
බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ පඤ්ච උපාදානස්කන්ධයන් පිළිබඳව මේ දක්වා සවිස්තරව පැහැදිලි කරන ලදී. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන කරුණු තථාගතයන් වහන්සේ වදාළ දහමට අනුව විමසන විට ද කිසිඳු ලෙසකින් එය ස්වකීයත්වයට (තමාට) ලැබීමක් සිදු නොවේ. ස්වකීයත්වයේ ඉක්මවීම ම සිදු වේ.
“එවමෙව ඛොහං ආවුසො, න රූපං ‘අස‍්මී’ති වදාමි, නපි අඤ‍්ඤත්‍ර රූපා ‘අස‍්මී’ති වදාමි. න වෙදනං -පෙ – න සඤ‍්ඤං -පෙ- න සඞ‍්ඛාරෙ -පෙ- න විඤ‍්ඤාණං ‘අස‍්මී’ති වදාමි. නපි අඤ‍්ඤත්‍ර විඤ‍්ඤාණා ‘අස‍්මී’ති වදාමි. අපි ච මෙ ආවුසො, පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු ‘අස‍්මී’ති අධිගතං අයමහමස‍්මීති න ච සමනුපස‍්සාමි.” (ඛෙමක සූත්‍රය – ස.නි. 3)
“ඇවැත්නි, මම රූපය ‘වෙමි’යි නොකියමි. රූපයෙන් වෙන්ව ‘වෙමි’යි නොකියමි. වේදනාව…. සංඥාව … සංස්කාර … විඤ්ඤාණය ‘වෙමි’යි නොකියමි. විඤ්ඤාණයෙන් වෙන්ව ‘වෙමි’යි නොකියමි. ඇවැත්නි, නමුත් මා විසින් පඤ්ච උපාදානස්කන්‍ධයන්හි යෙදීමෙහි ‘වෙමි’ යැයි වේ. ‘මේ මම වෙමි’යි අනුව නොදකිමි.”
රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණය බුද්ධ වචනයට අනුව විමසන විට ප්‍රඥාව ඇති වේ. ඒ ප්‍රඥාව තුළින් ස්වකීයත්වය වන පඤ්චඋපාදානක්ඛන්ධය පිළිබඳව පැවැත්මේ නුවණ ඇතිවේ. එනමුදු ‘මේ’ ලෙසට (අයං) නිත්‍ය, ශාස්වතබවක් සිදු නොවේ. ‘වෙමි යි’ (අස්මී’ති) යන හැඟීම පමණක් තිබේ. එය ද නිවීමේ දී ඉක්මවයි. මේ පිළිබඳව තව දුරටත් සක්කායදිට්ඨිය ගැන විමසීමේ දී පැහැදිලි කරගත හැක.
“අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො, සක‍්කායදිට‍්ඨිපරියුට‍්ඨිතෙන චෙතසා විහරති සක‍්කායදිට‍්ඨිපරෙතෙන, උප‍්පන‍්නාය ච සක‍්කායදිට‍්ඨියා නිස‍්සරණං යථාභූතං නප‍්පජානාති. තස‍්ස සා සක‍්කායදිට‍්ඨි ථාමගතා අප‍්පටිවිනීතා ඔරම‍්භාගියං සංයොජනං…” (මහා මාලුඞ්ක්‍ය සූත්‍රය – ම.නි. 2)
“අශ්‍රැතවත් පෘථග්ජනයා, ආර්‍ය්‍යයන්ගේ දර්ශනය නැත්තා, ආර්‍ය්‍යධර්‍මයේ අදක්‍ෂයා, ආර්‍ය්‍යධර්‍මයෙහි නොහික්මෙන්නා, සත්පුරුෂයන්ගේ දර්ශනය නැත්තා, සත්පුරුෂධර්‍මයේ අදක්‍ෂයා, සත්පුරුෂධර්‍මයෙහි නොහික්මෙන්නා සක්කාය දෘෂ්ටියෙන් මඩනා ලදුව (යටපත් කරගෙන) සක්කාය දෘෂ්ටිය අනුව ගිය සිතින් යුක්තව වෙසෙයි. උපන් සක්කාය දෘෂ්ටියේ ද නිස්සරණය යථාර්ථ වශයෙන් නොදනි (ප්‍රඥාවෙන් නොදනී). ඔහුගේ ඒ සක්කාය දෘෂ්ටිය ස්ථිර බවට පත්වේ. බැහැර නොකළා වූ ඕරම්භාගිය සංයෝජන වෙයි.”
“සුතවා ච ඛො ආනන්‍ද අරියසාවකො අරියානං දස‍්සාවී අරියධම‍්මස‍්ස කොවිදො අරියධම‍්මෙ සුවිනීතො, සප‍්පුරිසානං දස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස කොවිදො සප‍්පුරිසධම‍්මෙ සුවිනීතො, න සක‍්කායදිට‍්ඨිපරියුට‍්ඨිතෙන චෙතසා විහරති න සක‍්කායදිට‍්ඨිපරෙතෙන, උප‍්පන‍්නාය ච සක‍්කායදිට‍්ඨියා නිස‍්සරණං යථාභූතං පජානාති, තස‍්ස සා සක‍්කායදිට‍්ඨි සානුසයා පහීයති” (මහාමාලුඞ්ක්‍ය සූත්‍රය – ම.නිිි. 2)
“ආනන්ද, ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවකයා, ආර්‍ය්‍යත්වය දකින්නේ ය, ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂය, ආර්‍ය්‍යධර්‍මයෙහි හික්මුණේ වෙයි, සත්පුරුෂත්වය දකින්නේ ය, සත්පුරුෂධර්‍මයෙහි දක්‍ෂය, සත්පුරුෂධර්‍මයෙහි හික්මුණේ වෙයි, සක්කාය දෘෂ්ටියෙන් මඩනා ලදුව (යටපත් කරගෙන) සක්කාය දෘෂ්ටිය අනුව ගිය සිතින් යුක්තව නොවෙසෙයි. උපන් සක්කාය දෘෂ්ටියේ ද නිස්සරණය යථාර්ථ වශයෙන් දනී (ප්‍රඥාවෙන් දනී). ඔහුගේ ඒ සක්කාය දෘෂ්ටිය අනුසය වශයෙන්ම ප්‍රහාණය වේ.”
සක්කාය දිට්ඨිය යනු පුද්ගලයෙක් තුළ තිබෙන යම් දෙයක් නොවේ. ඒ බව ඉහතින් පෙන්වූ මාලුඞ්ක්‍යපුත්ත සූත්‍රය තුළින් හොඳින් පැහැදිලි වේ. එනම් ‘ස්වකීයත්වය දැක්ම’ (දකින ආකාරය) සක්කාය දිට්ඨිය වේ. ‘ස්වකීයත්වය දැක්ම’, ස්වකීයත්වය දැක්මක් බව වැටහෙන්නේ නුවණකට පමණි. කළින් පැහැදිලි කළ සමනුපස්සති හා පජානාති විග්‍රහය තුළින් එය මනාව ඉස්මතු වේ. මෙලෙසට ‘ස්වකීයත්වය දැක්ම’ පුද්ගලයෙක් තුළ තිබෙන්නා වූ දෙයක් නොවන බව මාලුඞ්ක්‍යපුත්ත සූත්‍රයේම පහත උපමාවෙන් පැහැදිලි වේ.
“දහරස‍්ස හි මාලුඞ‍්ක්‍යපුත‍්ත, කුමාරස‍්ස මන්‍දස‍්ස උත‍්තානසෙය්‍යකස‍්ස සක‍්කායොතිපි න හොති. කුතො පනස‍්ස උප‍්පජ‍්ජිස‍්සති සක‍්කායදිට‍්ඨි. අනුසෙතිත්‍වෙවස‍්ස සක‍්කායදිට‍්ඨානුසයො.” (මහාමාලුඞ්ක්‍ය සූත්‍රය – ම.නිිි. 2)
“මාලුඞ්ක්‍යපුත්‍ත, උඩුකුරුව වැතිරී සිටින මෝඩ වූ ළදරු කුමරෙකුට ‘සක්කාය’ (ස්වකීයත්‍වය) යයි ද නොවෙයි. එහෙයින් ඔහුට සක්කාය දෘෂ්ටියක් කෙසේ උපදින්න ද? ඔහුට අනුශය (යෙදීම අනුව සිටීම) වශයෙන් සක්කාය දෘෂ්ටිය අනුශය වේ.”
ලෝකයක් තිබෙන බව හා එහි ස්ථිරවම සංයෝජනයන් තිබෙන බව පෙන්වීම ම, තථාගත දහමට අනුගත නොවේ. මන්දයත්, එයම ආත්ම වාදය හා ශාස්වත දෘෂ්ටිය වේ. එබැවින් ඒකාන්තයෙන් ලෝකයේ සිටින්නා වූ පුද්ගලයෙකුගේ සක්කාය දිට්ඨි සංයෝජනය ඇති බව පැවසීම ම සක්කාය නිරෝධ දහමට විරුද්ධ වූවකි. එසේ වන්නේ නම්, ඒකාන්තයෙන් තිබෙන ලෝකයේ, සිටින පුද්ගලයන්ගේ විනාශයක්, බුදුරජාණන් වහන්සේ පෙන්වා ඇති බව ඉස්මතු වේ. එවිට අන්‍යයන් චෝදනා කරන ‘උච්ඡේදය නම් වූ විනාශය පනවන්නෙක්’ යන දෝෂයට ද ලක් වේ. ඒ බව මාගන්දිය සූත්‍රය තුළ ද පැහැදිලි කර ඇත.
“භූනහු සමණො ගොතමො’ති.” (මාගන්දිය සූත්‍රය – ම.නි. 2)
“ශ්‍රමණ ගෞතමයන් විනාශය පනවන්නෙකි ”
ඉන්නා වූ පුද්ගලයෙකුගේ නැතිවීමක් සඳහා තථාගතයන් වහන්සේ ධර්ම දේශනා නොකළ හ. ආත්ම වශයෙන් ගැනීමක් වීමට ද ධර්ම දේශනා නොකළ හ. ආත්මයක් නැති කිරීමට ද ධර්ම දේශනා නොකළ හ. ආත්ම වශයෙන්, එනම් තමා ලෙස යෙදීමේ නුසුදුසුභාවය පෙන්වා දී ඇත.
“යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලං නු තං සමනුපස‍්සිතුං: “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? “නො හෙතං භන‍්තෙ”.” (ඛජ්ජනීය සූත්‍රය – ස.නි. 3)
“යමක් අනිත්‍ය වේ නම්, දුක් වේ නම්, වෙනස්වෙන ස්වභාව ඇත් නම් “එය මාගේ, එය මම වෙමි, එය මාගේ ආත්මය යැයි” අනුව දැකීම සුදුසු වේ ද? ස්වාමීනී, එය එසේ නොවේම ය”
මේ තුළින් ද තිබෙන්නා වූ ආත්මය නැතිවීම සඳහා ධර්මයක් තථාගතයන් වහන්සේ නොවදාළ බව මනාව ඉස්මතු වේ. අවිද්‍යාව නිසා පවතින වැරැද්ද පෙන්වීමට ධර්මය දේශනා කළ හ. එලෙස යමක වැරැද්ද පෙන්වීම සඳහා, වැරැද්ද තුළම ලැගගෙන සිටීමෙන් වැරැද්ද පෙන්වීම ද සිදුවිය නොහැක. මන්දයත් යමක් වැරදිබව වැටහීමට නම් නිවැරදිබවක් තිබිය යුතුම වේ. අවිද්‍යාව නම් වූ වැරැද්දෙන් සිදුවන පැවැත්ම පෙන්වීමට විද්‍යාව උපදින මගක් ඉස්මතු කළ යුතු වේ. එලෙස විද්‍යාව ඉපදෙන මගක් සමඟ අවිද්‍යාවේ ඇති පැවැත්ම මනාව වටහාගත හැකිවේ. මේ සඳහා අවශ්‍ය යෝනිසෝ මනසිකාරය ඉපදීමට තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කළ සේක. ඒ ආකාරයට යෝනිසෝ මනසිකාරය උපදින ආකාරය මුලින් දීර්ඝව පැහැදිලි කරන ලදී. එසේ යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රඥා ඉන්ද්‍රිය වර්ධනය වේ. ඒ ප්‍රඥා ඉන්ද්‍රිය ශ්‍රද්ධානුසාරී කෙනාගේ පටන් ඉස්මතු වේ.
“තථාගතෙ චස‍්ස සද‍්ධාමත‍්තං හොති පෙමමත‍්තං. අපි චස‍්ස ඉමෙ ධම‍්මා හොන‍්ති. සෙය්‍යථිදං: සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං. අයං වුච‍්චති භික‍්ඛවෙ, පුග‍්ගලො සද‍්ධානුසාරී.” (කීටාගිරි සූත්‍රය – ම.නි. 2)
“තථාගතයන් වහන්සේ කෙරෙහි ද ඔහුගේ ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් වෙයි. තවද ඔහුට මේ ධර්‍මයෝ වෙති. ඒ මෙසේ ය: ශ්‍රද්ධා ඉන්ද්‍රිය ය, විරිය ඉන්ද්‍රිය ය, සති ඉන්ද්‍රිය ය, සමාධි ඉන්ද්‍රිය ය, ප්‍රඥා ඉන්ද්‍රිය ය. මේ පුද්ගලයා ශ්‍රද්ධානුසාරී යැයි කියනු ලැබේ”
“පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං. යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකො ඉමෙසං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානාති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අරියසාවකො සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණොති.” (දුතිය සෝත සූත්‍රය – ස.නි. 5-1)
“මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පහකි. කවර පහක් ද යත්; සද්ධින්‍ද්‍රිය … පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, යම්කලෙක ආර්ය ශ්‍රාවකයා මේ ඉන්ද්‍රිය පහේ, හටගැන්මත්, නැතිවීමත්, ආස්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් යථාර්ථ වශයෙන්ම ප්‍රඥාවෙන් දනී; මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකයා නිරයට නොවැටෙනසුලු, අවබෝධය (නිවීම) අවසානය නියතකොට ඇති සෝතාපන්න යැයි කියනු ලැබේ යි.”
මේ වූ ප්‍රඥාවේ කෘත්‍ය වන්නේම ද පජානාති වීමයි. ඒ බව මුල දී පෙන්වූ පැහැදිලි කිරීම් තුළ හොඳින් ඉස්මතු විය. එම පජානාති බව ආර්ය සත්‍යය ඥානය බව මහාවේදල්ල සූත්‍රයේ පැහැදිලි කර ඇත. එනම් විද්‍යාව යන සක්කාය නිරෝධයේ කෘත්‍යය ඉස්මතු වීමයි. ඒ කෘත්‍ය ඉස්මතු වන විට අවිද්‍යාව බව ද පජානාති වේ. එනම් අවිද්‍යාව පිළිබඳ ඥානයක් ද ඇති වේ. එයම එතෙරවීමේ දකින ආකාරය වන සම්මා දිට්ඨියයි.
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ