සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 45 

බුදුරජාණන් වහන්සේගේ දහම අනුව මුලින්ම දුරුවීම විය යුත්තේ ස්වකීයත්වය දැක්ම (සක්කාය දිට්ඨිය) වේ. 

[දෙවියා:] 

සත‍්තියා විය ඔමට‍්ඨො ඩය‍්හමානොව මත්‍ථකෙ, 
කාමරාගප‍්පහාණාය සතො භික‍්ඛු පරිබ‍්බජෙ’ති.” (සත්තී සූත්‍රයස.නි. 1) 

“ආයුධයකින් පහර ලැබූවකු මෙන්, හිස ගිනිගත්තෙකු මෙන් භික්ෂුව කාමරාගය ප්‍රහාණය සඳහා සිහියෙන් යුතුව වෙසෙන්නේ ය.” 

[භාග්‍යවතුන් වහන්සේ:] 

සත‍්තියා විය ඔමට‍්ඨො ඩය‍්හමානොව මත්‍ථකෙ, 
සක‍්කායදිට‍්ඨිප‍්පහානාය සතො භික‍්ඛු පරිබ‍්බජෙ’ති.” 

“ආයුධයකින් පහර ලැබූවකු මෙන්, හිස ගිනිගත්තෙකු මෙන් භික්ෂුව සක්කාය දිට්ඨිය ප්‍රහාණය සඳහා සිහියෙන් යුතුව වෙසෙන්නේ ය.”  

සක්කාය ප්‍රහාණය කරන දහම තුළ දී මුලින්ම ප්‍රහාණය වන්නේ සක්කාය දිට්ඨිය යි. ලෝකය තුළ සිටිනා අයට ‘මම’ හා ‘අත්ත’ ප්‍රශ්නය ලෙස හමු වුව ද එය සැබෑම ප්‍රශ්නය නොවන බව තථාගතයන් වහන්සේ වදාළ හ. සැබෑම, මූලික ප්‍රශ්නය වන්නේ සක්කාය දිට්ඨිය යි. සක්කාය දිට්ඨිය යන වචනයේ අර්ථය මීට පෙර පැහැදිලි කරන ලදී. සක්කාය යනු ස්වකීයත්වය වේ. ඒ සඳහා තථාගතයන් වහන්සේ පඤ්ච උපාදානස්කන්ධ පැහැදිලි කර ඇත. පඤ්ච උපාදානස්කන්ධයන්ට ‘මම’ යෙදීම භාවිත කර නැත. එමෙන්ම ‘අත්ත’ වශයෙන් ද භාවිත කර නැත. ඛජ්ජනීය සූත්‍රය විග්‍රහ කළ අවස්ථාවේ දී එය මනාව ඉස්මතු විය. ‘මම’, ‘අත්ත’ ලෙසට භාවිත නොකළ පඤ්ච උපාදානස්කන්ධ ‘මේ’ ලෙස යොදාගෙන ‘මම’ වශයෙන් රිංගා ගනිමින් වැරදි දිට්ඨියක් ඇතිකර ගනී. එසේ යෙදීමේ වැරැද්ද ප්‍රඥාව තුළින් දකින ආකාරය ඉදිරියේ දී පැහැදිලි වේ. ‘මේ’ ‘මම’ ලෙස පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි යෙදීමක් ලෙසට ‘අධිගත’ වචනය භාවිත කරමින් ඛේමක සූත්‍රයේ පැහැදිලි කර ඇත. එසේ යෙදීම නුවණක් ලෙසින් සම්මර්ශනය නොවේ. එනම් අත්ත සම්මර්ශන යෙදීමේ ඤාණයක් නොවේ. එය විකෘති සඤ්ඤාවක් වන අත්ත සඤ්ඤාවේ යෙදීම වේ (අත්ත සංඥාවක් ඇති බවට ද පෘථග්ජනයාට ඤාණයක් නැත).  

අනත‍්තනි භික‍්ඛවෙ අත‍්තාති සඤ‍්ඤාවිපල‍්ලාසො චිත‍්තවිපල‍්ලාසො දිට‍්ඨිවිපල‍්ලාසො.” (විපල්ලාස සූත්‍රය – අ.නි. 2) 

“මහණෙනි, අනාත්මයෙහි, ‘ආත්මය’යැයි සංඥා විපල්ලාසයකි. චිත්ත විපල්ලාසයකි, දෘෂ්ටි විපල්ලාසයකි.”  

‘අත්ත සම්මර්ශනය’ පජානාති (නුවණක් ලෙස) වන විට අත්ත සම්මර්ශනය ඉක්මවයි. එය සක්කාය දිට්ඨිය, පජානාති වීම යි. ඒ පිළිබඳව මහා මාලුඞ්ක්‍ය සූත්‍රයේ සඳහන් වේ. ඒ විග්‍රහය ඉදිරියේදි තව දුරටත් පැහැදිලි වේ. සක්කාය දිට්ඨි පජානාති වන විට ‘මම’ යන්න දුරු නොවේ. එබැවින් සක්කාය දිට්ඨිය පැහැදිලි කිරීමට ‘මම’ යන්න යෙදීම වැරදි වේ. මන්දයත් එහි දී ‘මේ’ යෙදීමේ වැරැද්දක් බව පමණක් ඉක්මවන නිසාය. සිදුවීම පැහැදිලි කරන විට ‘අධිගත’ ලෙසට ‘වෙමියි’ ලෙසින් ඛේමක සූත්‍රයේ පැහැදිලි කර ඇත. සක්කාය දිට්ඨිය විග්‍රහ කරන විට ‘අත්ත’ වශයෙන් සම්මර්ශනය සිදුවීමේ ‘පජානාති බව’ පැහැදිලි කර ඇත. එය ප්‍රායෝගිකත්ව ඥානයකි. ඒ පිළිබඳව තව දුරටත් ඉදිරියේ දී විස්තර වේ. 

තථාගතයන් වහන්සේ පෙන්වා දෙන ස්වකීයත්වය ඉක්මවන ප්‍රතිපදාවට යොමුවීමේ දී මුලින්ම ස්වකීයත්වය දැක්ම වන සක්කාය දිට්ඨිය පිළිබඳ ඥානය ඇතිවේ. ‘මම’ හෝ ‘අත්ත’ යන කරුණු ‘නැතිවීමක්’ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර නැත. එසේ වූයේ නම් සත්වයාගේ විනාශයක් පැනවේ. එය නිවීමක් නොවේ. මේ කරුණු ලෝකයාට ගෝචර නොවන නිසාම තථාගත දහම ද විනාශය පනවන ධර්මයක් බව අන්‍යවිමුක්තිකාමීන් පෙන්වූ හ. මන්දයත් ‘මම’, ‘අත්ත’ යන කරුණු දුරුවන බව සිතාගන්නා බැවිනි. 

භූනහු සමණො ගොතමො’ති.” (මාගන්දිය සූත්‍රය – ම.නි. 2) 

“ශ්‍රමණ ගෞතමයන් විනාශය පනවන්නෙකි ”  

මේ තරම් ගම්භීර ධර්මයකට යොමුවීම ඉතාම අපහසු වේ. සත්‍යය සොයන අය පමණක් එම දහම සෙවීම සඳහා මුලින්ම ශ්‍රද්ධාව ඇතිකර ගෙන ඊට අනු වූ ප්‍රතිපදාවට අනුගත වේ. එනම් ශ්‍රද්ධානුසාරී වේ.  

එවං ස‍්වාක‍්ඛාතො භික‍්ඛවෙ මයා ධම‍්මො උත‍්තානො විවටො පකාසිතො ඡින‍්නපිලොතිකො. එවං ස‍්වාක‍්ඛාතෙ භික‍්ඛවෙ මයා ධම‍්මෙ උත‍්තානෙ විවටෙ පකාසිතෙ ඡින‍්නපිලොතිකෙ යෙ තෙ භික‍්ඛූ ධම‍්මානුසාරිනො සද‍්ධානුසාරිනො සබ‍්බෙ තෙ සම‍්බොධිපරායනා. 

එවං ස‍්වාක‍්ඛාතො භික‍්ඛවෙ මයා ධම‍්මො උත‍්තානො විවටො පකාසිතො ඡින‍්නපිලොතිකො. එවං ස‍්වාක‍්ඛාතෙ භික‍්ඛවෙ මයා ධම‍්මෙ උත‍්තානෙ විවටෙ පකාසිතෙ ඡින‍්නපිලොතිකෙ යෙසං මයි සද‍්ධාමත‍්තං පෙමමත‍්තං සබ‍්බෙ තෙ සග‍්ගපරායනාති.” (අලගද්දූපම සූත්‍රය – ම.නි. 1) 

“මහණෙනි, මෙසේ මා විසින් ධර්‍මය මනාව දේශනා කරන ලදී. ප්‍රකට කරන ලදී. විවෘත කරන ලදී. පැහැදිලි කරන ලදී. වැරහැලි ඉවත් කරන ලදී. මහණෙනි, මෙසේ මා විසින් දේශනා කළ, ප්‍රකට කළ, විවෘත කළ, පැහැදිලි කළ, වැරහැලි ඉවත් කළ, ධර්‍මයෙහි යම් භික්ෂුවක් ධම්මානුසාරී වේ ද (ධර්මය අනුවම යොමුවීම), ශ්‍රද්ධානුසාරීත් වේ ද (ශ්‍රද්ධාව අනුවම යොමුවීම), ඒ සියල්ලෝ අවබෝධය අවසානය කොට ඇත්තෝ ය. 

මහණෙනි, මෙසේ මා විසින් ධර්‍මය මනාව දේශනා කරන ලදී. ප්‍රකට කරන ලදී. විවෘත කරන ලදී. පැහැදිලි කරන ලදී. වැරහැලි ඉවත් කරන ලදී. මහණෙනි, මෙසේ මා විසින් දේශනා කළ, ප්‍රකට කළ, විවෘත කළ, පැහැදිලි කළ, වැරහැලි ඉවත් කළ, ධර්‍මයෙහි යම් භික්ෂුවක්, මා කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් ඇති නම් ඒ සියල්ලෝම සුගතිය අවසාන කොට ඇත්තෝ ය.”  

ශ්‍රද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රය ඇති කෙනා සුගතිගාමී වන බව මෙම අලගද්දුපම සූත්‍රයේ සඳහන් වේ. එසේ ශ්‍රද්ධා මාත්‍රය ඇති වන්නේ තථාගත පිරිසිදු දහම නිසා බුදුරජාණන් වහන්සේට පැහැදීමෙනි. දහම අවබෝධ කිරීම කෙසේ වූව ද, තථාගත දහම නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකරගැනීමත් පහසු කරුණක් නොවන බව මනාව පැහැදිලි ය. අවබෝධය ගැන හෝ මාර්ගයට යොමුවීම පිළිබඳව පැහැදිලි නොකර ඒ දහම නිසා සුගතිගාමී වන ආකාරයක් පිළිබඳව සෝතානුධත සූත්‍රයේ සඳහන් වේ.  

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මං පරියාපුණාති : සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත‍්තකංජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. තස‍්ස තෙ ධම‍්මා සොතානුධතා හොන‍්ති වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා. දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. සො මුට‍්ඨස‍්සති කාලං කුරුමානො අඤ‍්ඤතරං දෙවනිකායං උපපජ‍්ජති.” (සොතානුධත සූත්‍රය – අ.නි. 2) 

“මහණෙනි, මෙ සස්නෙහි මහණ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කරයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරන ලද්දාහු, සිතින් විමසන ලද්දාහු, සුතය දැකීම් වශයෙන් පිරිසිදු කරන ලද්දාහු වෙත්. හේ සිහිමුලාව කලුරිය කරන්නේ අන්‍යතර දේවනිකායකට එළඹෙයි.”  

ශ්‍රද්ධානුසාරීවීම, සම්මත්ත නියාමයට බැසගැනීමක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. 

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි 

රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය 

වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ