
දර්ශනය පිරිසිදු නොවී එනම් සෝතාපන්න නොවී යමෙක් ‘මම’ යන්න නොලැබෙන ලෙසට ප්‍රායෝගිකව වඩන්නේ නම් ඔහුගේ ඒ දිට්ඨිය බාහිර ශ්‍රාවක දිට්ඨියකි. සෝතාපන්න වීමේ වැඩපිළිවෙළ වන සක්කාය දිට්ඨිය ප්‍රහාණය වන වැඩපිළිවෙළ මෙම විස්තරය මුළුල්ලේම පැහැදිලි කර ඇත. එසේ දර්ශනය සිදුවීම හා එයින් යුක්ත කෙනෙකුගේ ප්‍රායෝගික ප්‍රතිපදාව පිළිබඳව උදාන සූත්‍රයේ සඳහන් වේ.
“තත්‍ර ඛො භගවා උදානං උදානෙසි. “නො චස‍්ස, නො ච මෙ සියා, න භවිස‍්සති, න මෙ භවිස‍්සතීති එවං විමුච‍්චමානො භික‍්ඛු ඡින්‍දෙය්‍යොරම‍්භාගියානි සංයොජනානී”ති.” (උදාන සූත්‍රය – ස.නි. 3)
“එකල්හි භාග්‍යවතුන්වහන්සේ මේ උදානය (ප්‍රීතිවාක්‍යය) පහළ කළසේක: “නොවෙයි නම් ද, (මට) මගේ ද නොවේ ය, නොවන්නේ ය (නම්), (මට) මගේ නොවන්නේ ය”, මෙසේ විමුක්ත වෙමින් සිටින භික්ෂුව ඕරම්භාගිය සංයෝජන සිඳියි.”
මේ පැහැදිලි කරන ප්‍රතිපදාව ඉස්මතු වී තිබෙන්නේ උත්තම පුරුෂ ක්‍රියාවකින් නොවේ. එය ප්‍රථම පුරුෂ ක්‍රියාවෙන්ම පැහැදිලි කර ඇත. කලින් පෙන්වූ පඨම කෝසල සූත්‍රයේ දී ද එමෙන්ම පාරිලෙය්‍යක, නො චස්ස ආදී සූත්‍ර තුළ පෙන්වා ඇත්තේ උත්තම පුරුෂ ක්‍රියාවෙනි. එය බාහිර දිට්ඨියක් වේ.
“නො චස‍්සං නො ච මෙ සියා න භවිස‍්සාමි’ න මෙ භවිස‍්සතී”ති. යා ඛො පන සා භික‍්ඛවෙ, උච‍්ඡෙදදිට‍්ඨි සඞ‍්ඛාරො සො.” (පාරිලෙය්‍යක සූත්‍රය – ස.නි. 3)
“(මම) නොවෙමි නම් ද, මගේ (මට) ද නොවෙයි. (මම) නොවන්නෙමි (නම්), මගේ (මට) නොවන්නේ ය.” මහණෙනි, යම් ඒ උච්ඡේද දෘෂ්ටියක් වේ නම් එයත් සංස්කාරය යි.”
“රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති: “නො චස‍්සං, නො ච මෙ සියා, න භවිස‍්සාමි න මෙ භවිස‍්සතී”ති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ” (නො චස්ස සූත්‍රය – ස.නි. 3)
“මහණෙනි, රූපය ඇති කල්හි, රූපය උපාදාන කොට, රූපයේ රිංගාගෙන, මෙසේ දිට්ඨි උපදී. “(මම) නොවෙමි නම් ද, මගේ (මට) ද නොවෙයි. (මම) නොවන්නෙමි (නම්), මගේ (මට) නොවන්නේ ය.” වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඤ්ඤාණය ඇති කල්හි”
මෙසේ ‘මම’ නොලබන බව ප්‍රතිපදාව සිදුවීමට නම් දර්ශනය පිරිසිදු විය යුතුය. එසේ දර්ශනය පිරිසිදු වීම සිදුවන ආකාරය ද උදාන සූත්‍රයේ පැහැදිලි කර ඇත. ඒ දකින ආකාරය පිළිබඳව ඉදිරියේ දී සාකච්ඡා කරමු. මේ ආකාරයට සේඛ කෙනෙකුගේ සිදුවන ප්‍රායෝගික ප්‍රතිපදාව ආනෙඤ්ජසප්පාය සූත්‍රයේ ද සඳහන්ව ඇත.
“ඉධානන්‍ද, භික‍්ඛු එවං පටිපන‍්නො හොති: නො චස‍්ස, නො ච මෙ සියා. න භවිස‍්සති. න මෙ භවිස‍්සති. යදත්‍ථි යං භූතං තං පජහාමී’ති. එවං උපෙක‍්ඛං පටිලභති. සො තං උපෙක‍්ඛං නාභිනන්‍දති, නාභිවදති, නාජ‍්ඣොසාය තිට‍්ඨති. තස‍්ස තං උපෙක‍්ඛං අනභිනන්‍දතො අනභිවදතො අනජ‍්ඣොසාය තිට‍්ඨතො න තං නිස‍්සිතං හොති විඤ‍්ඤාණං, න තදුපාදානං. අනුපාදානො ආනන්‍ද, භික‍්ඛු පරිනිබ‍්බායතීති.” (ආනෙඤ්ජසප්පාය සූත්‍රය – ම.නි. 3)
“ආනන්‍දය, මෙහි භික්ෂුවක් මෙසේ පිළිපන්නේ වෙයි. “නොවෙයි නම් ද, (මට) මගේ ද නොවේ ය, නොවන්නේ ය (නම්), (මට) මගේ නොවන්නේ ය”, යමක් හටගනී ද, එය දුරුකරමි යි යන කරුණ වේ. මෙසේ ඔහු උපේක්ෂාවක් ලබයි. ඔහු ඒ උපේක්ෂාව සතුටින් නොපිළිගනී. ව්‍යවහාරයකට නොයයි (විස්තර කිරීමක් නැත). බැස ගැනීමක් නොවෙයි. ඔහු ඒ උපේක්ෂාව සතුටින් නොපිළිගැනීමෙන්, ව්‍යවහාරයකට නොයෑමෙන් (විස්තර කිරීමක් නොවීමෙන්), බැස නොගැනීමෙන් ඒ හා එකතු වූ දැනගැනීමක් නොවේ. එයට බැඳීමක් නොවේ (උපාදානය). ආනන්‍දය, උපාදාන නොවීමෙන් භික්ෂුව පිරිනිවේ.”
මෙසේ නිවැරදිව එතෙරවීමේ ප්‍රතිපදාවට යොමුවීමට කල්‍යාණ මිත්‍රයාටම යොමු වී දර්ශනය පිරිසිදු විය යුතු වේ. එසේ නොවුනහොත් තමාගේම අත්දැකීමක් ලෙසටම සිදු වී බාහිර ශ්‍රාවක දිට්ඨියෙන් යුතු වේ. එහි වැදගත්කම පිළිබඳව මුල සිටම විස්තර කර ඇත.
මේ ආකාරයට බාහිර දිට්ඨියකට යොමු නොවී සම්පූර්ණයෙන්ම කල්‍යාණ මිත්‍රයාට යොමු වී සක්කාය දිට්ඨිය ප්‍රහාණය වන මාර්ගයට යොමු වන ආකාරය පැහැදිලි කර ගනිමු. කල්‍යාණ මිත්‍රයාටම යොමු වී ඊට අනුව ප්‍රතිපදාව පුරුදු කරන විට, ප්‍රඥා ඉන්ද්‍රිය තිබෙන බව කීටාගිරි සූත්‍රයේ සඳහන් විය. කල්‍යාණ මිත්‍රයාට යොමු වීම ම සම්මාදිට්ඨිය නොහොත් මාර්ගයට බැසගැනීමට (සෝතාපන්න වීමට) පූර්ව නිමිත්ත බව මුලින් පෙන්වූ සූත්‍ර තුළ පැහැදිලි කළේ ය. කල්‍යාණ මිත්‍රයාට යොමුවීම ම ප්‍රඥා ඉන්ද්‍රිය ඇති බව වේ. එම ප්‍රඥා ඉන්ද්‍රිය තුළ ඇති කෘත්‍ය පිළිබඳව විමසා බලමු.
“සුතවා ච ඛො ආනන්‍ද අරියසාවකො අරියානං දස‍්සාවී අරියධම‍්මස‍්ස කොවිදො අරියධම‍්මෙ සුවිනීතො, සප‍්පුරිසානං දස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස කොවිදො සප‍්පුරිසධම‍්මෙ සුවිනීතො, න සක‍්කායදිට‍්ඨිපරියුට‍්ඨිතෙන චෙතසා විහරති න සක‍්කායදිට‍්ඨිපරෙතෙන, උප‍්පන‍්නාය ච සක‍්කායදිට‍්ඨියා නිස‍්සරණං යථාභූතං පජානාති, තස‍්ස සා සක‍්කායදිට‍්ඨි සානුසයා පහීයති” (මහාමාලුඞ්ක්‍ය සූත්‍රය – ම.නි. 2)
“ආනන්ද, ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවකයා, ආර්‍ය්‍යයන්ගේ දර්ශනය ඇත්තා, ආර්‍ය්‍යධර්‍මයේ දක්‍ෂයා, ආර්‍ය්‍යධර්‍මයෙහි හික්මෙන්නා, සත්පුරුෂයන්ගේ දර්ශනය ඇත්තා, සත්පුරුෂධර්‍මයේ දක්‍ෂයා, සත්පුරුෂධර්‍මයෙහි හික්මෙන්නා, සක්කාය දෘෂ්ටියෙන් මඩනා ලදුව (යටපත් කරගෙන) සක්කාය දෘෂ්ටිය අනුව ගිය සිතින් යුක්තව නොවෙසෙයි. උපන් සක්කාය දෘෂ්ටියේ ද නිස්සරණය යථාර්ථ වශයෙන් දනි (ප්‍රඥාවෙන් දනී). ඔහුගේ ඒ සක්කාය දෘෂ්ටිය අනුසය වශයෙන්ම ප්‍රහාණය වේ.”
සක්කාය දිට්ඨිය ‘පජානාති වීම’ පිළිබඳව මහාමාලුඞ්ක්‍ය සූත්‍රයේ පැහැදිලි වේ. ‘පජානාති’ යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් මහාවේදල්ල සූත්‍රයේ ද සඳහන් වේ.
“පජානාති පජානාතීති ඛො ආවුසො, තස්මා පඤ්ඤවාති වුච්චති. කිඤ්ච පජානාති? ඉදං දුක්ඛන්ති පජානාති, අයං දුක්ඛසමුදයොති පජානාති, අයං දුක්ඛනිරොධොති පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති පජානාති. පජානාති පජානාතීති ඛො ආවුසො, තස්මා පඤ්ඤවාති වුච්චති.” (මහාවෙදල්ල සූත්‍රය, ම.නි-1)
“ඇවැත්නි, පජානාති පජානාතී වෙයි ද, ඒ හෙයින් ප්‍රඥාවන්ත යැයි කියනු ලැබේ. කුමක් පජානාති වේද? ‘මේ දුක යැයි පජානාති වේ. මේ දුක හටගැනීම යැයි පජානාති වේ. මේ දුක නිරෝධය යැයි පජානාති වේ. මේ දුක නිරෝධ ගාමිනී පටිපදාව යැයි පජානාති වේ’ යන මෙකරුණෙන් ඇවැත්නි, ප්‍රඥාවන්ත වේ යැයි කියනු ලැබේ.”
සක්කාය දිට්ඨිය පැහැදිලි කරන විට ඒ කරුණු සමඟ තව දුරටත් පජානාති පිළිබඳව පැහැදිලි කර ගනිමු. මෙතැන දී සක්කාය දිට්ඨිය පමණක් නොව විචිකිච්ඡා ආදී අනෙකුත් කරුණු ද පජානාති වේ. එමෙන්ම එහි ඉපදීම ද පජානාති වේ. ඔහු සක්කාය දිට්ඨිය දුරු කරන බව ද පැහැදිලි කර ඇත. එනම් ඔහු සක්කාය දිට්ඨිය දුරු කළ අයෙක් නොවේ. එමෙන්ම සක්කාය දිට්ඨිය දුරු නොකරන අය පිළිබඳව ද මහා මාලුඞ්ක්‍ය සූත්‍රයේ පැහැදිලි කර ඇත.
“අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො, සක‍්කායදිට‍්ඨිපරියුට‍්ඨිතෙන චෙතසා විහරති සක‍්කායදිට‍්ඨිපරෙතෙන, උප‍්පන‍්නාය ච සක‍්කායදිට‍්ඨියා නිස‍්සරණං යථාභූතං නප‍්පජානාති. තස‍්ස සා සක‍්කායදිට‍්ඨි ථාමගතා අප‍්පටිවිනීතා ඔරම‍්භාගියං සංයොජනං…” (මහා මාලුඞ්ක්‍ය සූත්‍රය – ම.නි. 2 )
“අශ්‍රැතවත් පෘථග්ජනයා, ආර්‍ය්‍යයන්ගේ දර්ශනය නැත්තා, ආර්‍ය්‍යධර්‍මයේ අදක්‍ෂයා, ආර්‍ය්‍යධර්‍මයෙහි නොහික්මෙන්නා, සත්පුරුෂයන්ගේ දර්ශනය නැත්තා, සත්පුරුෂධර්‍මයේ අදක්‍ෂයා, සත්පුරුෂධර්‍මයෙහි නොහික්මෙන්නා සක්කාය දෘෂ්ටියෙන් මඩනා ලදුව (යටපත් කරගෙන) සක්කාය දෘෂ්ටිය අනුව ගිය සිතින් යුක්තව වෙසෙයි. උපන් සක්කාය දෘෂ්ටියේ ද නිස්සරණය යථාර්ථ වශයෙන් නො දනි (ප්‍රඥාවෙන් නොදනී). ඔහුගේ ඒ සක්කාය දෘෂ්ටිය ස්ථිර බවට පත්වේ. බැහැර නොකළා වූ ඕරම්භාගිය සංයෝජන වෙයි.”
සක්කාය දිට්ඨියෙන් යුක්ත, එය දුරු නොකරන අය හා දුරු කරන අය පිළිබඳව මෙම දේශනය තුළින් හොඳින් ඉස්මතු වේ. එනම් පෘථග්ජන අය (සක්කාය දිට්ඨි සංයෝජනයෙන් යුක්ත) හා සක්කාය දිට්ඨිය දුරු නොකළ නමුත් දුරු කරන ප්‍රතිපදාවෙන් යුක්ත අය වේ. ප්‍රතිපදාවෙන් යුතු (සක්කාය දිට්ඨිය පජානාති වූ) අයට ප්‍රඥාව ඇති බව පජානාති බවින් පැහැදිලි වේ. එමෙන්ම මේ අය සක්කාය දිට්ඨිය දුරු කළ සෝතාපන්න අය නොවේ. එය දුරු කිරීමට පිළිපන් ප්‍රඥාව ඇති අය වේ. සද්ධානුසාරී, ධම්මානුසාරී දෙදෙනා ද සෝතාපන්න නොවී මිය යෑම සිදු නොවන බව පැහැදිලි කර ඇත. එසේ නම් සද්ධානුසාරී, ධම්මානුසාරී අය ප්‍රඥා ඉන්ද්‍රිය තුළින් සක්කාය දිට්ඨිය හා එහි හටගැනීම මනාව දැන ගනී. එනම් පජානාති වේ.
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ