
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව ලෝකයෙන් එතෙර වන ප්‍රතිපදාවේ දී ‘මම’ යන්න නොයෙදෙන වැඩපිළිවෙළ පෙන්වන ධර්ම කාරණා පිළිබඳව අවධානය යොමු කරමු.
“එවමෙව ඛොහං ආවුසො, න රූපං ‘අස‍්මී’ති වදාමි, නපි අඤ‍්ඤත්‍ර රූපා ‘අස‍්මී’ති වදාමි. න වෙදනං -පෙ – න සඤ‍්ඤං -පෙ- න සඞ‍්ඛාරෙ -පෙ- න විඤ‍්ඤාණං ‘අස‍්මී’ති වදාමි. නපි අඤ‍්ඤත්‍ර විඤ‍්ඤාණා ‘අස‍්මී’ති වදාමි. අපි ච මෙ ආවුසො, පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු ‘අස‍්මී’ති අධිගතං අයමහමස‍්මීති න ච සමනුපස‍්සාමි.” (ඛේමක සූත්‍රය- ස.නි. 3)
“ඇවැත්නි, මම රූපය ‘වෙමි’යි නොකියමි. රූපයෙන් වෙන්ව ‘වෙමි’යි නොකියමි. වේදනාව…. සංඥාව … සංස්කාර … විඤ්ඤාණය ‘වෙමි’යි නොකියමි. විඤ්ඤාණයෙන් වෙන්ව ‘වෙමි’යි නොකියමි. ඇවැත්නි, නමුත් මා විසින් පඤ්ච උපාදානස්කන්‍ධයන්හි යෙදීමෙහි ‘වෙමි’ යැයි වේ. ‘මේ මම වෙමි’යි අනුව නොදකිමි.”
සක්කාය දිට්ඨිය ප්‍රහාණය වූ විට, ලෝකය යෙදීමේ ව්‍යවහාරික පැවැත්ම සකස්වීම තුළ ජීවත් වන බව ඛේමක සූත්‍රය තුළින් මනාව පැහැදිලි වේ. එසේ නම් ලෝකයේ යෙදීම තිබිය දී ‘මම’ යන්න වැරදි බව කුමන සත්‍යක් මත පාදක වී භාවිත කළ ද ලෝකයෙන් එතෙර නොවේ. එය ලෝකයේ පවතින ශ්‍රේෂ්ඨ දිට්ඨියක් පමණි.
පාලි භාෂාව තුළ ‘අත්ත’ වශයෙන් භාවිත කරනුයේ ‘තෙමේ’ යන්න ව්‍යවහාර කිරීමට යි. ලෝකය තුළ දී යම් කරුණක් පාදක කරගෙන ‘මම’ සිටීම අත්ත වේ. මෙය කිසිදාක යමෙකුට ‘අත්ත’ වශයෙන් හමු නොවේ. මන්දයත් යමෙක්, යමක් තුළ පිහිටා සිටින නිසාවෙනි. ඔහුට එය ‘මම’ වශයෙන් භාවිතය සිදුවේ. යම් කරුණක් මතම වූ ‘මම’ යෙදීම වැරදි බව යමෙකුට වැටහිණි නම් එවිට ‘තෙමේ’ නොවන යෙදීමක් බව ඔහුට ප්‍රත්‍යක්ෂ වේ (ලෝකය තුළ අනාත්ම වශයෙන් දෘෂ්ටි ඇතිවන ආකාරයයි). එනම් යෙදුණු කරුණක් සමඟ ම ‘මම’ නම් වූ පැවැත්ම වැරදි බව යමෙකුට භාවිත කිරීමක් සිදුවේ. එය ද ඔහුට ලෝකය තුළ අනාත්ම ලෙස වැටහීම වේ. මේ ආකාරයට වැටහෙන විට ද එම අවබෝධයේ යෙදීම ලෝකය තුළ පවතී. එබැවින් ලෝකයෙන් එතෙරවීමක් සිදු නො වේ.
“අහං හි භො ගොතම එවං වාදී එවංදිට‍්ඨි, සබ‍්බං මෙ න ඛමතීති. යාපි ඛො තෙ එසා අග‍්ගිවෙස‍්සන දිට‍්ඨි සබ‍්බං මෙ න ඛමතීති, එසාපි තෙ දිට‍්ඨි න ඛමතීති. එසා චෙ මෙ භො ගොතම දිට‍්ඨි ඛමෙය්‍ය තම‍්පස‍්ස තාදිසමෙව, තම‍්පස‍්ස තාදිසමෙවාති.” (දීඝනඛ සූත්‍රය – ම.නි. 2)
“භවත් ගෞතමයෙනි, මම වූ කලී ‘සියල්ල මට නොරුස්නේය’ යන මෙබඳු වාද ඇත්තෙමි, මෙබඳු දෘෂ්ටි ඇත්තෙමි’යි. අග්නිවෙස්න, ඒ ‘සියල්ල මට නොරුස්නේ යැයි’ යන තොපගේ යම් දෘෂ්ටියක් ඇද්ද, එය ද තොපට නොරුස්නේ දැ? යි. ඉදින් භවත් ගෞතමයෙනි, ඒ දෘෂ්ටිය මට රුස්නේ වී නම් එය ද එසේ ම වන්නේ ය, එය ද එසේ ම වන්නේ ය.”
ලෝකයේ යෙදුණු කරුණත් සමඟ ම ‘තමා’ නොයෙදෙන බව අත්විඳිමින් සක්කාය දිට්ඨිය සංයෝජනය වී අනාත්ම ලෙස දකින ආකාරය සබ්බාසව සූත්‍රය තුළ දී ඉහතින් පැහැදිලි කරන ලදී. එනමුදු එයත් ලෝකය තුළම වූ දෘෂ්ටියක් පමණි. තථාගතයන් වහන්සේ අනාත්ම ලෙස පැහැදිලි කරන විට දී ලෝකයෙන් එතෙර වන ධර්ම පරියාය තුළින් ගැඹුරු අර්ථයක් ප්‍රායෝගිකව ඉස්මතු වේ.
“යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලං නු තං සමනුපස‍්සිතුං: “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? “නො හෙතං භන‍්තෙ”.” (අනත්ත ලක්ඛණ සූත්‍රය – ස.නි. 3)
“යමක් අනිත්‍ය වේ නම් දුක් වේ නම් වෙනස්වෙන ස්වභාව ඇත් නම් “එය මාගේ, එය මම වෙමි, එය මාගේ ආත්මය යැයි” අනුව දැකීම සුදුසු වේ ද? ස්වාමීනී, එය එසේ නොවේ ම ය.”
‘මේ’ යන්නක යෙදීමක සත්‍යය භාවයක්, නොයෙදීම ම සංස්කාරයන්හි අනිත්‍ය බව ප්‍රඥාවෙන් දැකීම ලෙස ව්‍යවහාර වේ. ලෝකය තුළ ‘මේ’ ලෙස යෙදීම ‘මම’ ලෙස ගැනීම, ‘ආත්ම’ ලෙස ව්‍යවහාර වේ. යමෙක් සක්කාය දිට්ඨිය දුරු කළ විට ‘මේ’ යන්න යෙදීමේ වැරැද්ද දකින විට, ‘මම’ ලෙස ගැනීම නොයෙදෙන ආකාරය ද ප්‍රඥාවෙන් දකියි. මෙසේ දැකීම ‘අනාත්ම’ ලෙස ව්‍යවහාර වේ. එමනිසා අනිත්‍ය දකින විට අනාත්මයේ පිහිටීම (ප්‍රඥාවෙන් දැකීම) සිදුවේ.
“අනිච‍්චසඤ‍්ඤිනො මෙඝිය, අනත‍්තසඤ‍්ඤා සණ‍්ඨාති” (මේඝිය සූත්‍රය – ඛු.නි.)
“මේඝිය, අනිත්‍ය සංඥාවෙන් යුක්තවන විට, අනත්ත සංඥාවේ පිහිට යි”
අනිත්‍ය ලෙසට දකින විට ‘මේ’ යන්න යෙදීමේ වැරැද්දත් සමඟ ම ‘මම’ ‘මගේ’ ‘මගේ ආත්ම’ යන සියලුම ව්‍යවහාරික පැවැත්ම වැරදි බව දැකීම ‘අනාත්ම’ වේ. අනාත්ම ලෙස වෙනම ම වූ තවත් යෙදීමක් ලෙසට දෘෂ්ටියක් ඇති නොවේ. එම නිසා ‘සබ්බෙ ධම්මා අනත්තා’ ලෙස දේශනාව තුළ පැහැදිලි කර ඇත.
“සබ‍්බෙ ධම්මා අනත‍්තා’ති යදා පඤ‍්ඤාය පස‍්සති
අථ නිබ‍්බින්‍දති දුක‍්ඛෙ එස මග‍්ගො විසුද‍්ධියා.” (ධම්ම පදය, මහා වග්ගය)
“යම් දවසක, සියලු ධර්මයන් අනාත්ම යැයි ප්‍රඥාවෙන් දකී ද, එකල්හි දුකෙහි ලැග ගැනීම නොයෙදේ. එයම පිරිසිදුවීමේ මග ය.”
මේ ආකාරයට ප්‍රඥාවෙන් දැකීමේ හඳුනාගැනීම අනත්ත සඤ්ඤාව වේ. එය තවත් කෙනෙකු තුළ පවතින තවත් ව්‍යවහාරයක රිංගාගෙන සිදුවන භාවිතයක් නොවේ. එනම් පදපරමයක් නොවේ.
“රූපං භික‍්ඛවෙ, අනත‍්තා. රූපඤ‍්ච හිදං භික‍්ඛවෙ, අත‍්තා අභවිස‍්ස, නයිදං රූපං ආබාධාය සංවත‍්තෙය්‍ය, ලබ‍්භෙථ ච රූපෙ එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසී’ති. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, රූපං අනත‍්තා, තස‍්මා රූපං ආබාධාය සංවත‍්තති. න ච ලබ‍්භති රූපෙ “එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසී”ති. වෙදනා භික‍්ඛවෙ අනත‍්තා. -පෙ- සඤ‍්ඤා භික‍්ඛවෙ අනත‍්තා -පෙ- සඞ‍්ඛාරා භික‍්ඛවෙ අනත‍්තා. -පෙ- විඤ‍්ඤාණං භික‍්ඛවෙ අනත‍්තා.” (අනත්ත ලක්ඛන සූත්‍රය – ස.නි. 3)
“මහණෙනි, රූපය අනාත්ම ය, මහණෙනි, මේ රූපය ආත්ම වී නම් මේ රූපය ආබාධ පිණිස නොවන්නේ ය. රූපයෙහි ලා “මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නො වේවා” යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, යම් හෙයකින් රූපය අනාත්ම ද, එහෙයින් රූපය ආබාධ පිණිස වැටෙයි. රූපයෙහි ලා “මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නො වේව” යි ලැබෙන්නේ ද නොවෙයි. මහණෙනි, වේදනාව අනාත්ම ය, … සංඥාව අනාත්ම ය, … සංස්කාර අනාත්ම ය, … විඤ්ඤාණය අනාත්ම ය..”
මෙම සූත්‍රය තුළ දී උපාදානස්කන්ධ ගැන විස්තර කිරීමක් නොමැත. වෙන් වශයෙන් කරුණු හැටියට පමණක් විස්තර කර ඇත. ලෝකයේ යෙදීමක් ලෙසට, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ හමු වූයේ නම්, ඒවා යම් යම් ආකාරයට වෙනස් කළ හැකි වේ. (සත්‍යය වශයෙන්ම ‘මේ’ ලෙස යෙදීමක් ඇති නම් එය ‘ඇති බවකි’. එසේ ‘ඇති බවක්’ වූයේ නම් එය ආත්මයකි. එවිට එම ආත්මය වෙනස් කළ හැක. නමුත් ප්‍රඥාවෙන් අනිත්‍ය දකින විට ‘මේ’ ලෙස යෙදීමක් සිදු නොවේ. එබැවින් ආත්ම බව ද නොයෙදේ. සකස්වීම පමණක්ම වේ. එසේ සකස්වීම දැකීම රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයන්හි සත්‍යම වේ. එබැවින් අනාත්ම වේ. එමනිසා වෙනස් කිරීමට ‘යමක්’ යෙදී නැත. ‘ඇති බවක්’ නැත. අනත්ත ලක්ඛණ සූත්‍රය වදාළේ සෝතාපන්න වූ පඤ්ච වග්ගිය භික්ෂූන්ට ය. පඤ්ච වග්ගිය භික්ෂූන්ට දම්සක්පැවතුම් සූත්‍රය, පුරා මාසයක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන විට, සෝතාපන්න වූ බව විනය පිටකයේ සඳහන් වේ). එනමුත් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයන් ලෝකයේ යෙදීමක් ලෙසට හමු නොවන බැවින් ව්‍යවහාරිකව පැවැත්මක් වන ‘මම’ ලෙසට සකස්වීමක් ඇත (ලෝකයේ සිටින කෙනෙකුට රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ හමුවීම, ලෝකය තුළම වැරදි දැක්මකි. යෙදීමක රූප, වේදනා, සඤ්ඤා, සංඛාර ,විඤ්ඤාණ ආශ්‍රව සහිත බැඳීම සක්කාය බව කලින් විස්තර කරන ලදී.). එබැවින් සකස්වීම් යම් යම් ආකාරයට වෙනස් කළ නොහැක. එනම් එය හේතුඵල දහම වේ. එය තව කෙනෙකුට ගෝචර වීමක් නොවේ. එමනිසා ලෝකයේ යෙදීම, අනාත්ම ලෙසට යමෙකුට දැකීම සත්‍යය වශයෙන් සිදුවූව ද ලෝකයෙන් එතෙර නොවේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය නොවූ නිසාම එම අනාත්ම බව දිට්ඨියක් වේ. තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ ‘මම’ යන්න හෝ ‘අත්ත’ යන්න ඉක්මවීමක් නොවේ. සක්කාය ප්‍රහාණය කිරීම යි.
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ