සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 53 

බුදුරජාණන් වහන්සේ විමුක්තිකාමි සමාජය තුළ පහළ වී එම සමාජය ව්‍යවහාර කරන භාෂාව තුළින් ප්‍රඥාවන්තයින්ට වටහා ගැනීමට උපකාර පිණිස ධර්මය දේශනා කළ සේක. සක්කාය දිට්ඨිය පිළිබඳව ද ඒ ආකාරයටම එම භාෂාව ව්‍යවහාර කරන අයට, එම භාෂාවෙන් පෙන්වා දුන් සේක. ‘සක්කාය දිට්ඨිය’, ‘අත්ත’, ‘අහං’, ‘සමනුපස්සති’ යන වචනවල, අප ව්‍යවහාර කරන භාෂාවට අනුව අර්ථය කලින් පැහැදිලි කරන ලදී. ඒ කරුණු ද උපකාර කරගනිමින් මාගධී භාෂාවෙන් පෙන්වූ විග්‍රහය අප ව්‍යවහාර කරන භාෂාවෙන් වටහා ගනිමු.  

කථං පන භන‍්තෙ, සක‍්කායදිට‍්ඨි හොතීති? 

ඉධ භික‍්ඛු, අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො, රූපං අත‍්තතො සමනුපස‍්සති, රූපවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා රූපං, රූපස‍්මිං වා අත‍්තානං. වෙදනං -පෙ-. සඤ‍්ඤං -පෙ-. සඞ‍්ඛාරෙ -පෙ-. විඤ‍්ඤාණං -පෙ-. එවං ඛො භික‍්ඛු, සක‍්කායදිට‍්ඨි හොතීති.” (මහාපුණ්ණම සූත්‍රය – ම.නි. 3) 

“ස්වාමීනි, සක්කාය දිට්ඨිය කෙසේ වේ ද? 

“මහණ, මෙහි අශ්‍රැතවත් පෘථග්ජනයා, ආර්‍ය්‍යයන්ගේ දර්ශනය නැත්තා, ආර්‍ය්‍යධර්‍මයේ අදක්‍ෂයා, ආර්‍ය්‍යධර්‍මයෙහි නොහික්මෙන්නා, සත්පුරුෂයන්ගේ දර්ශනය නැත්තා, සත්පුරුෂධර්‍මයේ අදක්‍ෂයා, සත්පුරුෂධර්‍මයෙහි නොහික්මෙන්නා රූපය ආත්ම වශයෙන් ඒ අනුව දකියි, ආත්මය රූපවත් කොට හෝ දකියි, ආත්මයෙහි හෝ රූපය දකියි, රූපයෙහි හෝ ආත්මය දකියි. වේදනාව …. සංඥාව … සංස්කාර … විඤ්ඤාණය … මෙසේ වනාහි මහණ, සක්කාය දිට්ඨිය වේ.” 

රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ අල්වාගැනීම් වශයෙන් දකින ආකාරය, සක්කාය දිට්ඨිය වේ. එම යෙදීමේ දැක්ම සක්කාය දිට්ඨිය වේ. 

ස්වරූපය (රූපය) අල්වාගැනීම් (තමා) වශයෙන් දැකීම සිදුවීම.  

ස්වරූපවත් වූ (රූපවත්) අල්වාගැනීම. 

අල්වා ගැනීම කෙරෙහි (තමා කෙරෙහි) වූ ස්වරූපය (රූපය). 

ස්වරූපය (රූපය) කෙරෙහි වූ අල්වා ගැනීම (තමාගේ) සිදුවීම. 

විඳීම (වේදනා)…-පෙ- හඳුනාගැනීම (සංඥා) -පෙ- සකස්වීම (සංඛාර) -පෙ- දැනගැනීම (විඤ්ඤාණ) -පෙ- 

(මේ සියලුම යෙදීම්) කල්‍යාණ මිතුරාට අනුගත වී, රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යථාර්ථ වශයෙන් විමසන විට ‘ස්වකීයත්වය දැක්ම’ (සක්කාය දිට්ඨිය) ප්‍රඥාවෙන් පජානාති වේ. එය තමන් අත්දැකීමක්, තමාට ලැබීමක් නොවේ. මේ ආකාරයට දකින විට තමාට කිසිඳු ලැබීමක් හෝ නොලැබීමක් සිදු නොවේ. මෙසේ දැකීම තුළින්, (ප්‍රඥාවෙන් දැකීම තුළින්) ඒ ආකාර වූ අල්වාගැනීම ඉක්මවීම සිදු වේ (සක්කාය දිට්ඨිය ප්‍රහානය වේ). එය ලෝකෝත්තර දැක්ම වේ. එනම් ලෝකයෙන් එතෙර වන දකින ආකාරය වේ. සක්කාය දිට්ඨිය පජානාති වීමෙන්ම, (එය නොදැකීම වන අවිද්‍යාව ද පජානාති වීම ය) ස්වකීයත්වය දැක්ම (සක්කාය දිට්ඨිය) දුරු වේ. මෙසේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ආදියේ යථාර්ථය කල්‍යාණ මිතුරා පෙන්වන විට, එයට අනුගත වීම ශ්‍රද්ධානුසාරී වේ. එයම ‘ස්වකීයත්වය දැක්ම’ පජානාති වීම යි. මෙසේ පජානාති වීමෙන් ‘ස්වකීයත්වය දැක්ම’ ඉක්මවන ප්‍රතිපදාවට යොමු වේ.  

කථං පන භන‍්තෙ, සක‍්කායදිට‍්ඨි න හොතීති? 

ඉධ භික‍්ඛු, සුතවා අරියසාවකො අරියානං දස‍්සාවී අරියධම‍්මස‍්ස කොවිදො අරියධම‍්මෙ සුවිනීතො, සප‍්පුරිසානං දස‍්සාවී, සප‍්පුරිසධම‍්මස‍්ස කොවිදො, සප‍්පුරිසධම‍්මෙ සුවිනීතො, න රූපං අත‍්තතො සමනුපස‍්සති, න රූපවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා රූපං, න රූපස‍්මිං වා අත‍්තානං. වෙදනං -පෙ-. සඤ‍්ඤං -පෙ-. සඞ‍්ඛාරෙ -පෙ-. විඤ‍්ඤාණං -පෙ-. එවං ඛො භික‍්ඛු, සක‍්කායදිට‍්ඨි න හොතීති.” (මහාපුණ්ණම සූත්‍රය – ම.නි. 3) 

“ස්වාමීනි, සක්කාය දිට්ඨිය කෙසේ නොවේ ද? 

“මහණ, මෙහි ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවකයා, ආර්‍ය්‍යත්වය දකින්නේ ය, ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂය, ආර්‍ය්‍යධර්‍මයෙහි හික්මුණේ වෙයි, සත්පුරුෂත්වය දකින්නේ ය, සත්පුරුෂධර්‍මයෙහි දක්‍ෂය, සත්පුරුෂධර්‍මයෙහි හික්මුණේ වෙයි, රූපය ආත්ම වශයෙන් ඒ අනුව නොදකියි, ආත්මය රූපවත් කොට හෝ නොදකියි, ආත්මයෙහි හෝ රූපය නොදකියි, රූපයෙහි හෝ ආත්මය නොදකියි. වේදනාව …. සංඥාව … සංස්කාර … විඤ්ඤාණය … මෙසේ වනාහි මහණ, සක්කාය දිට්ඨිය නොවේ.” 

රූපං භික‍්ඛවෙ, අනිච‍්චං විපරිනාමී අඤ‍්ඤථාභාවී. 

වෙදනා අනිච‍්චා විපරිනාමී අඤ‍්ඤථාභාවී. සඤ‍්ඤා අනිච‍්චා විපරිනාමී අඤ‍්ඤථාභාවී. සඞ‍්ඛාරා අනිච‍්චා විපරිනාමී අඤ‍්ඤථාභාවී. විඤ‍්ඤාණං අනිච‍්චං විපරිණාමි අඤ‍්ඤථාභාවි. 

යො භික‍්ඛවෙ, ඉමෙ ධම‍්මෙ එවං සද‍්දහති අධිමුච‍්චති අයං වුච‍්චති සද‍්ධානුසාරී ඔක‍්කන‍්තො සම‍්මත‍්තනියාමං, සප‍්පුරිසභූමිං ඔක‍්කන‍්තො, වීතිවත‍්තො පුථුජ‍්ජනභූමිං, අභබ‍්බො තං කම‍්මං කාතුං, යං කම‍්මං කත්‍වා නිරයං වා තිරච‍්ඡානයොනිං වා පෙත‍්තිවිසයං වා උපපජ‍්ජෙය්‍ය, අභබ‍්බො ච තාව කාලං කාතුං යාව න සොතාපත‍්තිඵලං සච‍්ඡිකරොති” (ඛන්ධ සූත්‍රය – ස.නි. 3) 

“මහණෙනි, රූපය අනිත්‍ය යි, වෙනස් වේ, අන්‍ය ස්වභාවී වේ. වේදනාව -පෙ- සංඥා -පෙ- සංස්කාරය -පෙ- විඤ්ඤාණය -පෙ- අනිත්‍යයි, වෙනස් වේ, අන්‍ය ස්වභාවී වේ.  

මහණෙනි, යමෙක් මේ ධර්මයන් කෙරෙහි මෙසේ (ශ්‍රද්ධාව ය) අදහයි, නිශ්චයකට යේ. මේ ශ්‍රද්ධානුසාරී යැයි කියනු ලැබේ. නිවැරදි වූ නියාමයට (ප්‍රතිපදාවට) බැසගත්තේ වේ. සත්පුරුෂ භූමියට බැසගත්තේ වේ. පෘථග්ජන භූමිය ඉක්මවූයේ වේ. යම් කර්මයක් කොට නිරයේ හෝ තිරිසන් යෝනියේ හෝ ප්‍රේත විෂයේ හෝ උපදී ද, එම කර්ම කිරීම අභව්‍ය වේ. ඔහු සෝතාපන්න ඵලය සාක්ෂාත් නොකොට කලුරිය කිරීම ද අභව්‍ය වේ.”  

සක්කාය දිට්ඨි විග්‍රහය තුළ පෙන්වූ පජානාති හා සම්මර්ශනය පිළිබඳ ගැඹුරු විග්‍රහයක් මුලින් ද පෙන්වා දී ඇත. මේ ආකාරයට පජානාති වීම යම් හෙයකින් දැනගැනීමක් වූයේ නම් එයත් ලෝකයේ පැවැත්මකි. මේ ආකාරයට ප්‍රඥාවෙන් දැක, සක්කාය දිට්ඨිය දුරු කළ ආර්ය ශ්‍රාවකයාට සක්කාය පැවැත්ම සිදුවීම පිළිබඳව මනා නුවණක් ඇති වේ. එය සංඛතයේ තුන්වැනි ලක්ෂණයේ විග්‍රහය වේ. එනම් පැවැත්මේ වෙනස් වීම පැනවීම වේ. එසේ පැවැත්ම සිදුවන්නේ අතීත, අනාගත, වර්තමාන වූ ආධ්‍යාත්මික, බාහිර, හීන …. ආදී ලෙස වූ ආස්‍රව සහිත උපාදානීය බව වූ ඤාණය උපදී. මෙසේ පැවැත්මේ ස්වභාවය දැකීම (ප්‍රඥාවෙන්) ‘වෙමි යි’ යන හැඟීම, පජානාති වීම යි. එය ඛේමක සූත්‍රයේ දී පැහැදිලි කරන ලදී. මේ ආකාරයට උපාදානයක පැවැත්මේ යෙදීම ‘වෙමි යි’ (අස්මීති) යන ඤාණය උපදී. ඒ බව ආනන්ද සූත්‍රය තුළින් පැහැදිලි කරගත හැක.  

උපාදාය ආවුසො ආනන්‍ද, ‘අස‍්මී’ති හොති, නො අනුපාදාය. කිඤ‍්ච උපාදාය ‘අස‍්මී’ති හොති නො අනුපාදාය: රූපං උපාදාය ‘අස‍්මී’ති හොති, නො අනුපාදාය. වෙදනා -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං උපාදාය ‘අස‍්මී’ති හොති නො අනුපාදාය.” (ආනන්ද සූත්‍රය – ස.නි. 3) 

“ඇවැත්නි, ආනන්‍දයෙනි (මම) වෙමි’යි යන්න උපාදානය හේතුවෙන් ය. උපාදානය නැතිව නොවේ. කුමක් උපාදානය නිසා (මම) වෙමි’යි වේ ද? උපාදානය නැතිව නොවේ ද?: රූපය උපාදානයෙන් (මම) වෙමි’යි වෙයි, උපාදානය නැතිව නොවෙයි, වේදනාව … සංඥාව … සංස්කාර … විඤ්ඤාණය උපාදානයෙන් (මම) වෙමි’යි වෙයි, උපාදානය නැතිව නොවෙයි.” 

යා චාවුසො පඤ‍්ඤා, යඤ‍්ච විඤ‍්ඤාණං ඉමෙ ධම‍්මා සංසට‍්ඨා නො විසංසට‍්ඨා. න ච ලබ‍්භා ඉමෙසං ධම‍්මානං විනිබ‍්භුජිත්‍වා විනිබ‍්භුජිත්‍වා නානාකරණං පඤ‍්ඤාපෙතුං. යඤ‍්චාවුසො පජානාති තං විජානාති. යං විජානාති තං පජානාති.” (මහාවෙදල්ල සූත්‍රය – ම.නි. 1) 

“ඇවැත්නි, යම් ප්‍රඥාවක් ඇද්ද, යම් විඤ්ඤාණයක් ඇද්ද, මේ ධර්මයන් එකට පවතී. වෙන්ව නොපවතී. මේ ධර්මයන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට නොහැකිය. ඇවැත්නි, යමක් ප්‍රඥාවෙන් දැනගනී ද (අවබෝධකරයි ද) එය විශේෂයෙන් දැනගනී. යමක් විශේෂයෙන් දැනගනී ද එය ප්‍රඥාවෙන් දැනගනී (අවබෝධ කරයි). ”  

සක්කාය හෝ සක්කාය දිට්ඨිය ‘යමෙකුට දැනගැනීමට’ යොමු වූයේ නම් එය මායාකාරී විඤ්ඤාණ ක්‍රියාවකි. එසේ වූයේ නම් එය කිසිසේත්ම අවබෝධයක් නොවේ. අවබෝධයක් වූයේ නම් දැනගැනීම පිරිසිඳ සොයමින් එතෙර වීම සිදු වේ. එයත් දැනගැනීමක පැවැත්මක් නොවේ.  

රූපය (ස්වරූපය) අල්වාගැනීම් වශයෙන් දැකීම සිදුවන විට, එය ද එහි අනිකුත් දකින විධි ද (සක්කාය දිට්ඨියේ විග්‍රහය) මෙසේ ප්‍රඥාවට පජානාතිවීම සිදු වේ. එනම් රූපවත් (ස්වරූපවත්) වූ අල්වාගැනීම බවත්, අල්වාගැනීම කෙරෙහි රූපය (ස්වරූපය) යන්නත්, රූපය (ස්වරූපය) කෙරෙහි වූ අල්වාගැනීම යන්නත් වේ. මේ ආකාරයට වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ගැනත් සිදුවන දැකීම පජානාති වන්නේ (සක්කාය දිට්ඨිය), ඒ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ආදිය යථාර්ථ වශයෙන් විමසන විට දී ය. එවිට සක්කාය දිට්ඨිය පජානාති වීම සිදුවන අතරම, ප්‍රතිපදාව සක්කාය දිට්ඨිය දුරුවීම වේ. එවිට ඔහු අනිවාර්යයෙන් ම සක්කාය දිට්ඨිය දුරු කරනු ලැබේ. ඒ බව ඉහත සඳහන් කළ ඛන්ධ සූත්‍රයේ (ඔක්කන්ති සං‍යුක්තය) ද පැහැදිලි කර ඇත. එනම් සෝතාපන්න නොවී කලුරිය කිරීම අභව්‍ය වශයෙනි. 

මේ සියලුම කරුණු (සක්කාය දිට්ඨි විග්‍රහය) තවත් වූ සකස්වීමකි. එනම් හේතු සහිතව සිදුවීමකි. එයත් ඔහු ප්‍රඥාවෙන් දකී. එලෙස දකින විට එම සක්කාය දිට්ඨිය දුරුවීමත් සිදු වේ. මෙම සිදුවීම අවිද්‍යාව නිසා සිදුවන්නක් බව පාරිලෙය්‍යක සූත්‍රයේ දී සඳහන් වේ.  

ඉධ භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො, රූපං අත‍්තතො සමනුපස‍්සති. යා ඛො පන සා භික‍්ඛවෙ, සමනුපස‍්සනා සඞ‍්ඛාරො සො. සො පන සඞ‍්ඛාරො කින‍්නිදානො කිංසමුදයො කිඤ‍්ජාතිකො කිම‍්පභවොති: අවිජ‍්ජාසම‍්ඵස‍්සජෙන භික‍්ඛවෙ, වෙදයිතෙන ඵුට‍්ඨස‍්ස අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස උප‍්පන‍්නා තණ‍්හා තතොජො සො සඞ‍්ඛාරො.” (පාරිලෙය්‍යක සූත්‍රය – ස.නි. 3) 

“මහණෙනි මෙහි අශ්‍රැතවත් පෘථග්ජනයා, ආර්‍ය්‍යයන්ගේ දර්ශනය නැත්තා, ආර්‍ය්‍යධර්‍මයේ අදක්‍ෂයා, ආර්‍ය්‍යධර්‍මයෙහි නොහික්මෙන්නා, සත්පුරුෂයන්ගේ දර්ශනය නැත්තා, සත්පුරුෂධර්‍මයේ අදක්‍ෂයා, සත්පුරුෂධර්‍මයෙහි නොහික්මෙන්නා රූපය ආත්ම වශයෙන් ඒ අනුව දකියි, මහණෙනි, යම් ඒ සම්මර්ශනයක් (ඒ අනුව මනාව දැකීම) වේ ද, එය සංස්කාර (සකස්වීම) වේ. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ඉපදීම කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිද්‍යාවක වූ යෙදීමකින් (ස්පර්ශය) විඳීම යෙදුණුවිට (ස්පර්ශ වුණු විට) අශ්‍රැතවත් පෘථග්ජනයාට උපන් තණ්හාවක් වේ ද, එයින් ඒ සංස්කාර හටගනී.”  

රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස සක‍්කායදිට‍්ඨි උප‍්පජ‍්ජති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති -පෙ-. (සක්කායදිට්ඨි සූත්‍රය – ස.නි. 3) 

“මහණෙනි, රූපය ඇති කල්හි, රූපය උපාදාන කොට, රූපයේ රිංගාගෙන, මෙසේ සක්කාය දිට්ඨිය උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඤ්ඤාණය ඇති කල්හි…”  

රූපය ‘ඇති කල්හි’ (උපාදානයෙන් රිංගා ගැනීම) බව සිදුවීම ම අවිද්‍යාව වේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, ප්‍රඥාව තුළින් දකිනවිට ඒවා ඇති බවම තුළින්, එහි රිංගා ගැනීමේ දැක්ම, සක්කාය දිට්ඨිය බව ප්‍රඥාවෙන් දැකීම‍යි. 

මේ ආකාරයට මනා ප්‍රඥාවෙන් දකින විට සක්කාය දිට්ඨිය දුරුවීම සිදු වේ. එමෙන්ම ඒ හා බැඳුණු විචිකිච්ඡා, සීලබ්බත පරාමාස සංයෝජනයන් ද දුරු වේ. 

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි 

රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය 

වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ