
බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව විමුක්තිය සොයන අය එම සමාජය තුළ බොහෝ සිටිය හ. ඒ අය විවිධ ධර්ම විනයන් මගින් විවිධාකාරයට සත්‍යයන් අත්වින්ද හ. එසේ වූ ධර්ම විනයක් තුළින් ආත්මය වැරදි බවත්, අනාත්මය නිවැරදි දර්ශනයක් ලෙසට ‘අත්විඳින’ ප්‍රතිපදාවන් ද තිබුණි. ඒ බව සබ්බාසව සූත්‍රයේ මනාව පැහැදිලි වේ.
“අත්‍ථි මෙ අත‍්තාති වාස‍්ස සච‍්චතො ථෙතතො දිට‍්ඨි උප‍්පජ‍්ජති, නත්‍ථි මෙ අත‍්තාති වාස‍්ස සච‍්චතො ථෙතතො දිට‍්ඨි උප‍්පජ‍්ජති, අත‍්තනාව අත‍්තානං සඤ‍්ජානාමීති වාස‍්ස සච‍්චතො ථෙතතො දිට‍්ඨි උප‍්පජ‍්ජති, අත‍්තනාව අනත‍්තානං සඤ‍්ජානාමීති වාස‍්ස සච‍්චතො ථෙතතො දිට‍්ඨි උප‍්පජ‍්ජති, අනත‍්තනාව අත‍්තානං සඤ‍්ජානාමීති වාස‍්ස සච‍්චතො ථෙතතො දිට‍්ඨි උප‍්පජ‍්ජති.” (සබ්බාසව සූත්‍රය – ම.නි. 1)
“මාගේ ආත්මය ඇතැයි සත්‍යය වශයෙන් ස්ථීර වශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී (දැකීමක් යෙදේ). මාගේ ආත්මය නැතැයි සත්‍යය වශයෙන් ස්ථිර වශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී (දැකීමක් යෙදේ). තමා ම (ආත්මය ම) ආත්මය හැඳින ගනිමි’ යි සත්‍යය වශයෙන් ස්ථිර වශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී (දැකීමක් යෙදේ). තමා ම (ආත්මය ම) ආනාත්මය (තමා නොමැති බව) හැඳින ගනිමි’ යි සත්‍යය වශයෙන් ස්ථිර වශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී (දැකීමක් යෙදේ). තමා නොවී (අනාත්ම වූ) තමා ම (ආත්මය) හැඳින ගනිමි’ යි සත්‍යය වශයෙන් ස්ථිර වශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී (දැකීමක් යෙදේ).”
‘යමක්’ ‘දෙයක්’ ‘සිද්ධියක්’ පාදක කරගෙන අනාත්ම වශයෙන් දකින ආකාරය තුළින් ද අවබෝධයට පත්වුනා යැයි සිතා සිටි අය විමුක්තිකාමී සමාජය තුළ සිටිය හ. සබ්බාසව සූත්‍රය තුළ ඇති පැහැදිලි කිරීම තුළින් එය මනාව ඉස්මතු වේ. එසේ වූව ද සක්කාය හෝ සක්කාය දිට්ඨිය අවබෝධකර ගත නොහැකි වූ බැවින් ලෝකයෙන් එතෙර වන මග ඉස්මතු වූයේ නැත. මේ ආකාරයට ‘මම’ යන්න වැරදි බව දැකීම තුළින් වූ අවබෝධයත්, ‘අනත්ත’ යන්න පිළිබඳව වූ අවබෝධයත්, (අන්‍ය විමුක්තිකාමින්ගේ) ලෝකයෙන් එතෙර වීමක් නොවන්නේම ‘යමක්’ ‘දෙයක්’ ‘සිද්ධියක්’ යෙදී ඇති බැවිනි. ලෝකයෙන් එතෙර වීමට සිදුවිය යුත්තේ ‘මම’ යන්න වැරදි බව හෝ ‘අත්ත’ යන්න වැරදි බව නොවේ. සක්කාය දිට්ඨිය තිබීමේ වැරදි බවයි. එබැවින් මෙම කරුණු ටික වෙන වෙනම පැහැදිලි කර ගනිමු.
පාලි භාෂාව තුළ ‘මම’ යන්න සඳහා ව්‍යවහාර කරන්නේ ‘අහං’ යන්න යි. මෙය ලෝකය තුළ වූ ව්‍යවහාර කිරීමකි. ලෝකය තුළ වූ යෙදීමකි. ලෝකය තුළ වූ (උත්තම පුරුෂ) පැවැත්ම යි. ලෝකයේ පැවැත්ම තුළ ව්‍යවහාරික යෙදීම (‘මම’), කුමන ආකාරයකින් දැක ඉක්මවූව ද ලෝකයෙන් එතෙරවීම සිදු නොවේ. ව්‍යවහාරය පමණක් ඉක්ම වී ඇත. එනමුදු ලෝකයෙන් එතෙර වූ විට ද එම ව්‍යවහාරික පැවැත්ම තුළ දී ‘මම’ යන්න භාවිත වේ.
“යො හොති භික‍්ඛු අරහං කතාවී ඛීණාසවො අන‍්තිමදෙහධාරී,
අහං වදාමීතිපි සො වදෙය්‍ය මමං වදන‍්තීතිපි සො වදෙය්‍ය ලොකෙ සමඤ‍්ඤං කුසලො විදිත්‍වා, වොහාරමත‍්තෙන සො වොහරෙය්‍යාති.” (අරහන්ත සූත්‍රය – ස.නි. 1)
“අවසාන ශරීරය දරන, කළ යුත්ත කළ, ආස්‍රවයන් නැසූ අරහත් භික්ෂුවක් වේ ද, ඔහු “මම කියමි”යි කියා ත් කියන්නේ ය. ඔහු “මට කියති” යි කියා ත් කියන්නේ ය. දක්‍ෂ වූ ඔහු ලෝකයෙහි ව්‍යවහාරය නුවණින් දැන ව්‍යවහාර මාත්‍රයෙන් ව්‍යවහාර කරන්නේ ය.”
යමෙක් ලෝකය යන පැවැත්ම වැරදි බව ප්‍රඥාවෙන් දකින විට, ඒ නුවණ මත පාදක වීමෙන්, එම ප්‍රඥාව භාවිතයෙන්, ව්‍යවහාරික යෙදීමක් වන ‘මම’ යන්න ඉක්මවන වැඩපිළිවෙළ භාවිත කරනු ලැබේ. එසේ ‘මම’ යන්න වැරදි බව දකින්නේ අනිත්‍ය දර්ශනය ඇති ආර්ය ශ්‍රාවකයා ය. එම ආර්ය ශ්‍රාවකයා ‘ඇති ලෝකයක’ යෙදීමක් බව නොදකී. එමනිසා ‘මම’ ‘යෙදෙන’ ආකාරය සහ ‘මම’ ‘නොයෙදෙන’ ආකාරය ප්‍රඥාවෙන් දර්ශනය වේ.
“තත්‍ර ඛො භගවා උදානං උදානෙසි. “නො චස‍්ස, නො ච මෙ සියා, න භවිස‍්සති, න මෙ භවිස‍්සතීති එවං විමුච‍්චමානො භික‍්ඛු ඡින්‍දෙය්‍යොරම‍්භාගියානි සංයොජනානී”ති.” (උදාන සූත්‍රය – ස.නි. 3)
“එකල්හි භාග්‍යවතුන්වහන්සේ මේ උදානය (ප්‍රීතිවාක්‍යය) පහළ කළ සේක: “නොවෙයි නම් ද, (මට) මගේ ද නොවෙයි, නොවන්නේ ය (නම්), (මට) මගේ නොවන්නේ ය’, මෙසේ විමුක්ත වෙමින් සිටින භික්ෂුව ඕරම්භාගිය සංයෝජන සිඳියි.”
“ඉධානන්‍ද, භික‍්ඛු එවං පටිපන‍්නො හොති: නො චස‍්ස, නො ච මෙ සියා. න භවිස‍්සති. න මෙ භවිස‍්සති. යදත්‍ථි යං භූතං තං පජහාමී’ති. එවං උපෙක‍්ඛං පටිලභති. සො තං උපෙක‍්ඛං නාභිනන්‍දති, නාභිවදති, නාජ‍්ඣොසාය තිට‍්ඨති. තස‍්ස තං උපෙක‍්ඛං අනභිනන්‍දතො අනභිවදතො අනජ‍්ඣොසාය තිට‍්ඨතො න තං නිස‍්සිතං හොති විඤ‍්ඤාණං, න තදුපාදානං. අනුපාදානො ආනන්‍ද, භික‍්ඛු පරිනිබ‍්බායතීති.” (ආනෙඤ්ජසප්පාය සූත්‍රය – ම.නි. 3)
“ආනන්‍දය, මෙහි භික්ෂුවක් මෙසේ පිළිපන්නේ වෙයි. “නොවෙයි නම් ද, (මට) මගේ ද නොවෙයි, නොවන්නේ ය (නම්), (මට) මගේ නොවන්නේ ය’, යමක් හටගනී ද, එය දුරුකරමි’ යි යන කරුණ වේ. මෙසේ උපේක්ෂාව ලබයි. ඔහු ඒ උපේක්ෂාව සතුටින් නොපිළිගනී. ව්‍යවහාරයකට නොයයි (විස්තර කිරීමක් නැත). බැස ගැනීමක් නොවෙයි. ඔහු ඒ උපේක්ෂාව සතුටින් නොපිළිගැනීමෙන්, ව්‍යවහාරයකට නොයෑමෙන් (විස්තර කිරීමක් නොවීමෙන්), බැස නොගැනීමෙන් ඒ හා එකතු වූ දැනගැනීමක් නොවේ. එයට බැඳීමක් නොවේ (උපාදානය). ආනන්‍දය, උපාදාන නොවීමෙන් භික්ෂුව පිරිනිවේ.”
මේ උදාන සූත්‍රය හා ආනෙඤ්ජසප්පාය සූත්‍රය තුළ ප්‍රායෝගික වැඩපිළිවෙළ තුළ දී ‘මම’ කතෘ ලෙස උක්ත වී උත්තම පුරුෂය තුළින් යෙදීමක් නැත. එනමුත් ව්‍යවහාරයෙන් ‘මම’ ඉක්මවීමේ වැඩපිළිවෙළ භාවිත වේ. පඨම කෝසල ආදි සූත්‍ර තුළ දී ‘මම’ කතෘ උක්ත වී උත්තම පුරුෂය තුළින් යෙදීම සිදුවී ඇත. ලෝකය තුළ ‘මම ම’ සිදුකරන්නක් ලෙසින්, ව්‍යවහාරිකත්ව පැවැත්ම ‘මම’ වැරදි බව දකිමින් සිටියි. මෙය ලෝකයෙන් එතෙර වන මඟක් නොවේ. එය තවත් ලෝකය තුළ පවතින, දකින ආකාරයක් පමණි. ලෝකය තුළ යෙදීමක් ඇති විට, ‘මම’ යන්න ව්‍යවහාරය ඉක්මවූව ද ලෝකයෙන් එතෙර නොවේ. ප්‍රඥාව තුළින් සක්කාය දිට්ඨිය අවබෝධ කරගෙන ලෝකයේ යෙදීම වන ‘මේ’ යන්න වැරදි බව දැකීමෙන් ‘මේ මම යැයි’ බැසගැනීමක් නොවූව ද ‘මම’ යන භාවිතය යෙදී පවතින නිසා නිවීම සාක්ෂාත් නොවේ. එබැවින් දර්ශනයෙන් යුතු ආර්ය ශ්‍රාවකයා ලෝකයේ යෙදීම වන ‘මේ’ යන්නේ වැරදි බව දකිමින් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළ නිසා සකස් වූවෙහි ‘වෙමි යි’ (මම) යන්න වැරදි බව ප්‍රඥාවෙන් දකින ආකාරය උදාන සූත්‍රය, ආනෙඤ්ජසප්පාය සූත්‍රය තුළ පැහැදිලි වේ. මේ කරුණ ඛේමක සූත්‍රය තුළ ද ඉතා හොඳින් පැහැදිලි වේ.
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ