
විමුක්තිකාමී සාමාජයීය ගතිය ඇති ප්‍රඥාවන්ත කෙනෙකුට එම තථාගතයන් වහන්සේට ආවේණික වූ දහම ඇසෙන විට ඔහුට මහානීය වූ අවස්ථාවක් උදා වේ. එය එකම ක්ෂණ සම්පත්තිය බව ද අක්ඛණ සූත්‍රයේ පැහැදිලි කර ඇත.
“අයඤ‍්ච පුග‍්ගලො පච‍්චන‍්තිමෙසු ජනපදෙසු පච‍්චාජාතො හොති අවිඤ‍්ඤාතාරෙසු මිලක‍්ඛෙසු. යත්‍ථ නත්‍ථි ගති භික‍්ඛූනං භික‍්ඛුනීනං උපාසකානං උපාසිකානං. අයං භික‍්ඛවෙ පඤ‍්චමො අක‍්ඛණො අසමයො බ්‍රහ‍්මචරියවාසාය.” (අක්ඛණ සූත්‍රය – අ.නි. 5)
“මේ පුද්ගලයා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන් නැති එබඳු ම්ලේච්ඡ වූ අඥාන වූ ප්‍රත්‍යන්ත ජනපදයන්හි උපදී. මහණෙනි, බඹසර විසීමට මේ පස්වන අනවකාශය වේ. අකාලය වේ.
“ධම‍්මො ච දෙසීයති ඔපසමිකො පරිනිබ‍්බායිකො සම‍්බොධගාමී සුගතප‍්පවෙදිතො. අයඤ‍්ච පුග‍්ගලො මජ‍්ඣිමෙසු ජනපදෙසු පච‍්චාජාතො හොති. සො ච හොති පඤ‍්ඤවා අජළො අනෙලමූගො පටිබලො සුභාසිත දුබ‍්භාසිතස‍්ස අත්‍ථමඤ‍්ඤාතුං. අයං භික‍්ඛවෙ, එකොව ඛණො ච සමයො ච බ්‍රහ‍්මචරියවාසායාති.”
“කෙලෙස් සන්සිඳුවන පිරිනිවීමට හේතු වන, අවබෝධයට පමුණුවන සුගතයන් වහන්සේ වදාළ ධර්‍මය දෙසනු ලැබේ. මේ පුද්ගලයා මධ්‍යම ජනපදයෙහි උපන්නේ වේ. ඔහු නුවණැති වූයේ, ජඩ නොවූයේ, කෙළතොලු නොවූයේ, සුභාෂිත දුර්භාෂිතයේ අර්ථය අවබෝධයට දක්ෂ වූයේ වේ. මහණෙනි, මේ බඹසර විසුමට එකම අවකාශය ද කාලය ද වේ.”
මේ ආකාරයට ශ්‍රාවක බව ලැබීම තුළින් ප්‍රත්‍යන්ත දේශවල ද විමුක්තිකාමී සමාජීය ගතියක් ඇතිවීමෙන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය ක්ෂණයම උදාවනු ඇත. ප්‍රත්‍යන්ත දේශය තුළ ශ්‍රාවකත්වය ඉස්මතු නොවූයේ නම්, එවිට මධ්‍ය දේශික ගතිය ඉස්මතු නොවේ.
“තත්‍රිමෙ පච‍්චන‍්තිමා ජනපදා: පුරත්‍ථිමාය දිසාය කජඞ‍්ගලං නාම නිගමො. තස‍්සාපරෙන මහාසාලා. තතො පරා පච‍්චන‍්තිමා ජනපදා. ඔරතො මජ‍්ඣෙ. පුරත්‍ථිමදක‍්ඛිණාය දිසාය සල‍්ලවතී නාම නදී. තතො පරා පච‍්චන‍්තිමා ජනපදා. ඔරතො මජ‍්ඣෙ. දක‍්ඛිණාය දිසාය සෙතකණ‍්ණිකං නාම නිගමො. තතො පරා පච‍්චන‍්තිමා ජනපදා. ඔරතො මජ‍්ඣෙ. පච‍්ඡිමාය දිසාය ථූණං නාම බ්‍රාහ‍්මණගාමො. තතො පරා පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ. උත‍්තරාය දිසාය උසීරද‍්ධජො නාම පබ‍්බතො. තතො පරා පච‍්චන‍්තිමා ජනපදා. ඔරතො මජ‍්ඣෙ.” (මහාවග්ග පාළිය, විනය පිටකය)
“මේ එහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. පෙරදිගින් කජඞ්ගල නම් නියම් ගම ය. ඉන් පිටත මහා ශාලය ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ වෙයි. ඉන් මෙපිට මධ්‍ය දේශය යි. පූර්ව දක්‍ෂිණ දිශාවෙන් (ගිනිකොණින්) සල්ලවතී නම් ගංගාව ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙපිට මධ්‍ය දේශය යි. දකුණු දිගින් සේත කන්ණිකා නම් නියම් ගම ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙපිට මධ්‍ය දේශය යි. බස්නාහිර දිගින් ථූණ නම් බමුණු ගම ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙපිට මධ්‍ය දේශය යි. උතුරු දිගින් උසිරද්ධජ නම් පර්‍වත ය යි. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙපිට මධ්‍ය දේශය යි.”
විනය පිටකයේ පෙන්වා ඇති මේ කරුණින් මධ්‍ය දේශය කුමක් ද යන වග වටහා ගත හැක. එම මධ්‍ය දේශය තුළ ඇති ගතිය මුලින් පැහැදිලි කරන ලදී. මේ ආකාරයට ප්‍රත්‍යන්ත දේශය තුළ ද මධ්‍ය දේශික ගතිය තාවකාලිකව හෝ ඒ ඒ පිරිස අතර උදාවීමට නම් ශ්‍රාවකයන් ඇති විය යුතු ය. එසේ ශ්‍රාවකත්වය ඇති වූ තැන මධ්‍ය දේශික ගතිය නිර්මාණය වූ විට ප්‍රඥාවන්ත අයට සක්කාය නිරෝධ ධර්මය ඇසෙන විට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වේ. මෙලෙසට මධ්‍ය දේශික ගතියක් ඉස්මතු වෙමින් සක්කාය නිරෝධ ධර්මය ඉස්මතු කිරීමට ලෝකයේ දුර්ලභ ශ්‍රාවක සම්පත්තිය උදා විය යුතු වේ.
“පුන චපරං, භික‍්ඛවෙ තස‍්සෙව සත්‍ථුසාවකො අරහං හොති ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසංයොජනො සම‍්මදඤ‍්ඤා විමුත‍්තො. සො ධම‍්මං දෙසෙති ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සබ්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙති. අයං භික‍්ඛවෙ දුතියො පුග‍්ගලො ලොකෙ උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.”
පුන චපරං භික‍්ඛවෙ තස‍්සෙව සත්‍ථුසාවකො සෙඛො හොති පටිපදො බහුස‍්සුතො සීලවතූපපන‍්නො. -පෙ- ” (බහුජනහිත සූත්‍රය – ඉතිවුත්තකපාලි)
“තවද, මහණෙනි, ඒ ශාස්තෘන් වහන්සේගේම ශ්‍රාවක වූ ආස්‍රව ක්‍ෂය කරන ලද, බඹසර වාසය නිමවූ, කළ යුත්ත කළ, බර බහා තැබූ, අර්ථය කරගන්නා ලද, පැවැත්මේ බැඳීම ප්‍රහාණ වූ, මනාව ඥානයෙන් මිදුණා වූ රහතන් වහන්සේ නමක් වෙයි. ඔහු මුල සුන්දර වූ, මැද සුන්දර වූ, අවසානය සුන්දර වූ, අර්‍ත්‍ථයෙන් යුක්ත, ව්‍යඤ්ජනයෙන් යුක්ත (පද පිළිවෙළ), කේවළත්වය පිරෙන, පිරිසිදු නිවන් මග දේශනා කරන සේක. මහණෙනි, මේ දෙවෙනි පුද්ගලයා ලොව ඉපදීමෙන්, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස, සුව පිණිස පවතී.
තවද මහණෙනි, ඒ ශාස්තෘන් වහන්සේගේම ශ්‍රාවක වූ බහුශ්‍රැත වූ සිල්වන්ත වූ ප්‍රතිපදාවෙන් යුක්ත ‘සේඛ’ කෙනෙක් වේ. -පෙ- ”
තථාගතයන් වහන්සේ පහළ වන්නේම මධ්‍ය දේශික සමාජය තුළ ය. එනමුත් ශ්‍රාවකයන් ප්‍රත්‍යන්ත දේශයේ සිටීම තුළින් සක්කාය නිරෝධ ධර්මය ඇසිමට අවස්ථාව උදාවන්නේම මධ්‍ය දේශික ගතිය උදාවීමෙනි. එනම් විමුක්තිය සෙවීමේ ගතිය, සත්‍යගවේෂී ගතිය එම ශ්‍රාවකයන් ඇසුරු කරන පිරිස තුළ ඇතිවීම තුළිනි. එසේ ඇති වූ මධ්‍ය දේශික ගතියෙන් යුත් ප්‍රඥාවන්ත උදවියට සක්කාය නිරෝධ දහම ඇසෙන විට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වේ.
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ