සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 47 

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රඥාවන්තයන්ට පමණක් ගෝචර වන්නකි. ස්වකීයත්වය දැක්ම (සක්කාය දිට්ඨිය) ඉක්මවන දහමේ දී, ස්වකීයත්වය දැක්මට යමක් ලැබෙන්නේ නම් එය සම්පූර්ණයෙන් සාවද්‍ය වේ. එබැවින් තථාගත දහම ස්වකීයත්වය දැක්ම ඉක්මවන ලෙස ප්‍රඥාවට ගෝචර වන්නකි. තමා නැතිබව තමා අත්දකින්නේ නම් එය දෘෂ්ටියකි. 

අහං හි භො ගොතම එවංවාදී එවංදිට‍්ඨී: “නත්‍ථි අත‍්තකාරො, නත්‍ථි පරකාරොති.” 

මාහං බ්‍රාහ‍්මණ, එවංවාදිං එවංදිට‍්ඨිං අද‍්දසං වා අස‍්සොසිං වා. කථං හි නාම සයං අභික‍්කමන‍්තො සයං පටික‍්කමන‍්තො එවං වක‍්ඛති: “නත්‍ථි අත‍්තකාරො, නත්‍ථි පරකාරො”ති.” (අත්තකාර සූත්‍රය – අ.නි. 4) 

“භවත් ගෞතමයන් වහන්ස, “මම වනාහි ආත්මයක ක්‍රියාවක් (තමන් කරන ක්‍රියාවක්) නැත. අනුන් කරන ක්‍රියාවක් නැත යන මෙබඳු වාද ඇතියෙමි, මෙබඳු දෘෂ්ටි ඇතියෙමි” 

බ්‍රාහ්මණය, මෙබඳු වාද ඇති කෙනෙක්, මෙබඳු දෘෂ්ටි ඇති කෙනෙක් හෝ මම නොදකීවා. මට නොඇසේවා. තමන්ම ඉදිරියට යාම් කරද්දී, තමන්ම ආපසු ඒම් කරද්දී, කෙසේ නම් මෙසේ පවසන්නේ ද? ‘තමන් කරන්නක් නැත, අනුන් කරන්නක් නැතැ යි ලෙස’”  

එවැනි සමහර ප්‍රශ්නවලට ද බුදුරජාණන් වහන්සේ පිළිතුරු දී ද නැත. 

අහඤ‍්ච ආනන්‍ද, වච‍්ඡගොත‍්තස‍්ස පරිබ‍්බාජකස‍්ස අත්‍ථත‍්තාති පුට‍්ඨො සමානො අත්‍ථත‍්තාති ව්‍යාකරෙය්‍යං, යෙ තෙ ආනන්‍ද, සමණබ්‍රාහ‍්මණා සස‍්සතවාදා, තෙසමෙතං ලද‍්ධි අභවිස‍්ස. අහඤ‍්ච ආනන්‍ද, වච‍්ඡගොත‍්තස‍්ස පරිබ‍්බාජකස‍්ස නත්‍ථත‍්තාති පුට‍්ඨො සමානො නත්‍ථත‍්තාති ව්‍යාකරෙය්‍යං, යෙ තෙ ආනන්‍ද, සමණබ්‍රාහ‍්මණා උච‍්ඡෙදවාදා, තෙසමෙතං ලද‍්ධි අභවිස‍්ස. අහඤ‍්ච ආනන්‍ද, වච‍්ඡගොත‍්තස‍්ස පරිබ‍්බාජකස‍්ස අත්‍ථත‍්තාති පුට‍්ඨො සමානො අත්‍ථත‍්තාති ව්‍යාකරෙය්‍යං, අපිනු මෙතං ආනන්‍ද, අනුලොමං අභවිස‍්ස ඤාණස‍්ස උප‍්පාදාය. සබ‍්බෙ ධම‍්මා අනත‍්තාති. නො හෙතං භන‍්තෙ. අහඤ‍්ච ආනන්‍ද වච‍්ඡගොත‍්තස‍්ස පරිබ‍්බාජකස‍්ස නත්‍ථත‍්තාති පුට‍්ඨො සමානො නත්‍ථත‍්තාති ව්‍යාකරෙය්‍යං, සම‍්මූළ‍්හස‍්ස ආනන්‍ද, වච‍්ඡගොත‍්තස‍්ස පරිබ‍්බාජකස‍්ස භිය්‍යො සම‍්මොහාය අභවිස‍්ස: අහුවා මෙ නූන පුබ‍්බෙ අත‍්තා, සො එතරහි නත්‍ථීති.” (අත්ථත්ත සූත්‍රය – ස.නි. 4) 

“ආනන්‍දය, ආත්මයක් ඇත්දැයි ප්‍රශ්න කරන විට, ආත්මයක් ඇතැයි වච්චගොත්ත පරිබ්‍රාජකයාට මම පැවසුවේ නම්, ආනන්‍ද යම් ඒ මහණ බමුණෙක් ශාශ්වත වාද තිබේද (ඒකාන්තයෙන් යමක් ඇති බව) මෙය ඔවුන්ගේ ලැබීමක් වන්නේය. ආනන්‍දය, ආත්මයක් නැත්දැයි ප්‍රශ්න කරන විට, ආත්මයක් නැතැයි වච්චගොත්ත පරිබ්‍රාජකයාට මම පැවසුවේ නම්, ආනන්‍ද යම් ඒ මහණ බමුණෙක් උච්ඡේදවාද තිබේද (ඒකාන්තයෙන් යමක් නැති බව) මෙය ඔවුන්ගේ ලැබීමක් වන්නේ ය. ආනන්‍දය, ආත්මයක් ඇත්දැයි ප්‍රශ්න කරන විට, ආත්මයක් ඇතැයි වච්චගොත්ත පරිබ්‍රාජකයාට මම පැවසුවේ නම්, ආනන්‍ද සියලු ධර්මයන් අනාත්මයි යන ඥානය ඉපදීමට අනුලෝම වේද? නැත ස්වාමීනී. ආනන්‍දය, ආත්මයක් නැත්දැයි ප්‍රශ්න කරන විට, ආත්මයක් නැතැයි වච්චගොත්ත පරිබ්‍රාජකයාට මම පැවසුවේ නම්, ආනන්‍ද මුලාවෙන් යුක්ත වූ වච්චගොත්ත පරිබ්‍රාජකයාට (නුවණ නැති) පෙර මට ඒකාන්තයෙන් ආත්මයක් තිබුනේ ය, ඒ දැන් නැතැයි බොහෝ සේ මුලා වේ.”  

යම් වූ තමන්ට වැටහෙන සත්‍යය ධර්ම විනයකට අනුව තමාටම සත්වයෙක් පුද්ගලයෙක් නැති බව හෝ තමා නැති බව අත්දකින්නේ නම් එය සාවද්‍ය බව ඉහත විස්තර තුළින් පැහැදිලි වන්නට ඇත. 

මේ ආකාරයටම ‘මම’ යැයි නො ලැබෙන බව ප්‍රත්‍යක්ෂ කිරීම තුළින් බාහිර වූ ශ්‍රේෂ්ඨ දෘෂ්ටිවලට යන බව තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ හ. 

එතදග‍්ගං භික‍්ඛවෙ බාහිරකානං දිට‍්ඨිගතානං යදිදං නො චස‍්සං, නො ච මෙ සියා, න භවිස‍්සාමි, න මෙ භවිස‍්සන‍්තීති. එවංදිට‍්ඨිනො භික‍්ඛවෙ එතං පාටිකඞ‍්ඛං: යා චායං භවෙ අප‍්පටිකූල්‍යතා, සා චස‍්ස න භවිස‍්සති, යාචායං භවනිරොධෙ පාටිකුල්‍යතා, සා චස‍්ස න භවිස‍්සතීති. එවං දිට‍්ඨිනොපි ඛො භික‍්ඛවෙ සන‍්ති සත‍්තා. එවං දිට‍්ඨිනම‍්පි ඛො භික‍්ඛවෙ සත‍්තානං අත්‍ථෙව අඤ‍්ඤථත‍්තං, අත්‍ථි විපරිණාමො. එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො තස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. තස‍්මිං නිබ‍්බින්‍දන‍්තො අග‍්ගෙ විරජ‍්ජති, පගෙව හීනස‍්මිං.” (පඨමකෝසල සූත්‍රය – අ.නි. 6) 

“මහණෙනි, “(මම) නොවෙමි නම් ද, මගේ (මට) ද නොවෙයි. (මම) නොවන්නෙමි (නම්), මගේ (මට) නොවන්නේ ය.” යන යම් මේ දෘෂ්ටිගතයක් වේ ද, මාගේ ශාසනයෙන් බාහිර තිබෙනා දේ අතර අග්‍රම දේ වේ. මහණෙනි, මෙසේ දෘෂ්ටි ඇති අය මෙය කැමැති වෙයි. “පැවැත්මෙහි පිළිකුල් නොකිරීමක් වේ ද, එය ඔහුට නොවේ. පැවැත්ම නිරෝධයේ (භව නිරෝධය) යම් පිළිකුල් කිරීමක් වේ ද, එය ඔහුට නැත. මහණෙනි, මෙසේ දෘෂ්ටි ඇති සත්වයෝ ඇත. මහණෙනි, මෙසේ දෘෂ්ටි ඇති සත්වයින් ගේ අන්‍යථාභාවයක් ඇත. විපරිණාමයක් ඇත. මහණෙනි, මෙසේ දක්නා (ප්‍රඥාවෙන්) ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා එහි ද ලැගගැනීම නොවෙයි (නිබ්බිදාව). එහි ලැගගැනීමක් නොවූයේ ද අග්‍ර දේහි නොඇලේ. හීන දේවල් ගැන කවර කතා ද?”  

ඉහත පෙන්වූ ප්‍රතිපදාව සත්‍යය වූ ධර්ම විනයට අනුව ප්‍රත්‍යක්ෂ දර්ශනයකින් පුරුදු කරන ප්‍රායෝගික ප්‍රතිපදාවකි. එනමුත් එය බාහිර ශ්‍රාවකයන් තුළ පවතින ශ්‍රේෂ්ඨම දෘෂ්ටිය වේ. 

මෙසේ භාවිත කරන අය තුළ ප්‍රායෝගිකවම පැවැත්මට අකමැත්ත හා පැවැත්ම ඉක්මවීම නම් වූ නිවීමට කැමැත්ත ද ඇති වේ. එනමුදු ඔවුන් බාහිර ශ්‍රාවකයන් වේ. මෙහි ඇති එම අත්දැකීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළ උත්තම පුරුෂ, ‘මම’ කරන්නක සිදුවීමක් ලෙස පැහැදිලි කර ඇත. එනම් මෙහි ‘මම’ යන කතෘට ඇති ප්‍රායෝගික සිදුවීමකි. ‘මම’ යන කතෘට ප්‍රායෝගිකවම ‘මම’ යන්න ලැබීම සිදු නොවීම යනු සාවද්‍ය කියමනකි. මන්දයත් එසේ ‘මම’ යන්න ලැබීම සිදු නොවන්නෙත් ‘මම’ යන කතෘටම වේ. එබැවින් එය සැබෑම තථාගත දහම නොව, අඩුම තථාගත දහමේ උණුසුමවත් නැත. එය බාහිර ඇති උතුම් දිට්ඨියකි. පහත උපමාවෙන් මෙය වටහා ගන්න. 

උපමාව: 

යමෙක් යම් ශුන්‍ය ස්ථානයකට (කවුරුත් නැති) ගොස් බලන විට එහි කිසිවෙක්ම ඇති බව දකින්නේ නැත. එබැවින් එහි කිසිවෙක් නැති බව ඔහු ප්‍රත්‍යක්ෂයෙන්ම දකී. එනමුත් එහි ඔහු සිටින බවම ‘යමෙක් සිටීම බව’ ඔහුට නොහැඟේ. එම ස්ථානයේ ‘කවුරුත් නැත’ යන ප්‍රකාශයම අර්ථ ශුන්‍ය වන්නේ ඔහු ඒ තුළ සිටිනා බැවිනි. 

මේ උපමාවට අනුව කල්පනාකර බලනවිට ‘මම’ යන්න නොලැබීමම එහි කවුරුත් නැති බව අත්දකින්නා මෙනි. එනමුත් එහි ඔහු සිටිනා බවම, කවුරුන් හෝ සිටීම ම යි. එය ‘මම’ යන්න නොලැබීම ම ‘තමාට’ සිදුවීමකි. ඒ ආකාරයටම ඉහත පෙන්වූ දෘෂ්ටිය ද ඇතිවේ. එම නිසා එය බාහිර දිට්ඨි අතර අග්‍රම දිට්ඨිය වේ. එසේ නම් තථාගත දහමට අනුව ‘මම’ යන්න සිදු නොවී ප්‍රායෝගිකව ‘මම’ නොලැබීම දර්ශනය වන්නේ කෙසේ ද? 

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි 

රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය 

වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ