
ස්වකීයත්වය නම් වූ සක්කාය යනු පඤ්ච උපාදානස්කන්ධයන් බව තථාගතයන් වහන්සේ පෙන්වූ විග්‍රහය මුලින් විස්තර කරන ලදී. එලෙසට ස්වකීයත්වය නම් වූ පඤ්ච උපාදානස්කන්ධයන්ට උපමා පහක් සහිතව ඵේණපිණ්ඩූපම සූත්‍රයේ ඉදිරිපත් කර ඇත.
“ඵෙණපිණ‍්ඩූපමං රූපං වෙදනා බුබ‍්බුළූපමා මරීචිකූපමා සඤ‍්ඤා සඞ‍්ඛාරා කදලූපමා, මායූපමඤ‍්ච විඤ‍්ඤාණං දීපිතාදිච‍්චබන්‍ධුනා.” (ඵෙණපිණ්ඩූපම සූත්‍රය – ස.නි. 3)
“රූපය පෙන පිඬකට උපමා කොට ද, වේදනාව දියබුබුළකට උපමා කොට ද, සංඥාව මිරිඟුවකට උපමා කොට ද, සංස්කාර කෙසෙල් කඳකට උපමා කොට ද, විඤ්ඤාණය මායාවකට උපමා කොට ද ආදිච්චබන්‍ධු වූ බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ලදී.”
මෙහි දී බොහෝ අය සක්කාය, පඤ්ච උපාදානස්කන්ධයන් බව වටහා නොගෙන, සක්කාය නම් වූ ස්වකීයත්වයට වැටහෙන දෙයක් ලෙසට පඤ්ච උපාදානස්කන්ධයෝ පැහැදිලි කරගනී. එය සම්පූර්ණයෙන්ම වැරදි වේ. ස්වකීයත්වයට වැටහෙන දෙයක් නොව, ස්වකීයත්වයම පඤ්ච උපාදානස්කන්ධයෝ වේ. මේ බව චූළවේදල්ල සූත්‍රයේ ද සඳහන් විය.
පඤ්ච උපාදානස්කන්ධයෝ (රූප උපාදානස්කන්ධ ආදී ලෙස) වෙන් වෙන් වශයෙන් සොයන විට එසේ සෙවීම ම ස්වකීයත්වයක් වේ. එම නිසා එය සම්පූර්ණයෙන්ම වැරදි වේ. නුවණින් විමසීම සඳහා රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන පහ උපයෝගී කර ගත යුතු ය. මේ පහ පඤ්ච උපාදානස්කන්ධයන් ලෙස බුදුරජාණන් වහන්සේ වදාරා නැත. පඤ්ච උපාදානස්කන්ධ යනු අතීත, අනාගත, වර්තමාන වූ, ආධ්‍යාත්මික, බාහිර, දුර, ළඟ, ගොරෝසු, සියුම්, හීන, ප්‍රණීත, ආශ්‍රව සහිත, උපාදානීය වූ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යෙදීම වේ. එය යෙදීමක් වේ. යෙදීම සිදුවන කෙනෙකුට හමුවන වැටහීමක් නොවේ. මේ පිළිබඳව ඛන්ධ සූත්‍රය තුළ හොඳින් පැහැදිලි කර ඇත.
රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පහ පඤ්ච උපාදානස්කන්ධයෝ නොවේ. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන ඒවාට පඤ්ච උපාදානස්කන්ධයන් ලෙස පැහැදිලි කර ඇත. එය සක්කාය වේ.
“කතමෙ චාවුසො, පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා: සෙය්‍යථිදං රූපූපාදානක‍්ඛන්‍ධො වෙදනූපාදානක‍්ඛන්‍ධො සඤ‍්ඤූපාදානක‍්ඛන්‍ධො සඞ‍්ඛාරූපාදානක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණූපාදානක‍්ඛන්‍ධො.” (මහාහත්ථිපදොපම සූත්‍රය – ම.නි. 1)
“ඇවැත්නි, උපාදානස්කන්‍ධයන් පහ කවරේ ද? එනම්: රූපූපාදානක්ඛන්‍ධ ය, වේදනානුපාදානක්ඛන්‍ධ ය, සඤ්ඤූපාදානක්ඛන්‍ධ ය, සඞ්ඛාරුපාදානක්ඛන්‍ධ ය, විඤ්ඤාණුපාදානක්ඛන්‍ධ ය.”
යම් කෙනෙකුට කිසිඳු ලෙසකින් පඤ්ච උපාදානස්කන්ධ සෙවිය නොහැක. මන්දයත්, එසේ සොයන්නාගේ සෙවීම ම සක්කාය වේ. එනම් පඤ්ච උපාදානස්කන්ධ වේ. නමුත් එසේ යෙදෙමින්, සෙවීමක් වුවහොත් එසේ සොයන දෙයට පඤ්ච උපාදානස්කන්ධ ලෙසට කෙසේ නම් අර්ථ ගැන්විය හැකි ද? එය කිසිසේත්ම විය නොහැක. එනමුදු යමෙකුට රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පහ ගැන විමසිය හැකි වේ. එය පඤ්ච උපාදානස්කන්ධ නොවේ. සක්කාය ද නොවේ. නමුත් එය යම් වූ තමාට ගෝචර වන කරුණු වේ (රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ). එසේ තමාට ගෝචර, එම පහ සොයන විට (පිරිසිඳ සොයන විට) ඒවා අර්ථාන්විත නොවන බවත් ඵේණ පිණ්ඩුපම සූත්‍රයේ පෙන්වූ උපමාවන්හි අර්ථාන්විත බවත් සිදුවේ. මෙලෙසට සොයන විට එම චින්තනය, ඇත යන යෙදීමක් කෙරෙහි අනුව බැලීමක් වේ. ඒ බව ධම්මානුපස්සනාවේ ද ‘කෙරෙහි අනුව බැලීම ගැන’ පැහැදිලි වේ.
“පඤ‍්ඤා භාවෙතබ‍්බා, විඤ‍්ඤාණං පරිඤ‍්ඤෙය්‍යං.” (මහාවේදල්ල සූත්‍රය – ම.නි. 1)
“ප්‍රඥාව භාවිත කළ යුත්තක්, විඤ්ඤාණය පිරිසිඳ දත යුත්තක්.”
“පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු. කථඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛු ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ‘ඉති රූපං, ඉති රූපස‍්ස සමුදයො, ඉති රූපස‍්ස අත්‍ථඞ‍්ගමො -පෙ- ඉති වෙදනා, –පෙ- ඉති සඤ‍්ඤා, –පෙ- ඉති සඞ‍්ඛාරා, –පෙ- ඉති විඤ‍්ඤාණං, ඉති විඤ‍්ඤාණස‍්ස සමුදයො, ඉති විඤ‍්ඤාණස‍්ස අත්‍ථඞ‍්ගමො’ති.” (මහා සතිපට්ඨාන සූත්‍රය – දී.නි. 2)
“නැවත ද අනෙකක් කියමි. මහණෙනි, භික්ෂුව පඤ්ච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව දකිමින් වාසය කරයි. මහණෙනි, භික්ෂුව පඤ්ච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව දකිමින් වාසය කරන්නේ කෙසේ ද? මහණෙනි, මෙහි භික්ෂුව ‘රූපය මෙසේ ය, රූපයේ හටගැනීම මෙසේ ය, රූපයේ අස්ථංගමය මෙසේ ය, -පෙ- වේදනා මෙසේ ය -පෙ- සංඥා මෙසේ ය -පෙ- සංස්කාර මෙසේ ය -පෙ- විඤ්ඤාණ මෙසේ ය, විඤ්ඤාණයේ හටගැනීම මෙසේ ය, විඤ්ඤාණයේ අස්ථංගමය මෙසේ ය”
මේ ආකාරයට, ‘අනුව බලන විට’ උපමා පහ අර්ථ ගන්වමින් සක්කායේ යෙදීම තහවුරු නොවේ (සක්කාය නිරෝධ ප්‍රතිපදාවෙන් යුක්ත වේ). එනම් නිරෝධය ප්‍රඥාවට දර්ශනය වේ. එවිට කිසිසේත් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ලැබීමක් සිදු නොවේ. නොලැබීමක් ද සිදු නොවේ. නොලැබීමක් ලැබුණ හොත් එයම සක්කායකි. එනම් එයත් පඤ්ච උපාදානස්කන්ධයෝ යි. මේ ආකාරයට සක්කාය ගැන ධර්මය ඇසෙන විට රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ගැන විමසිය යුතු බව එනම් යථාර්ථය දැකිය යුතු බව ඉස්මතු වේ. එය කල්‍යාණ මිතුරකුගේ උපකාරයෙන් සිදුවීමට යොමු වේ.
“යෙ තෙ භික‍්ඛවෙ, භික‍්ඛූ නවා අචිරපබ‍්බජිතා අධුනාගතා ඉමං ධම‍්මවිනයං, තෙ වො භික‍්ඛවෙ, භික‍්ඛූ චතුන‍්නං සතිපට‍්ඨානානං භාවනාය සමාදපෙතබ‍්බා, නිවෙසෙතබ‍්බා පතිට‍්ඨාපෙතබ‍්බා. කතමෙසං චතුන‍්නං: එථ තුම‍්හෙ ආවුසො, කායෙ කායානුපස‍්සිනො විහරථ, ආතාපිනො සම‍්පජානා එකොදිභූතා විප‍්පසන‍්නචිත‍්තා සමාහිතා එකග‍්ගචිත‍්තා කායස‍්ස යථාභූතං ඤාණාය. -පෙ- වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු -පෙ-.” (සාලා සූත්‍රය – ස.නි. 5-2)
“මහණෙනි, අලුත පැවිදි වූ, ළඟ දී මේ ශාසනයට පැමිණි, යම් ඒ නවක භික්‍ෂූහු වෙත් නම්, මහණෙනි, නුඹලා විසින් ඒ භික්‍ෂූහු සතර සතිපට්ඨානය වඩනු පිණිස සමාදන් කරවහු. වාසය කරවහු. පිහිටවහු. කවර සතරක් ද යත්: ඇවැත්නි, නුඹලා ඇවිත් කයෙහි කය අනුව දකිමින්, කෙලෙස් තවන වීර්‍ය ඇතිව, මනා නුවණ ඇතිව, එකඟ සිතින්, මනා ප්‍රසන්න සිතින් යුතුව, කයේ යථාර්ථ ඤාණය පිණිස වෙසෙවු. -පෙ- වේදනාවන්හි -පෙ- සිතෙහි -පෙ- ධර්මයන්හි -පෙ- ”
රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පහ සොයන විට විචක්ෂණශීලී බව ඇති වේ. එය සම්පූර්ණයෙන්ම කල්‍යාණ මිතුරා මතම රඳා පවතී. ඒ බව මුලින් පැහැදිලි කර ඇත. මෙලෙස ලැබීමකින් තොරව සහ නොලැබීමකින් ද තොරව රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ගැන සොයන විට ‘ස්වකීයත්වය දැක්ම’ දුරු වේ. එසේ දුරුවන්නේම සක්කාය හෙවත් ස්වකීයත්වය නිරෝධ දහම ඇසෙන විට ය. එලෙසට ඇසෙන ධර්මය තුළින් ස්වකීයත්වය පැහැදිලි කරන විට මෝඩකම නම් වූ අවිද්‍යාවෙන් එහි ලැගගෙන සිටින බව ප්‍රඥාවට වැටහේ. එයම අවිද්‍යා නිරෝධ දැක්ම හෙවත් ස්වකීයත්වය නිරෝධ දැක්ම වේ. මෙලෙසට ස්වකීයත්වය නිරෝධ ධර්මය (අවිද්‍යාව ඉක්මවීමෙන් ස්වකීයත්වය සිදු නොවීම) ඇසෙන විට ස්වකීයත්වය දැකීම මුලින්ම දුරු වේ. එසේ දුරුවන්නේම ස්වකීයත්වය දැකීම නම් වූ සක්කාය දිට්ඨිය සංයෝජන වී ඇති බව පජානාති වීම හේතුවෙනි. එය ද ඔහුට ලැබීමක් නොවේ. එයත් ඔහු අත්විඳින්නක් නම් එයත් ස්වකීයත්වයකම ලැග ගැනීමකි. ඇසුණු ධර්මයට අනුව විමසන විට ගොඩනැගෙන ප්‍රඥාවේ, දර්ශනය වේ. ඔහු තුළ සිදුවන්නේ ඇසූ දහමට අනුව විමසීම යි. එම පජානාති බව, ප්‍රඥාවේ දර්ශනය යි.
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ