
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයට යොමුවීමේ දී සිදුවන්නේ ශ්‍රද්ධානුසාරී වීමයි. එනම් සෝතාපන්න මගට යොමුවීමයි. යමෙක් සෝතාපන්න මගට යොමු වී නම්, එනම් සම්මත්ත නියාමයට බැසගත්තේ නම් සෝතාපන්න නොවී කලුරිය කිරීම අභව්‍ය බව ඔක්කන්ති සංයුත්තයේ සූත්‍ර ගණනාවකම පැහැදිලි වේ.
“පඨවීධාතු භික‍්ඛවෙ, අනිච‍්චං විපරිනාමි අඤ‍්ඤථාභාවී, ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු –පෙ- ආකාසධාතු -පෙ- විඤ‍්ඤාණධාතු අනිච‍්චා විපරිනාමී අඤ‍්ඤථාභාවී.”
යො භික‍්ඛවෙ, ඉමෙ ධම‍්මෙ එවං සද‍්දහති අධිමුච‍්චති, අයං වුච‍්චති සද‍්ධානුසාරී ඔක‍්කන‍්තො සම‍්මත‍්තනියාමං සප‍්පුරිසභූමිං ඔක‍්කන‍්තො වීතිවත‍්තො පුථුජ‍්ජනභූමිං, අභබ‍්බො තං කම‍්මං කාතුං යං කම‍්මං කත්‍වා නිරයං වා තිරච‍්ඡානයොනිං වා පෙත‍්තිවිසයං වා උපපජ‍්ජෙය්‍ය. අභබ‍්බො ච තාව කාලං කාතුං යාව න සොතාපත‍්තිඵලං සච‍්ඡිකරොති.” (ධාතු සූත්‍රය – ස.නි. 3)
“මහණෙනි, පඨවි ධාතුව (තද ස්වභාවය) අනිත්‍යයි, වෙනස් වේ, අන්‍ය ස්වභාවී වේ. ආපෝ ධාතු -පෙ- තෙජෝ ධාතු -පෙ- වායෝ ධාතු -පෙ- ආකාස ධාතු -පෙ- විඤ‍්ඤාණ ධාතු අනිත්‍යයි, වෙනස් වේ, අන්‍ය ස්වභාවී වේ.
මහණෙනි, යමෙක් මේ ධර්මයන් කෙරෙහි මෙසේ අදහයි (ශ්‍රද්ධාව වේ), නිශ්චයට යේ. මේ ශ්‍රද්ධානුසාරී යැයි කියනු ලැබේ. නිවැරදි වූ නියාමයට (ප්‍රතිපදාවට) බැසගත්තේ වේ. සත්පුරුෂ භූමියට බැසගත්තේ වේ. පෘථග්ජන භූමිය ඉක්මවූයේ වේ. යම් කර්මයක් කොට නිරයේ හෝ තිරිසන් යෝනියේ හෝ ප්‍රේත විෂයේ හෝ උපදී ද, එම කර්ම කිරීම අභව්‍ය වේ. ඔහු සෝතාපන්න ඵලය සාක්ෂාත් නොකොට කලුරිය කිරීම ද අභව්‍ය වේ.”
එමෙන්ම මේ ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී දෙදෙනාටම ඉන්ද්‍රිය ධර්ම ඇති බවත්, ඒ අය වෙන වෙනම වූ පුද්ගලයන් බවත් කීටාගිරි සූත්‍රයේ සඳහන් වේ.
“තථාගතෙ චස‍්ස සද‍්ධාමත‍්තං හොති පෙමමත‍්තං. අපි චස‍්ස ඉමෙ ධම‍්මා හොන‍්ති. සෙය්‍යථිදං: සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං. අයං වුච‍්චති භික‍්ඛවෙ, පුග‍්ගලො සද‍්ධානුසාරී.” (කීටාගිරි සූත්‍රය – ම.නි. 2)
“තථාගතයන් වහන්සේ කෙරෙහි ද ඔහුගේ ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් වෙයි. තවද ඔහුට මේ ධර්‍මයෝ වෙති. ඒ මෙසේ ය: ශ්‍රද්ධා ඉන්ද්‍රිය ය, විරිය ඉන්ද්‍රිය ය, සති ඉන්ද්‍රිය ය, සමාධි ඉන්ද්‍රිය ය, ප්‍රඥා ඉන්ද්‍රිය ය. මේ පුද්ගලයා ශ්‍රද්ධානුසාරී යැයි කියනු ලැබේ.”
සක්කාය දිට්ඨිය දුරු කරන මාර්ගයේ සිටින ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී දෙදෙනාට ඇති ප්‍රඥා ඉන්ද්‍රිය කෙසේ ඇති වන්නේ ද යන්න විමසා බැලිය යුතු වේ. මෙය විමසා බැලීමට ප්‍රථම විවිධ කරුණු ඔස්සේ මාර්ගය යැයි සිතා නොමග යෑම පිළිබඳව ද කථා කරමු. මන්දයත් ‘මම’ හා ‘අත්ත’ නොයෙදෙන බව ප්‍රායෝගිකව අත්දකිමින් මුලා වූ අය පිළිබඳව දේශනාව තුළ සඳහන් වේ. එමෙන්ම එවැනි දර්ශනයන් අද දවස වන විට ද මධ්‍ය දේශීය සමාජය තුළ පවතී. මෙකරුණු ගැන නොදැන සිටියහොත්, මුලාවට පත් වී, ලැබුණු අවස්ථාව අහිමි වී යනු ඇත.
‘අත්ත’ යනු එකල සමාජය තුළ පැවැති ‘ආත්මය’ නැතහොත් ‘තමා’ යන්නයි. තම තමන් දන්නා කල්පනා කළ සත්‍යය තුළින්, ඒ ධර්ම විනයට අනුව ප්‍රතිපදාව පුරුදු කළ විට ඒ ඒ අය ‘තමා’ කියා නොලැබෙන බව ප්‍රත්‍යක්ෂ කර ගනී. මේ බව සබ්බාසව සූත්‍රයේ ද සඳහන් වේ. එය කලින් පැහැදිලි කර ඇත.
මෙහිදී ඔහු, ‘තමා’ නොලැබෙන බව ‘අනත්ත’ ලෙස ප්‍රත්‍යක්ෂ කරගනී. එසේ සිදුවන්නේ, ඔවුන්ට සත්‍යය වූ, ධර්ම විනයකට අනුව කල්පනා කිරීමෙනි. මෙය වටහා ගැනීමට පහත උදාහරණය වටහාගන්න.
උදා: මේ ආකාරයට යමෙකුට අනාත්ම බව ප්‍රත්‍යක්ෂ වූ බව සිතන්න. එලෙස ප්‍රත්‍යක්ෂ වන්නේම යම් වු යථාර්ථවාදී ධර්ම විනයකට අනුව කල්පනා කිරීමෙන් ඇතිවන දර්ශනයෙනි. එය එසේ ඇති වූ බව තමන්ම අත් විඳී. ‘එය තමන්ම අත් විඳී’. එසේ තමන්ම අත් විඳීම නිවැරදි වේ. එනම් ‘තමා නොවන’ බව ‘තමන්ම අත් විඳීම’ නිවැරදි වේ. ‘තමා නොවන’ බව ‘තමන්ම දැකීම’ නිවැරදි වේ. එසේ නිවැරදිවම ‘තමන් නැති බව’ අත් දැකීම තමාම අත්දැක්ක බැවින් ‘තමා’ යන්නම නැවතත් තහවුරු වී ඇත. එනම් ‘තමන් නැති බව’ ප්‍රත්‍යක්ෂ දැක්ම ම වැරදි වේ. මන්දයත්, මේ දැක්ම තමන්ගේ ඇඳුම හෝ වෙනත් අවයවයන් අත් දැක නැත. එය ‘තමාම අත්දැක’ ඇත. එබැවින් කුමන හෝ ආකාරයකට ‘තමන් නොමැති’ බව අත්දැකීම සාවද්‍ය බව මෙයින් පැහැදිලි වේ.
මේ ආකාරයටම සත්වයෙක් නැති බව තමන් අත්දකින්නේ නම් එතැනම ‘තමා’ නමැති සත්වයා සිටියි. එම නිසා සත්වයෙක් නැති බව තමන්ගේ අත්දැකීම ද සාවද්‍ය වේ. සත්වයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා ඇත. එනම් යම් තැනක තණ්හාව ඇත්නම් එතැන සත්වයා වේ.
“රූපෙ ඛො රාධ, යො ඡන්‍දො යො රාගො යා නන්‍දී යා තණ‍්හා. තත්‍ර සත‍්තො, තත්‍ර විසත‍්තො තස‍්මා සත‍්තොති වුච‍්චති. වෙදනාය යො ඡන්‍දො යො රාගො -පෙ- සඤ්ඤාය –පෙ- සඞ‍්ඛාරෙසු -පෙ- විඤ‍්ඤාණෙ” (සත්ත සූත්‍රය – ස.නි. 3)
“රාධය රූපයෙහි යම් කැමැත්තක්, යම් ඇල්මක්, යම් සතුටක්, යම් ආශාවක් වේ ද එහි ඇලුණේ ය, එහි දැඩිව ඇලුණේ ය. එහෙයින් ‘සත්වයා’ යැයි කියනු ලැබෙයි. වේදනාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් … සංඥායෙහි … සංස්කාරයෙහි… විඤ්ඤාණයෙහි”
තණ්හාව යනු ඒ ඒ තැන සතුටු වන, නැවත පැවැත්ම සිදුවීම යි.
“යා’යං තණ‍්හා පොනොබ‍්භවිකා නන්‍දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්‍දිනී, සෙය්‍යථිදං: කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා.” (සච්චවිභඞ්ග සූත්‍රය – ම.නි. 3)
“නැවත පැවැත්ම පිණිස සිදුවන, සතුටුවීමෙන් ඇලීමෙන් යුක්ත, ඒ ඒ තැන සතුටින් පිළිගන්න යම් එය තණ්හාවක් වේ. ඒ කෙසේද යත්: කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා.”
යම් වූ පැවැත්මක් ඇති නම් එවිට එය භව තණ්හාව වේ. සත්වයෙක් නැති බව තමා අත්දකින විට එතැන තමා යැයි පැවැත්ම පවතී. එසේ නොපවතී නම් සත්වයෙක් නැති බව අත්දැකීම ද නැත. යම් ලෙසකට සත්වයෙක් නැති බව තමාම ප්‍රත්‍යක්ෂ කරන්නේ නම් එතැන දී විභවය තුළින් භව තණ්හාව වේ. එනම් සත්වයාම වේ. එමෙන්ම එය සත්වයෙක් පුද්ගලයෙක් නැති බව අත්දැකීම සතුටින් පිළිගැනීම වේ. එනම් එය නිවැරදි බවම ගැනේ. නිවැරදි බව ගැනීම ම එහි සතුටු වීමයි. එය තණ්හාවේ කෘත්‍යයක් වේ. එසේනම් සත්වයෙක් නැති බව විමසීම හෝ ප්‍රත්‍යක්ෂය හෝ දර්ශනය හෝ ඇති විට ‘තමා’ යෙදෙන බැවින් තණ්හාවම පවතී. තණ්හාව ඇති බවම සත්වයා බව සත්ත සූත්‍රයේ පැහැදිලි විය. එබැවින් තණ්හාව ඇති බැවින් ඉහතින් කී දර්ශනය ද සාවද්‍ය වේ. මේ නිසා තථාගතයන් වහන්සේ ‘තමා නැති’ බව ගැනීම ප්‍රතික්ෂේප කොට ඇත.
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ