
බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වී ප්‍රඥාවන්තයින් උදෙසා ලෝකයෙන් එතෙර වන දහමක් පෙන්වා වදාළ හ. ප්‍රඥාවන්තයන්ට එම දහම ඇසෙන විට, එතෙරවීම ප්‍රතිපදාත්මකව ම සිදුවේ. ප්‍රඥාව මඳ අය ලැගගැනීමට යොමුවේ. එම නිසා ප්‍රඥාව ඇතිවීම සඳහා සත්‍යය සෙවීමට යොමුවිය යුතුය. සෑම විටම සත්‍යය සොයන හැඟීමක් පමණක්ම ඉතිරි විය යුතුය. එනම් ‘සත්‍යයක් ලබන’ හැඟීම නොව ‘සත්‍යය සොයන’ හැඟීමයි. ‘ලැබෙන ලෙස යෙදුණු සත්‍යක්’ වූ සියල්ලම බැහැර කළ යුතුයි. එසේ නොවුයේ නම් ඒ තුළ සතුටු වේ. එතෙර වීම අමතක වේ. සත්‍යයක් ලැබුණේ නම් එතෙර වීමේ අර්ථය කිම? ලැබූ දෙය පවතී. එතෙර නොවේ.
සත්‍යය සොයන හැඟීමක් පමණක් ඇති විට ලබන්නක් නැත. නැතිවන්නක් ද නැත. සත්‍යය සෙවීම ම පමණක් සිදුවේ. සත්‍යය සොයන විට ‘එතෙර වීම’ නම් වූ නිවීම ම සත්‍යය බව සිදුවේ. ‘එතෙර වීම’ සත්‍යය බව මිස, එතෙර වන බව ‘ලැබීම’ සැබෑම සත්‍යයේ කෘත්‍ය නොවේ. එලෙස ලැබෙන්නේ නම් එය එතෙරවීමේ සත්‍යය නොවේ.
බොහෝ විට එලෙස තථාගතයන් වහන්සේ පෙන්වූ එතෙර වන සත්‍යය සෙවීම පසෙකලා එයින් ‘තමන්ට ලැබුණු’ සත්‍යක කොටුවේ.
එය ලැබුණේ කාටද? මට යි.
එය සෙව්වේ කවුද? මම යි.
එය හමුවුනේ කාටද? මට යි.
බුදුරජාණන් වහන්සේ පෙන්වූ නිසා යැයි කියා ද නම් කරයි. නමුත් එය සෙව්වේත්, එය ලැබුණේත් මටම ම යි. එබැවින් එතෙර වීමක් ද නැත. පටිච්ච සමුප්පාද, ස්කන්ධ, ධාතු, ආයතන, හොඳින්ම අනිත්‍ය සංඛත බව ‘මට’ වැටහේ. එපමණයි. ‘මම’ ඉතිරියි. එතෙරවූයේ නැත.
අනිත්‍ය, සංඛත ලෙස ධාතු, ආයතන, ස්කන්ධ, පටිච්ච සමුප්පන්න වශයෙන් සත්‍යය සොයන විට ප්‍රඥාවෙන් දකී. මම අදාළම නැත.
ධාතු, ආයතන, ස්කන්ධ, පටිච්ච සමුප්පන්න ලෙස හමුවූයේ නම් එය ‘මේ’ නම් වේ. අනිත්‍ය, සංඛත වශයෙන් ‘මම’ දකියි. එනමුත් ‘මේ’ නම් වූ ආයතන, ධාතු, ස්කන්ධ, පටිච්ච සමුප්පාදය සත්‍යය ලෙස හමුවේ. එයට ‘මම’ නොඇලේ. නොගැටේ. නමුත් එතෙර නොවේ. ‘මම’ ඉතිරි වේ. යම්කිසි හෝ ලෙසකින් ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්ච සමුප්පාද ලෙස ‘හමුවූයේ’ නම් එය ‘මේ’ ‘මම’ ම වේ. ඉන්පසු ‘මේ’ යන යෙදීමෙහි ‘මම’ නොවේ යැයි අනිත්‍ය, සංඛත ලෙස හමු වේ. නිවීම නම් වූ සත්‍යය වන එතෙරවීම, මෙලෙසට කිසිඳු විටක සිදුනොවේ. මේ ගැන හොඳින් සිතන්න.
සත්‍යය සෙවීමේ ගතිය ඇති කරගන්න. සත්‍යය සෙවීම පමණක්ම ඉතිරි කරගන්න. සත්‍යය රැකීම යනු එතෙරවීමටම යොමුවීමයි. දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග ලෙස සත්‍යය, සතර ආකාරයකට පෙන්වා දී ඇත. ධාතු, ආයතන, ස්කන්ධ, පටිච්ච සමුප්පාදය ප්‍රඥාවෙන් දැකීම එතෙරවීමේ දැක්මයි. එතෙර වන ලෙස දකිනවිට ආර්‍ය සත්‍යය සතරම දකී. නමුත් යමෙක්, ධාතු, ආයතන, ස්කන්ධ, පටිච්ච සමුප්පාදය විග්‍රහයන් සෙවීමේ නිරතවන විට යම්කිසි විදියකට (ලැබෙන ලෙස) නිරවුල් වූයේ නම් ඔහුට එය සත්‍යයක් ලෙස ඉස්මතු වී ඇත. ආර්‍ය සත්‍යය සතරම ප්‍රඥාවට දර්ශනය වන විට සිදුවන්නේ එතෙරවීමයි. යමක් ලැබුනේ නම් එහි එතෙරවීමක් සිදුවී නැත. එමෙන්ම ඔහු ‘දුක්ඛෙ ඤාණය’ ලැබුනේ යැයි රැවටී ඇත. එනමුත් සිදු වී ඇත්තේ දුකෙ හි ලැගගැනීමය. එතෙරවීම සිදුවී නැත. කිම, සමුදය, නිරෝධ, මග්ග සත්‍යය නොවේ ද?
“යො භික‍්ඛවෙ, දුක‍්ඛං පස‍්සති දුක‍්ඛසමුදයම‍්පි සො පස‍්සති දුක‍්ඛනිරොධම‍්පි පස‍්සති, දුක‍්ඛනිරොධගාමිනිං පටිපදම‍්පි පස‍්සති. යො දුක‍්ඛසමුදයං පස‍්සති, දුක‍්ඛම‍්පි සො පස‍්සති, දුක‍්ඛනිරොධම‍්පි පස‍්සති, දුක‍්ඛනිරොධගාමිනිං පටිපදම‍්පි පස‍්සති. යො දුක‍්ඛනිරොධං පස‍්සති දුක‍්ඛම‍්පි සො පස‍්සති, දුක‍්ඛසමුදයම‍්පි පස‍්සති, දුක‍්ඛනිරොධගාමිනිං පටිපදම‍්පි පස‍්සති. යො දුක‍්ඛනිරොධගාමිනිං පටිපදං පස‍්සති, දුක‍්ඛම‍්පි සො පස‍්සති, දුක‍්ඛසමුදයම‍්පි පස‍්සති, දුක‍්ඛනිරොධම‍්පි පස‍්සතී’ති.” (ගවම්පති සූත්‍රය – ස.නි. 5-2)
“මහණෙනි, යමෙක් දුක දකී (ප්‍රඥාවෙන්) ද, ඔහු දුකේ හේතුවත් දකී(ප්‍රඥාවෙන්). දුක්ඛ නිරෝධයත් දකී (ප්‍රඥාවෙන්). දුක්ඛ නිරෝධයට මාර්ගයත් (ප්‍රඥාවෙන්) දකී. යමෙක් දුකේ හේතුව දකී (ප්‍රඥාවෙන්) ද, ඔහු දුකත් දකී (ප්‍රඥාවෙන්). දුක්ඛ නිරෝධයත් දකී (ප්‍රඥාවෙන්). දුක්ඛ නිරෝධයට මාර්ගයත් දකී (ප්‍රඥාවෙන්). යමෙක් දුක්ඛ නිරෝධය දකී (ප්‍රඥාවෙන්) ද, ඔහු දුකත් දකී (ප්‍රඥාවෙන්). දුකේ හේතුවත් දකී (ප්‍රඥාවෙන්). දුක්ඛ නිරෝධයට මාර්ගයත් දකී (ප්‍රඥාවෙන්).. යමෙක් දුක්ඛ නිරෝධයට මාර්ගය දකී (ප්‍රඥාවෙන්) ද, ඔහු දුකත් දකී (ප්‍රඥාවෙන්). දුකේ හේතුවත් දකී (ප්‍රඥාවෙන්). දුක්ඛ නිරෝධයත් දකී (ප්‍රඥාවෙන්) යි.”
මේ ගැන හොඳින් සිතන්න. තථාගතයන් වහන්සේ අපට ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්ච සමුප්පාදය ලැබීමට ධර්මය දේශනා නොකළ හ. ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද ලෙස විග්‍රහ කරමින් යෝනිසෝ මනසිකාරය තුළින් මඟ පමණක්ම පෙන්වූ සේක. එයයි බුද්ධ කෘත්‍ය. එය බුද්ධ කෘත්‍යක්ම පමණි. තව කෙනෙකුට එලෙස කළ නොහැක්කේම ය.
විමුක්තිකාමි සමාජය තුළ සිටිනා විමුක්තිකාමීහු විවිධ සත්‍යයන් තුළින් අවබෝධ කරගත් ධර්ම විනයන් මත පාදක වී ‘මම’ යන්නෙහි වරද ප්‍රායෝගිකව අත්දකිමින් ප්‍රතිපදාවක් පුරුදු කරති. එසේ ප්‍රතිපදාවක් පුරුදු කරන විමුක්තිකාමීහු භවය පිළිකුල් කරන අතර භව නිරෝධයට කැමති වන්නා හ. එනමුදු ඒ කිසිවෙකුට සක්කාය දිට්ඨිය නුවණින් වටහාගත නොහැකි වේ. එමනිසා ලෝකයෙන් එතෙර නොවේ. නමුත් ඒ දකින ආකාරය ලෝකයේ ශ්‍රේෂ්ඨ ම දෘෂ්ටියක් වේ. ‘මම’ යන්නෙහි අසත්‍යභාවය කොපමණ ඉස්මතු වූව ද, ඒ තුළින් සක්කාය දිට්ඨිය අවබෝධ කරගැනීමටවත් නොහැක.
“එතදග‍්ගං භික‍්ඛවෙ බාහිරකානං දිට‍්ඨිගතානං යදිදං නො චස‍්සං, නො ච මෙ සියා, න භවිස‍්සාමි, න මෙ භවිස‍්සන‍්තීති. එවංදිට‍්ඨිනො භික‍්ඛවෙ එතං පාටිකඞ‍්ඛං: යා චායං භවෙ අප‍්පටිකූල්‍යතා, සා චස‍්ස න භවිස‍්සති, යාචායං භවනිරොධෙ පාටිකුල්‍යතා, සා චස‍්ස න භවිස‍්සතීති. එවං දිට‍්ඨිනොපි ඛො භික‍්ඛවෙ සන‍්ති සත‍්තා. එවං දිට‍්ඨිනම‍්පි ඛො භික‍්ඛවෙ සත‍්තානං අත්‍ථෙව අඤ‍්ඤථත‍්තං, අත්‍ථි විපරිණාමො. එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො තස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. තස‍්මිං නිබ‍්බින්‍දන‍්තො අග‍්ගෙ විරජ‍්ජති, පගෙව හීනස‍්මිං.” (පඨමකෝසල සූත්‍රය – අ.නි. 6)
“මහණෙනි, “(මම) නොවෙමි නම් ද, මගේ (මට) ද නොවෙයි. (මම) නොවන්නෙමි (නම්), මගේ (මට) නොවන්නේ ය,” යන යම් මේ දෘෂ්ටිගතයක් වේ ද, මාගේ ශාසනයෙන් බාහිර තිබෙනා දේ අතර අග්‍රම දේ වේ. මහණෙනි, මෙසේ දෘෂ්ටි ඇති අය මෙය කැමැති වෙයි. “පැවැත්මෙහි පිළිකුල් නොකිරීමක් වේ ද, එය ඔහුට නොවේ. පැවැත්ම නිරෝධයේ (භව නිරෝධය) යම් පිළිකුල් කිරීමක් වේ ද, එය ඔහුට නැත. මහණෙනි, මෙසේ දෘෂ්ටි ඇති සත්වයෝ ඇත. මහණෙනි, මෙසේ දෘෂ්ටි ඇති සත්වයින්ගේ අන්‍යථාභාවයක් ඇත. විපරිණාමයක් ඇත. මහණෙනි, මෙසේ දක්නා (ප්‍රඥාවෙන්) ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා එහි ද ලැගගැනීම නොවෙයි (නිබ්බිදාව). එහි ලැගගැනීමක් නොවූයේ ද අග්‍ර දේහි නොඇලේ. හීන දේවල් ගැන කවර කතා ද?”
අන්‍ය විමුක්තිකාමීන් ලෝකයේ ඇති සත්‍යය මත පිහිටා ‘මම’ යන්නෙහි වරද කොපමණ දුටුව ද එයින් ලෝකයෙන් එතෙර නොවන බව ඉහත දේශනාව තුළින් මනාව පැහැදිලි වේ.
“නො චස‍්සං නො ච මෙ සියා න භවිස‍්සාමි’ න මෙ භවිස‍්සතී”ති. යා ඛො පන සා භික‍්ඛවෙ, උච‍්ඡෙදදිට‍්ඨි සඞ‍්ඛාරො සො.” (පාරිලෙය්‍යක සූත්‍රය – ස.නි. 3)
“(මම) නොවෙමි නම් ද, මගේ (මට) ද නොවෙයි. (මම) නොවන්නෙමි (නම්), මගේ (මට) නොවන්නේ ය.” මහණෙනි, යම් ඒ උච්ඡේද දෘෂ්ටියක් වේ නම් එයත් සංස්කාරය යි.”
“රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති: “නො චස‍්සං, නො ච මෙ සියා, න භවිස‍්සාමි න මෙ භවිස‍්සතී”ති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති -පෙ-” (නො චස්ස සූත්‍රය – ස.නි. 3)
“මහණෙනි, රූපය ඇති කල්හි, රූපය උපාදාන කොට, රූපයේ රිංගාගෙන, මෙසේ දිට්ඨි උපදී. “(මම) නොවෙමි නම් ද, මගේ (මට) ද නොවෙයි. (මම) නොවන්නෙමි (නම්), මගේ (මට) නොවන්නේ ය”. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඤ්ඤාණය ඇති කල්හි”
‘මම’ යන්නෙහි වැරදි බව සිදුවන ප්‍රායෝගික අත්දැකීම රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ තුළට රිංගා ගෙන ඇතිවන දැකීමක් බව ඉහත දේශනා තුළින් මනාව ඉස්මතු වේ. ‘මම’ යන්නෙහි වරද ‘යෙදීමක්’ ලෙස අවබෝධ වූව ද, ලෝකයෙන් එතෙර නොවන්නේම ‘එය ලෝකයේ යෙදීමක්ම’ නිසාවෙනි. එමෙන්ම ‘අත්ත’ යන්නෙහි වැරැද්ද ‘තමාම’ අවබෝධ කරගෙන ‘අනත්ත’ ලෙස ‘තමා නොවන’ බව ‘තමාට’ වැටහුන ද, ඔවුන් ද ලෝකයෙන් එතෙර නො වේ.
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ