සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 41

අවිද්‍යාවෙන් වැසුණු සත්වයෝ ඉමක් කොනක් නොපෙනෙන සංසාරයේ ගමන් කරති. යමෙක් මේ අවිද්‍යාව අවබෝධ කරයි ද, ඔහුට විද්‍යාව ඉපදීමෙන් සසර ගමන නොපැන වේ. ඒ සඳහා ලෝකයේ පහළ වන අසාමාන්‍ය උත්තම රත්නය වන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවශ්‍ය වේ. අවිද්‍යාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ දහම පිළිබඳව විමසා බලමු. 

යතො ඛො ආවුසො අරියසාවකො එවං අවිජ‍්ජං පජානාති, එවං අවිජ‍්ජාසමුදයං පජානාති, එවං අවිජ‍්ජානිරොධං පජානාති, එවං අවිජ‍්ජානිරොධගාමිනිං පටිපදං පජානාති….” (සම්මාදිට්ඨි සූත්‍රය – ම.නි. 1) 

“ඇවැත්නි, යම් පරිදි ආර්‍ය්‍ය ශ්‍රාවකයා මෙසේ අවිද්‍යාව ත් මනාව දැනගනී ද (ප්‍රඥාවෙන්), මෙසේ අවිද්‍යා සමුදය ත් මනාව දැනගනී ද, මෙසේ අවිද්‍යා නිරෝධය ත් මනාව දැනගනී ද, මෙසේ අවිද්‍යා නිරොධගාමිනී ප්‍රතිපදාව ත් මනාව දැනගනී ද….”  

මේ ආකාරයට අවිද්‍යාවේ පැවැත්ම පජානාති වීම නොමැති නිසාම ‘ඇතිම බව’ හෙවත් ශාස්වත බව වූ දැකීමක් සිදු වේ. එමෙන්ම එය ‘සංයෝජනය’ වීම නම් වූ එකතු වීම යි. තථාගතයන් වහන්සේ පෙන්වා දෙන සක්කාය නිරෝධ ධර්මය වන ලෝකෝත්තර ධර්මය ඒ ආකාරයට නොඇසීම ම අඥානයට හේතු වේ. මන්දයත් ඒ සියල්ලම සක්කාය නම් වූ ලෝකය මතම වූ ක්‍රියාවලියන් ය.  

ධර්මය මනාව ඇසීම පිළිබඳව සුස්සූසති සූත්‍ර ආදිය මුල්කර ගනිමින් මුලින් පෙන්වා දී ඇත. එම සූත්‍රයට අනුව එතෙර වීමේ කෘත්‍ය වන සක්කාය නිරෝධය ඉස්මතු වෙමින් යෝනිසෝ මනසිකාරය සිදු නොවීම ම සද්ධර්මය නොඇසීම වේ. එනම් නොඅසන ලද පෘථග්ජනයෝ (‘අස්සුතවා පුථුජ්ජන’) වෙති. මේ වූ ශ්‍රැතවත් නැති පෘථග්ජනයාට කිසිඳු ලෙසකින් ‘එතෙර වීමේ දැනගැනීම’ වන ‘පජානාති’ බව නොයෙදේ. එසේ ‘න පජානාති’ බැවින් ‘ස්වකීයත්වය දැක්ම’ (සක්කාය දිට්ඨිය) බව ද පජානාති නොවේ. එම නිසාම එම ‘ස්වකීයත්වය දැක්ම’ ප්‍රහාණයවීමක් පිළිබඳව හෝ හටගැනීමක් පිළිබඳව හෝ ‘න පජානාති’ වේ. එසේ සිදුවීම ‘ස්වකීයත්වය දැකීම සමඟ එකතුවීම යි’. එනම් සක්කාය දිට්ඨිය සංයෝජනය වීමයි. ලෝකයෙන් එතෙර වන ලෙසට වූ තථාගත දහම, ඒ ලෙසටම ප්‍රතිපදාව ඉස්මතු වන ආකාරයට නොඇසීමෙන්ම ‘අස්සුතවා පුථුජ්ජන’ බැවින් ‘ස්වකීයත්වය දැක්ම’ සමඟ එකතුවීම සිදුවේ. එයම ‘ඕරම්භාගිය සංයෝජනය’ වේ. 

නමුත් ඒ තථාගත දහම, සක්කාය ඉක්මවන ලෙසට යෝනිසෝ මනසිකාරය ඉපදීමේ කෘත්‍ය සිදුවෙමින්, ‘ඇසෙන විට’, ‘අසන ලද’ කෙනා, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක (සුතවා අරිය ශ්‍රාවක) වේ. එසේ යෝනිසෝ මනසිකාරය ඉපදෙන විට මාත්‍ර වශයෙන් හෝ ඇතිවන ප්‍රඥා ඉන්ද්‍රියේ කෘත්‍ය වන ‘එතෙර වන ලෙස දැකීම’ නම් වූ පජානාති බව සිදුවේ. මෙසේ සක්කාය දිට්ඨිය (‘ස්වකීයත්වය දැකීම’) ප්‍රඥාවෙන් දැනගැනීම (පජානාති) වේ. එමෙන්ම හටගැනීමත් ප්‍රහාණයවීමත් ‘පජානාති’ වේ. මෙසේ ප්‍රඥාවෙන් දකිනවිට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වේ. එනම් ස්වකීයත්වය දැකීම සමඟ එකතුවීම සිදු නොවේ (සං‍යෝජනය නොවේ). 

සක්කාය දිට්ඨිය (‘ස්වකීයත්වය දැකීම’) ප්‍රහාණය නොවූයේ නම් ‘ලෝකයක් හා මම’ ඇති බවක් සම්මර්ශනය වේ. සමනුපස්සති යන වචනය තථාගත දහම තුළ දී යෙදෙන ආකාරය මුලින් පෙන්වා දී ඇත. එසේ සමනුපස්සති නොවන බව පෙන්වන විට දී ‘න සමනුපස්සති’ ලෙස පැහැදිලි කර ඇත. එය තව කෙනෙකුට පැහැදිලි කිරීම සඳහා කරන විග්‍රහයකි. මේ කරුණ ඛේමක සූත්‍රය තුළ පැහැදිලි කර ඇත. 

‘මේ මම වෙමි යි’ ලෙසට යෙදෙන විට ‘ලෝකය හා මම’ ඇති බවට සම්මර්ශනය සිදු වේ. ඛේමක සූත්‍රයේ දී ‘අයමහමස‍්මී’ති න ච සමනුපස‍්සාමි’ ලෙස ද පෙන්වා දී ඇත. එනම් පඤ්ච උපාදානක්ඛන්ධ වන ස්වකීයත්වය ඇති බවත්, එයම මම බවත් වන සම්මර්ශනය නොමැති බවයි. එනම් සක්කාය දිට්ඨි සංයෝජනය නොමැති බවයි. නමුත් සක්කාය නිරෝධ නොවීම හේතුවෙන් මැනීම, කථාව, නිරුක්ති යෙදේ. එබැවින් ‘වෙමි’ යන බැසගැනීම යෙදෙන බවත් පෙන්වා ඇත. එය නිවීම සාක්ෂාත් නොවූ බව ඉස්මතු කොට පෙන්වීම වේ. මෙම ග්‍රන්ථය තුළදී නිවීම පිළිබඳ සවිස්තර වූ විස්තරයක් ඉදිරිපත් නොකරන බැවින් මේ ග්‍රන්ථය සක්කාය දිට්ඨිය ප්‍රහාණය වටහා ගැනීම සඳහා උපකාරී කර ගනිමු.  

සක්කාය දිට්ඨිය පජානාති වීම සඳහා තථාගත ධර්මය ඇසිය යුතු බව මුලින් පෙන්වන ලදී. මෙලෙස තථාගත දහම තුළ වූ ධර්ම කරුණු ඉගෙන ගැනීම ම යෝනිසෝ මනසිකාරය ඉපදීමට හේතු වේ. එලෙස ඇතිවන ප්‍රඥාව තුළින් සක්කාය දිට්ඨි බව පජානාති වේ. මේ සඳහා ප්‍රඥාවට අවශ්‍ය ආහාර නිතරම ලැබිය යුතු වේ. ධර්මය ඇසීම හා ප්‍රශ්න කරමින් විමසීම, ප්‍රඥාවට ආහාර බව ඉට්ඨධම්ම සූත්‍රයේ තිබූ කරුණු මුලින් ඉස්මතු කරන ලදී.  

සක්කාය (ස්වකීයත්වය) පිළිබඳව යම් නිර්වචනයක්, පැනවීමක්, අධිවචනයක් වූ විට එය ‘මේ’ ලෙසට යෙදිමෙන් ‘මම’ බවම තහවුරු වේ (‘මේ’ යන්න යමක් බවට මැනීම සිදුවීම ම ‘මම’ නම් වූ කෙනෙකුගේ මැදිහත්වීමක්ම වේ. එනම් සක්කාය පිළිබඳව ‘මේ’ ලෙස නිර්වචනය වීම ම සක්කාය දිට්ඨිය වේ.). ‘මේ’ ලෙසට යෙදීම ම නිත්‍ය වූ සම්මර්ශනය යි. එසේ වූ නිත්‍ය සම්මර්ශනයෙන් කිසිදාක තථාගත දහමට (එතෙර වන මාර්ගයට) යොමු නොවන බව අනිච්ච සූත්‍රයේ පෙන්වූ ආකාරය මුලින් ඉදිරිපත් කර ඇත. එලෙස ‘මේ’ ලෙසට ගැනීම ම පිහිටීම වේ. එයම ‘මම’ ලෙසට සම්මර්ශනය වේ. මෙය සැප (සුඛ), තමා (අත්ත) ලෙස සිදුවන සම්මර්ශනය වේ. මේ ආකාරයට ‘පජානාති’ බව, ප්‍රඥාවේ කෘත්‍ය ඉස්මතු නොවන්නේ නම් කිසිඳු ලෙසකින් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමට හැකියාව නොලැබේ. ඛේමක සූත්‍රයේ ඇති විස්තරය හා සක්කාය දිට්ඨිය පිළිබඳව ඇති අනිකුත් විස්තරයන් සමඟ සක්කාය දිට්ඨියේ අර්ථය පැහැදිලි කර ගනිමු. 

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි 

රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය 

වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ