං ‘කායො මෙ පස‍්සම‍්භතූ’ති ධම‍්මතා එසා භික‍්ඛවෙ යං පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති. පස‍්සද‍්ධකායස‍්ස භික‍්ඛවෙ න චෙතනාය ය කරණීයං ‘සුඛං වෙදියාමී’ති. ධම‍්මතා එසා භික‍්ඛවෙ යං පස‍්සද‍්ධකායො සුඛං වෙදියති. සුඛිනො භික‍්ඛවෙ න චෙතනාය කරණීයං ‘චිත‍්තං මෙ සමාධියතූ’ති. ධම‍්මතා එසා භික‍්ඛවෙ යං සුඛිනො චිත‍්තං සමාධියති. සමාහිතස‍්ස භික‍්ඛවෙ න චෙතනාය කරණීයංයථාභූතං ජානාමි පස‍්සාමී’ති. ධම‍්මතා එසා භික‍්ඛවෙ යං සමාහිතො යථාභූතං ජානාති පස‍්සති. යථාභූතං භික‍්ඛවෙ ජානතො පස‍්සතො න චෙතනාය කරණීයං, නිබ්බින්දාමි විරජ‍්ජාමී’ති. ධම‍්මතා එසා භික‍්ඛවෙ යං යථාභූතං ජානං පස‍්සං නිබ‍්බින්‍දති විරජ‍්ජති. නිබ‍්බින්‍දස‍්ස භික‍්ඛවෙ විරජ‍්ජන‍්තස‍්ස න චෙතනාය කරණීයං’ විමුත‍්තිඤාණදස‍්සනං සච‍්ඡිකරොමී’ති. ධම‍්මතා එසා භික‍්ඛවෙ යං නිබ‍්බිණ‍්ණො විරත‍්තො විමුත‍්තිඤාණදස‍්සනං සච‍්ඡිකරොති.” (චෙතනාකරණීය සූත්‍ර – අ.නි. 6) 

“මහණෙනි, සිල්වත් (හික්මීමෙන් යුක්ත) සීල සම්පන්නයාට ‘මට විපිළිසර නොවීම ඉපදේවා යි’ චේතනාවෙන් කළ යුත්තක් නැත. මහණෙනි, යම්හෙයෙකින් සිල්වත්, සීල සම්පන්නයාට විපිළිසර නොවීමක් උපදින්නේ ය යන කරුණ ධර්මතාවයකි (ස්වභාවයකි). මහණෙනි, ‘මට ප්‍රමුදිතභාවය උපදීවා යි’ විපිළිසර නැති කෙනා හට චේතනාවෙන් කළ යුත්තක් නැත. මහණෙනි, විපිළිසර නැති කෙනාට ප්‍රමුදිතභාවය උපදිනේ ය යන කරුණ ධර්මතාවයකි. මහණෙනි, ‘මට ප්‍රීතිය උපදීවා යි’ ප්‍රමුදිතභාවය ඇති කෙනා හට චේතනාවෙන් කළ යුත්තක් නැත. මහණෙනි, ප්‍රමුදිතභාවය ඇති කෙනා හට ප්‍රීතිය උපදිනේය යන කරුණ ධර්මතාවයකි. මහණෙනි, ‘මට කය සැහැල්ලු වේවා යි’ ප්‍රීති මනසින් යුක්ත කෙනා හට චේතනාවෙන් කළ යුත්තක් නැත. මහණෙනි, ප්‍රීති මනසක් ඇති කෙනා හට කය සැහැල්ලු වීම යන කරුණ ධර්මතාවයකි. මහණෙනි, ‘මට සැප විඳීවා යි’ කය සැහැල්ලු වූවහුට චේතනාවෙන් කළ යුත්තක් නැත. මහණෙනි, කය සැහැල්ලු වූවහුට සැප විඳීම යන කරුණ ධර්මතාවයකි. මහණෙනි, ‘මට සිත සමාධිමත් වේවා යි’ සැප විඳින්නාට චේතනාවෙන් කළ යුත්තක් නැත. මහණෙනි, සැප විඳින්නහුට සිත සමාධිමත් වීම යන කරුණ ධර්මතාවයකි. මහණෙනි, ‘යථාර්ථ වශයෙන් දනිමි යි දකිමි යි’ සමාහිත වූවහුට චේතනාවෙන් කළ යුත්තක් නැත. මහණෙනි, සමාහිත වූවහුට යථාර්ථ වශයෙන් දනිමි යි දකිමි යි යන කරුණ ධර්මතාවයකි. මහණෙනි, ‘ලැඟනොගැනේවා යි, නොඇලේවා යි යථාර්ථ වශයෙන් දන්නහුට දක්නහුට’ චේතනාවෙන් කළ යුත්තක් නැත. මහණෙනි, යථාර්ථ වශයෙන් දන්නහුට දක්නහුට ලැඟ නොගැනීම, නොඇලීම යන කරුණ ධර්මතාවයකි. මහණෙනි, ‘විමුක්ති ඤාණ දර්ශනය ලැබේවා යි ලැඟ නොගන්නා වූවහුට, නොඇලෙන්නා වූවහුට’ චේතනාවෙන් කළ යුත්තක් නැත. මහණෙනි, ලැඟ නොගන්නා වූවහුට, නොඇලෙන්නා වූවහුට විමුක්ති ඤාණ දර්ශනය ඇතිවීම යන කරුණ ධර්මතාවයකි.”  

මෙහි දී පැහැදිලි කරන්නේ, බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකත්වය ලැබූ ශ්‍රාවකයෙක් හික්මෙන ආර්යකාන්ත සීලය පිළිබඳව වේ. එහි දී සමාධිය ඇති වන බව ඉහත පෙන්වූ සූත්‍රය තුළින් මනාව පැහැදිලි වේ. මේ ආකාරයට රකින සීලය නුවණැත්තන් විසින් ද ප්‍රශංසාවට ලක් කරයි. එමෙන්ම ‘ස්වකීයත්වය දැක්ම’ නැති නිසා ග්‍රහණය වීමක්, එම හික්මීම (සීලය) තුළ නැත. ‘තමා’ යන්න හෝ ‘පැවැත්ම’ යන්න තුළ රිංගා ගැනීමක් නැති නිසා කිසිම ප්‍රතිපදාවක ග්‍රහණයවීමක් නොයෙදේ. තවත් කරුණකින් හෝ සිද්ධාන්තයකින් මෙහෙයවීමක් නැත. එබැවින් කිසිවකට දාස බවක් ඇති නොවේ. යමකට ග්‍රහණය වූ විට එයට දාස වී විවිධ වැඩපිළිවෙළ පුරුදු කරයි. එසේ විවිධ ප්‍රතිපදාවන්ට හෝ ‘තමා’ යන්නට ග්‍රහණය වී නැති නිසා දාසභාවයෙන් නිදහස්ව හික්මීම (සීලය) සිදුවේ. මේ සියල්ලම සීලබ්බතපරාමාස සංයෝජනය දුරුවීම නම් වූ ආර්යකාන්ත සීලයේ ස්වභාවය යි.  

‘ස්වකීයත්වය දැක්ම’ ඉක්මවීමෙන් සිදුවන හික්මීමත්, පැවැත්ම පිළිබඳව වන විචිකිච්ඡාව නැති වීමත්, සිදුවන්නේ ආර්ය දර්ශනය නිසාය. එයට ආර්ය න්‍යාය යැයි විස්තර කර ඇත. 

කතමො චස‍්ස අරියො ඤායො පඤ‍්ඤාය සුදිට‍්ඨො හොති සුප‍්පටිවිද‍්ධො? ඉධ ගහපති, අරියසාවකො පටිච‍්චසමුප‍්පාදං යෙව සාධුකං යොනිසො මනසිකරොති: “ඉති ඉමස‍්මිං සති ඉදං හොති, ඉමස‍්සුප‍්පාදා ඉදං උප‍්පජ‍්ජති, ඉති ඉමස‍්මිං අසති ඉදං න හොති, ඉමස‍්ස නිරොධා ඉදං නිරුජ‍්ඣති, යදිදං අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං නාමරූපපච‍්චයා සළායතනං, සළායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනා පච‍්චයා තණ‍්හා, තණ‍්හාපච‍්චයා උපාදානං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං සොක පරිදෙව දුක‍්ඛ දොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති. අවිජ‍්ජායත්‍වෙව අසෙසවිරාගනිරොධා සඞ‍්ඛාරනිරොධො, සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධො, –පෙ- සොකපරිදෙව දුක‍්ඛදොමනස‍්සුපායාසා නිරුජ‍්ඣන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතී”ති. අයමස‍්ස අරියො ඤායො පඤ‍්ඤාය සුදිට‍්ඨො හොති සුප‍්පටිවිද‍්ධො.” (තතිය අනාථපිණ්ඩික සූත්‍රය – ස.නි. 5-2) 

“ඔහු විසින් කවර අයුරකින් ආර්‍ය න්‍යාය ප්‍රඥාව මනාව දකින්නේ වේ ද? මනාව ප්‍රතිවේද කරන්නේ වේ ද? ගෘහපතිය, මෙහි ආර්‍ය ශ්‍රාවකයා පටිච්ච සමුප්පාදය යෝනිසෝ මනසිකාර කරයි. (හේතුවෙන් ඉපදීම අනුවම වූ මනසිකාර කරයි.) මෙසේ මෙය ඇති කල්හි මෙය වේ. මෙය උපදින කල්හි මෙය උපදී. මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. යම් මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර ය. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය ය. විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් නාම රූප ය. නාම රූප ප්‍රත්‍යයෙන් සළායතන ය. සළායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය ය. ස්පර්ශය ප්‍රත්‍යයෙන් වේදනාව ය. වේදනාව ප්‍රත්‍යයෙන් තණ්හාව ය. තණ්හාව ප්‍රත්‍යයෙන් උපාදාන ය. උපාදාන ප්‍රත්‍යයෙන් භවය ය. භවය ප්‍රත්‍යයෙන් ජාතිය ය. ජාති ප්‍රත්‍යයෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයෝ ය. මෙසේ මේ තනිකරම දුක් රැස හටගැනීම වේ. අවිද්‍යාවේ ම ඉතිරි නැති නිරෝධයෙන් සංස්කාර නිරෝධය ය. -පෙ- සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයෝ නිරුද්ධ ය. “මෙසේ මේ තනිකරම දුක්රැසේ නිරෝධය වේ. මෙසේ මේ ආර්‍ය න්‍යාය ප්‍රඥාවෙන් මනාව දකින්නේ වේ. මනාව ප්‍රතිවේද කරන්නේ වේ.”  

ආර්ය න්‍යාය සම්පූර්ණ විස්තර කිරීමක් මෙහි දී සිදු කිරීමට ගියහොත් එයත් දීර්ඝ විස්තරයකි. එබැවින් මෙයින් ඉස්මතු වන්නේම කිසිම පැවැත්මක් ඉස්මතු නොවීම යි. පටිච්ච සමුප්පාදය පෙන්වන විට එම කිසිඳු කරුණක් තාත්විකව ලැබීමක් ඉස්මතු කොට නැත. එසේ ඉස්මතු වුවහොත් එය ද පැවැත්මකි. එබැවින් ‘මෙය’ ඇති කල්හි ‘මෙය’ ඇත යන්න විස්තර කර ඇත. මේ ආකාර වූ ආර්ය දර්ශනයෙන් යුතු වන විට වර්තමානයක් යන්න නොයෙදීම ම අතීත, අනාගත යන කියවීම කිසිසේත්ම යෙදීමක් නොවේ. අතීත, අනාගතය ‘නැත’ යන්න නොවේ. ‘නැත’ යන්න සිදු වන්නේම ‘ඇත’ යන්න තිබෙන විට ය. ආර්ය දර්ශනය යනු එම සියල්ලම ඉක්මවන දැක්මකි. මේ තුළින් කාලය පිළිබඳ ඉස්මතු වීමක් නැත. 

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි 

රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය 

වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ