සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 54 

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රඥාවන්තයෙකුට ඇසෙන විට ඒ ධර්මය දේශනා කරන කල්‍යාණ මිත්‍රයාට යොමුවී විචක්ෂණය සිදුවීම තුළින් ස්වකීයත්වය දැක්ම දුරුවේ.  

සක්කාය දිට්ඨිය නම් වු ස්වකීයත්වය දැක්ම ඇති විට අතීත, අනාගත, වර්තමාන යන පැවැත්මක් ඇති බවට ඉස්මතුවීම සංයෝජනය වී තිබේ. එමනිසා මෙම කාලයන්හි මම සිටියේ ද, නැති ද, යන ලෙසට සැකයක් පවතී. එය විචිකිච්ඡා සංයෝජනය වේ. එමෙන්ම ස්වකීයත්වය දැක්මෙන් යුතු පැවැත්මක් ඇති නිසා, ඒ දුක ඉක්මවිමට ඔහු විවිධ ක්‍රම උපායන් අනුගමනය කරයි. එයත් ඒ සමඟ ම සංයෝජන වී පවතී. එය සීලබ්බත පරාමාස සංයෝජනය වේ. 

ස්වකීයත්වය දැක්ම ඇති විට එතෙර වන දහම නිවැරදිව දර්ශනය නොවේ. එම එතෙර වන දහම නිවැරදිව දර්ශනය නොවිම ම, එම දහම පෙන්වන බුදුරජාණන් වහන්සේට ත්, එම දහමට ත්, එම දහමට අනු ප්‍රතිපදාවෙන් යුතු බව වන සංඝයා ත් පිළිබඳව නිවැරදි දැක්මක් නොවීමක්ම ය. එනම් අවෙච්ච ප්‍රසාදය නැත. ස්වකීයත්වය දැක්ම දුරුවීමත් සමඟ ඉතිරි සංයෝජන දෙක දුරුවීමෙන්ම බුද්ධ, ධම්ම, සංඝ පිළිබඳව නිවැරදි දර්ශනය වන නිසා එසේ අවෙච්ච ප්‍රසාදය ඇති වේ. එසේ සිදුවන්නේ ස්වකීයත්වය දැක්ම හා බැඳුණු සංයෝජන දුරු වූ නිසා ය. 

යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස අයඤ‍්ච පටිච‍්චසමුප‍්පාදො ඉමෙ ච පටිච‍්චසමුප‍්පන‍්නා ධම‍්මා යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨා හොන‍්ති, සො වත පුබ‍්බන‍්තං වා පරිධාවිස‍්සති: “අහොසිං නු ඛො අහං අතීතමද‍්ධානං, න නු ඛො අහොසිං අතීතමද‍්ධානං, කිං නු ඛො අහොසිං අතීතමද‍්ධානං, කථං නු ඛො අහොසිං අතීතමද‍්ධානං, කිං හුත්‍වා කිං අහොසිං නු ඛො අහං අතීතමද‍්ධානන‍්ති”; අපරන‍්තං වා උපධාවිස‍්සති: “භවිස‍්සාමි නු ඛො අහං අනාගතමද‍්ධානං, න නු ඛො භවිස‍්සාමි අනාගතමද‍්ධානං, කිං නු ඛො භවිස‍්සාමි අනාගතමද‍්ධානං, කථං නු ඛො භවිස‍්සාමි අනාගතමද‍්ධානං, කිං හුත්‍වා කිං භවිස‍්සාමි නු ඛො අහං අනාගතමද‍්ධානන‍්ති”; එතරහි වා පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං අජ‍්ඣත‍්තං කථඞ‍්කථී භවිස‍්සති: “අහං නු ඛොස‍්මි, නො නු ඛොස‍්මි කිං නු ඛොස‍්මි, කථං නු ඛොස‍්මි, අයං නු ඛො සත‍්තො කුතො ආගතො, සො කුහිං ගාමී භවිස‍්සතී”ති නෙතං ඨානං විජ‍්ජති.” (පච්චය පච්චයුප්පන්න සූත්‍රය – ස.නි. 2) 

“මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍ය ශ්‍රාවකයා මේ පටිච්චසමුප්පාදය ත් මේ පටිච්චසමුප්පන්න ධර්‍මයෝ ත් යථාර්ථ වශයෙන් මනා ප්‍රඥාවෙන් මනාව දකින්නේ වේ ද, ඔහු ‘අතීත කාලයෙහි මම වූයෙම් දෝ, අතීත කාලයෙහි නොවූයෙම් දෝ, අතීත කාලයෙහි කවරෙක් වූයෙම් දෝ, අතීත කාලයෙහි කෙසේ වූයෙම් දෝ, අතීත කාලයෙහි මම කවරෙක්ව සිට කවරෙක් වූයෙම් දෝ” යි පූර්වාන්තය කරා දුවන්නේ ය – “මම අනාගත කාලයෙහි වන්නෙම් දෝ, අනාගත කාලයෙහි නොවන්නෙම් දෝ, අනාගත කාලයෙහි කවරෙක් වන්නෙම් දෝ, අනාගත කාලයෙහි කෙසේ වන්නෙම් දෝ, අනාගත කාලයෙහි මම කවරෙක්ව සිට කවරෙක් වන්නෙම් දෝ,”යි අපරාන්තය කරාත් දුවන්නේ ය – දැන් වර්‍තමානයෙහි “මම වෙම් දෝ, නොවෙම් දෝ, කවරෙක් වෙම් දෝ, කෙසේ වෙම් දෝ, මේ සත්වයා කොහි සිට ආයේ දෝ, ඔහු කොහි යන්නෙක් වන්නේ දෝ”යි – යන මේ කරුණ විද්‍යමාන නොවේ.”  

මේ ආකාරයට කාලයන්ට අදාළත්වයක් නොදැකීමෙන් එතෙර වන දහමේ ගුණ ඉස්මතු වෙමින් විචිකිච්ඡා සංයෝජනය දුරු වේ. 

මේ සංයෝජන තුනම එකට බැඳී පවතින අතරම, ආර්ය සත්‍ය, යෝනිසෝ මනසිකාර වීමෙන් එම තුනම ප්‍රහාණය වේ. 

සො ඉදං දුක‍්ඛන‍්ති යොනිසො මනසි කරොති, අයං දුක‍්ඛසමුදයොති යොනිසො මනසි කරොති, අයං දුක‍්ඛනිරොධොති යොනිසො මනසි කරොති, අයං දුක‍්ඛනිරොධගාමිනීපටිපදාති යොනිසො මනසි කරොති. තස‍්ස එවං යොනිසො මනසිකරොතො තීණි සංයොජනානි පහීයන‍්ති: සක‍්කායදිට‍්ඨි විචිකිච‍්ඡා සීලබ‍්බතපරාමාසො” (සබ්බාසව සූත්‍රය – ම.නි. 1) 

“ඔහු මේ දුක යැයි යෝනිසෝ මනසිකාර කරයි. මේ දුක්ඛ සමුදය යැයි යෝනිසෝ මනසිකාර කරයි. මේ දුක්ඛ නිරෝධය යැයි යෝනිසෝ මනසිකාර කරයි. මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව යැයි යෝනිසෝ මනසිකාර කරයි. ඔහු මෙසේ යෝනිසෝ මනසිකාරය කරන විට සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙති.”  

සහාවස‍්ස දස‍්සනසම‍්පදාය තයස‍්සු ධම‍්මා ජහිතා භවන‍්ති 
සක‍්කායදිට‍්ඨී විචිකිච‍්ඡිතඤ‍්ච සීලබ‍්බතං වාපි යදත්‍ථි කිඤ‍්චී 
චතූහපායෙහි ච විප‍්පමුත‍්තො ඡ චාභිඨානානි අභබ‍්බො කාතුං 
ඉදම‍්පි සඞ‍්ඝෙ රතනං පණීතං එතෙන සච‍්චෙන සුවත්‍ථි හොතු.” (රතන සූත්‍රය – ඛු.නි.) 

“ඔහුට දර්ශන සම්පත්තිය ඇතිවීමත් සමඟ ම සක්කාය දිට්ඨිය ද, සැකය ද, හික්මීමෙන් යුතු වැඩපිළිවෙළ ද යන මේවා තුන් ධර්මයන් දුරු කරන ලද්දෝ වෙති. සතර අපායෙන් මිදුනේ ද වේ. සය තැනක කර්ම කිරීම අභව්‍ය වේ. මෙ කරුණින් ද ආර්‍ය සංඝයා උතුම් රුවනකි. මේ සත්‍යය බලයෙන් සෙත් වේවා.” 

ස්වකීයත්වය දැක්මක් නැති නිසා තමන් මැදිහත් වී සිදු කළ යුතු (‘තමා’ යන්න මැදිහත් වීමෙන්) වැඩපිළිවෙළක් අවශ්‍ය නොවේ. එබැවින්ම සීලබ්බත පරාමාස සංයෝජනය දුරු වේ. එවිට ඔහු තුළ ආර්යකාන්ත සීලය ඇති වේ. 

අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො හොති: අඛණ‍්ඩෙහි අච‍්ඡිද‍්දෙහි අසබලෙහි අකම‍්මාසෙහි භුජිස‍්සෙහි විඤ‍්ඤුප‍්පසත්‍ථෙහි අපරාමට‍්ඨෙහි සමාධිසංවත‍්තනිකෙහි.” (පඤ්චභයවේර සූත්‍රය – ස.නි. 2) 

“කඩ නොවීමෙන්, සිදුරු නොවීමෙන්, මිශ්‍ර නොවීමෙන් (වෙනත් ක්‍රමයකට හික්මීමක් නැති) කැලැල් නොවීමෙන්, දාස නොවීමෙන්, නුවණැත්තන් ප්‍රශංසා කිරීමෙන්, ග්‍රහණය නොවීමෙන්, සමාධියට උපකාර වීමෙන් යුක්ත වීම ආර්‍ය්‍යකාන්ත සීලය වේ. (සුන්දර වූ උතුම් හික්මීම)” 

මෙම හික්මෙන වැඩපිළිවෙළ තුළින් සිත එකඟ වීමට උපකාරී වේ. ජීවිතයේ යථාර්ථය සොයන විචක්ෂණශීලි බවින් යුුක්ත වන විට, කාමයට, ගැටීමට, සිතෙහි හැකිලීමට, සිත විසිරීමට, සැකයට යොමුවීමක් සිදු නොවේ. මේ වූ පංච නීවරණ ඉක්මවීම සිතෙහි එකඟ බවයි. ඒ ආකාර වූ ස්වකීයත්වය දැක්ම (සක්කාය දිට්ඨිය) ඉක්මවීම ම ආර්ය දර්ශනය වේ. එය ආර්ය න්‍යාය වේ. මේ දැක්මෙන් යුතු වන විට, සිදුවන හික්මෙන වැඩපිළිවෙළින් නිවීම කරාම යොමු වේ. එසේ ඇති නිවැරදි දැක්ම තුළින් අනිකුත් මාර්ග අංගයන් සිදුවන බව දේශනාව තුළ සඳහන් වේ. 

සම‍්මා දිට‍්ඨිකස‍්ස සම‍්මා සඞ‍්කප‍්පො පහොති, සම‍්මා සඞ‍්කප‍්පස‍්ස සම‍්මාවාචා පහොති. සම‍්මා වාචස‍්ස සම‍්මා කම‍්මන‍්තො පහොති. සම‍්මා කම‍්මන‍්තස‍්ස සම‍්මා ආජීවො පහොති. සම‍්මා ආජීවස‍්ස සම‍්මාවායාමො පහොති. සම‍්මාවායාමස‍්ස සම‍්මාසති පහොති. සම‍්මාසතිස‍්ස සම‍්මා සමාධි පහොති. සම‍්මාසමාධිස‍්ස සම‍්මා ඤාණං පහොති. සම‍්මාඤාණස‍්ස සම‍්මා විමුත‍්ති පහොතී’ති” (විජ්ජා සූත්‍රය – අ.නි. 6) 

“මහණෙනි, සම්මා දිට්ඨි පිරීමෙන් සම්මා සංකල්පය පිරේ. සම්මා සංකල්පය පිරීමෙන් සම්මා වාචා පිරේ. සම්මා වාචා පිරීමෙන් සම්මා කම්මන්තය පිරේ. සම්මා කම්මන්තය පිරීමෙන් සම්මා ආජීවය පිරේ. සම්මා ආජීවය පිරීමෙන් සම්මා වායාම පිරේ. සම්මා වායාම පිරීමෙන් සම්මා සති පිරේ. සම්මා සති පිරීමෙන් සම්මා සමාධි පිරේ. සම්මා සමාධි පිරීමෙන් සම්මා ඤාණය පිරේ. සම්මා ඤාණය පිරීමෙන් සම්මා විමුක්තිය පිරේ.” 

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි 

රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය 

වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ