
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව මුලින්ම දුරුවිය යුත්තේ ස්වකීයත්වය දැක්ම ය (සක්කාය දිට්ඨිය). එම ස්වකීයත්වය දැක්ම සමඟ ම විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස සංයෝජන ද බැඳී පවතී. සක්කාය දිට්ඨිය පජානාති වන ආකාරය පැහැදිලි කළ මහා මාලුඞ්ක්‍ය සූත්‍රය තුළම විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස පජානාති වන බව පැහැදිලි කර ඇත. එමෙන්ම මේ පිළිබඳව කලහවිවාද සූත්‍රයේ ද පැහැදිලි වේ.
“කොධො මොසවජ‍්ජඤ‍්ච කථංකථා ච එතෙපි ධම‍්මා ද‍්වයමෙව සන‍්තෙ, කථංකථී ඤාණපථාය සික‍්ඛෙ ඤත්‍වා පවුත‍්තා සමණෙන ධම‍්මා.” (කලහවිවාද සූත්‍රය – සුත්ත නිපාත)
ක්‍රෝධය, මුසාවාදය හා විචිකිච්ඡාව යන මේ ධර්‍මයෝත් (සාත, අසාත වේදනාව) ඒ දෙකම නිසාම සිදුවේ. විචිකිච්ඡා බවින් යුතුව ඥාන මාර්ගය ඇතිවීම සඳහා හිමෙන්නේ ය. ශ්‍රමණයන් වහන්සේ විසින් අවබෝධ කොටගෙන මේ ධර්මය දේශනා කරන ලදී.
සැකයෙන් යුතු කෙනා නුවණ වැඩෙන මාර්ගයේ හික්මෙයි. මෙය යමෙකු ඇසූ ගමන් උභතෝකෝටික ප්‍රශ්නයක් මතු වේ. මන්දයත් සැකය ඇතිවිට නුවණ වැඩෙන මාර්ගයක හික්මිය නොහැක. එය ආවරණ දහමකි. එනම් එය නීවරණයකි. මෙතන පෙන්වන්නේ සංයෝජනය යි. නීවරණ ද ඇතිවිට අවබෝධ කරගෙන පජානාති වීමෙන් නැවත හටනොගන්නා බවටම පත්වීම පිළිබඳව සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වේ.
“සන‍්තං වා අජ‍්ඣත‍්තං විචිකිච‍්ඡං ‘අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං විචිකිච‍්ඡා’ති පජානාති, අසන‍්තං වා අජ‍්ඣත‍්තං විචිකිච‍්ඡං ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං විචිකිච‍්ඡා’ති පජානාති, යථා ච අනුප‍්පන‍්නාය විචිකිච‍්ඡාය උප‍්පාදො හොති තඤ‍්ච පජානාති, යථා ච උප‍්පන‍්නාය විචිකිච‍්ඡාය පහානං හොති තඤ‍්ච පජානාති, යථා ච පහීනාය විචිකිච‍්ඡාය ආයතිං අනුප‍්පාදො හොති තඤ‍්ච පජානාති.” (සතිපට්ඨාන සූත්‍රය – දී.නි. 2)
“අධ්‍යාත්මයේ හෝ ඇත්තා වූ විචිකිච්ඡාව ‘මාගේ අධ්‍යාත්මයෙහි විචිකිච්ඡාව ඇතැ’යි පජානාති වේ (ප්‍රඥාවෙන් දැනගනී). “අධ්‍යාත්මයේ හෝ නැත්තා වූ විචිකිච්ඡාව ‘මාගේ අධ්‍යාත්මයෙහි විචිකිච්ඡාව නැතැ’යි පජානාති වේ (ප්‍රඥාවෙන් දැනගනී). යම් ආකාරයකින් ද නූපන් විචිකිච්ඡාව ඉපැද්ම වේ ද එයත් පජානාති වේ (ප්‍රඥාවෙන් දැනගනී). යම් ආකාරයකින් ද උපන් විචිකිච්ඡාව ප්‍රහාණය වේ ද එයත් පජානාති වේ (ප්‍රඥාවෙන් දැනගනී). යම් ආකාරයකින් ද ප්‍රහාණය වූ විචිකිච්ඡාව නැවත නූපදින්නේ වේ ද එයත් පජානාති වේ (ප්‍රඥාවෙන් දැනගනී).”
මෙම සතිපට්ඨාන සූත්‍රයේදී විචිකිච්ඡා නීවරණය ප්‍රහාණය වීම පිළිබඳව පැහැදිලි කර ඇත. එසේ ප්‍රහාණය වන්නේ ද විචිකිච්ඡාව ඇතිබව පජානාති වීමෙනි. නමුත් කලහවිවාද සූත්‍රයට හා මහා මාලුඞ්ක්‍යපුත්ත සූත්‍රයට අනුව විචිකිච්ඡාව සංයෝජනයක් ලෙස දුරුවීම සිදුවන ලෙස හික්මීමේ වැඩපිළිවෙළ තුළ ඥාන මාර්ගය හෙවත් ප්‍රඥාවේ දර්ශනය ඇත. එය සංයෝජන පජානාති වීම වේ. සක්කාය දිට්ඨිය විග්‍රහ කරන විට එසේ සංයෝජන පජානාති වීම පිළිබඳව පැහැදිලි කරනු ඇත. සක්කාය දිට්ඨිය පැහැදිලි කරන විට සක්කාය දිට්ඨිය හා සක්කාය දිට්ඨිය පජානාති වීම හා සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම විස්තර කිරීමට අවශ්‍ය වේ. ඒ ආකාරයට ම විචිකිච්ඡා ආදී සංයෝජන පජානාති වීම සිදු වේ.
සක්කාය දිට්ඨිය නම් වූ ස්වකීයත්වය දැක්ම දුරුවන්නේ සක්කාය හෙවත් ස්වකීයත්වය පිළිබඳව ඇති මෝඩකම නම් වූ අවිද්‍යාව ඉක්මවීම සඳහා දේශනා කළ සක්කාය නිරෝධ ධර්මය ශ්‍රවනය කිරීමෙනි. එනම් ස්වකීයත්වය නිරෝධවීම පිළිබඳව ධර්ම ශ්‍රවනය කිරීමෙනි. ලෝකයේ යම් සත්වයෙක් යනු (සත්වත්වයක්) ස්වකීයත්වයම වේ. එසේ ස්වකීයත්වය නිරෝධයට ධර්ම දේශනා කරනු ලබන විට ලෝක සත්වයා (පෘථග්ජනයා) ඒ් සඳහා කන් යොමු නොකරති.
“සක්කාය නිරොධාය ධම්මෙ දෙසියමානෙ චිත්තං න පක්ඛන්‍දති, නප්පසීදති, න සන්තිට්ඨති, න විමුච්චති.” (මහාමාලුඞ්ක්‍ය සූත්‍රය – ම.නි. 2)
“සක්කාය නිරෝධය පිණිස ධර්මය දේශනා කරන විට සිත එයට බැස නොගනී ද, නොපහදී ද, නොපිහිටයි ද, නොමිදෙයි ද වෙයි.”
මේ දේශනා තුළින් සක්කාය නිරෝධයට ඇති දහම ඇසීමට ලෝකයා කන් යොමු නොකරන බව මනාව පැහැදිලි වේ. මන්දයත් තම තමන් සිටින්නේම ස්වකීයත්වය තුළ වීම ම යි. නුවණ මඳ අයට එසේ ධර්මය ඇසෙන විට දී පවා සම්මුති ලෝකයේ පවතින ස්වකීය රාමුවටම කොටු වී විමුක්ත වූ බවට රැවටී සිටිති.
“සකං හි ධම‍්මං පරිපුණ‍්ණමාහු අඤ‍්ඤස‍්ස ධම‍්මං පන හීනමාහු,
එවම‍්පි විග‍්ගය‍්හ විවාදයන‍්ති සකං සකං සම‍්මුතිමාහු සච‍්චං.” (මහාවියූහ සූත්‍රය – සුත්ත නිපාතය)
“ස්වකීය ධර්මයම පරිපූර්ණ යයි කියති. අන්‍යයන්ගේ ධර්මය හීන යැයි කියති. මෙසේත් දැඩිව ගෙන විවාද කෙරෙති. ස්වකීය ස්වකීය වූ සම්මුතියම සත්‍යය යැයි කියති.”
ස්වකීයත්වයම තුළ වාසය කරන අයට ස්වකීයත්වය නිරෝධය පිළිබඳ වූ ධර්ම දේශනා කළ ද, එය ද වැරදි ලෙසටම ගනිමින් තව තවත් දෘෂ්ටි තුළටම රිංගාගනු ලැබේ. එසේ ස්වකීයත්වයට රිංගා ගන්නේ තම තමන් කල්පනා කරන ආකාරයට වැදගත්කම ඇති වීම නිසාවෙනි.
“සකං සකං දිට‍්ඨිපරිබ‍්බසානා විග‍්ගය‍්හ නානා කුසලා වදන‍්ති,
යො එවං ජානාති ස වෙදි ධම‍්මං ඉදං පටික‍්කොස’මකෙවලී සො.” (චූලවියූහ සූත්‍රය – සුත්ත නිපාතය)
“ස්වකීය ස්වකීය වූ දැක්මෙහි දැඩිව ගෙන වසන්නා වූ අය (තම තමන්) දක්‍ෂ යැයි නොයෙක් ආකාරයෙන් කියති. යමෙක් මෙසේ මෙය දනී ද ඔහු ධර්මය දැනගත්තේ ය. යමෙක් මෙය ප්‍රතික්ෂේප කරයි ද ඔහු අසම්පූර්ණයෙක් යැයි කියති.”
මේ සූත්‍රය තුළ පැහැදිලි වන්නේ දෘෂ්ටිවලට රිංගාගත් අය තම තමන්ගේ දේ නිවැරදි බව ඉදිරිපත් කිරීමකි. විමුක්තිකාමි සමාජය තුළ මෙවැනි අය බොහෝ සිටිය හ.
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ