
බුදුරජාණන් වහන්සේ දේශනා කළ පඤ්චඋපාදානස්කන්ධයෝ පිළිබඳව ඉගෙන ගැනීමේ දී, එහි අන්තර්ගත රූප, වේදනා, සංඥා පිළිබඳව කලින් පැහැදිලි කරන ලදී.
ඛජ්ජනීය සූත්‍රය තුළ දී සංඛාර ලෙස පෙන්වා දී ඇත්තේ ද ‘අභිසඞ‍්ඛරොන‍්තීති’ එනම් විශේෂයෙන් සකස්වෙන බව පෙන්වීමයි. එනම් ස්වකීයත්වය පිළිබඳව කරන විග්‍රහයක අඩංගු කරුණකි. එය ස්වකීයත්වයට (තමාට) ලැබීමක් නොවේ. එනමුදු ලෝකයේ සිටින කෙනෙකුට (පෘථග්ජනයෙකුට) එය ස්වකීයත්වයට (තමාට) ලැබෙන්නක් බව වැටහේ. එම නිසා ඒ ආකාර වූ සකස්වීම් ඉක්මවමින් විමුක්තියක් ලබන ප්‍රතිපදාවන් අන්‍යශාස්තෘවරු පෙන්වා වදාළ හ. නමුත් ස්වකීයත්වය ඉක්මවා නොයයි. මෙසේ ලෝකයාට (පෘථග්ජනයාට) සංඛාරය ගැන වැටහෙන (එනම් ස්වකීයත්වයට සංඛාරය වැටහෙන) ආකාරයත් තථාගත දහම තුළ සංඛත බව ඉස්මතු කරමින් පෙන්වන ස්වකීයත්වයෙහි විග්‍රහ වන සංඛාරයත් අතර විශාල වෙනසක් තිබේ. එම නිසා ශ්‍රද්ධාවෙන්, ගැඹුරු දහම ඇසීමට යොමු වූ ප්‍රඥාවන්තයා, තථාගතයන් වහන්සේ පෙන්වූ සංඛාරය කුමක් ද යන වග සෙවීමට, විමසීමට එම දහමට අනුවම පමණක් යොමු වේ. එවිට එම දහමට අනුව සෙවීමට මනසිකාර කරන විට දී ප්‍රඥාව ඇති වී ස්වකීයත්වය ඉක්මවන ප්‍රතිපදාවට යොමු වේ.
මෙහිදී ද සකස්වීම නම් වූ ක්‍රියාව පෙන්වීම ම ස්වකීයත්වය සකස්වීමේ විග්‍රහය සඳහා උදාහරණ ලෙස පෙන්වා දී ඇත. තථාගතයන් වහන්සේ පෙන්වා දෙන සකස්වීම නම් ක්‍රියාව මනාව තථාගත දහම තුළම පැහැදිලි කර ඇත. සංස්කාරය නම් වූ සකස්වීම පෙන්වන විට දී තවත් වූ තිබෙන කරුණක් ඉස්මතු කර නැත. මන්දයත් තිබෙන දෙයක් විග්‍රහ කරන විට ‘මේ’ ලෙසට දෙයක් ‘යමක්’ ලැබෙන බැවිණි.
“යෙ ච ඛො කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා එවං සඞ‍්ඛාරා අභිඤ‍්ඤාය එවං සඞ‍්ඛාරසමුදයං අභිඤ‍්ඤාය, එවං සඞ‍්ඛාරනිරොධං අභිඤ‍්ඤාය, එවං සඞ‍්ඛාරනිරොධගාමිනිං පටිපදං අභිඤ‍්ඤාය.
එවං සඞ‍්ඛාරෙසු අස‍්සාදං අභිඤ‍්ඤාය, එවං සඞ‍්ඛාරෙසු ආදීනවං අභිඤ‍්ඤාය, එවං සඞ‍්ඛාරෙසු නිස‍්සරණං අභිඤ‍්ඤාය, සඞ‍්ඛාරෙසු නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත‍්තා. තෙ සුවිමුත‍්තා. යෙ සුවිමුත‍්තා තෙ කෙවලිනො. යෙ කෙවලිනො වට‍්ටං තෙසං නත්‍ථි පඤ‍්ඤාපනාය.” (සත්තට්ඨාන සූත්‍රය, ස.නි. 3)
“මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මෙසේ සංඛාර විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ සංඛාර සමුදය විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ සංඛාර නිරෝධය විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ සංඛාර නිරෝධගාමිනී ප්‍රතිපදාව විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ සංඛාරයෙහි ආස්වාදය විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ සංඛාරයෙහි ආදීනව විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ සංඛාරයෙහි නිස්සරණය විශේෂයෙන් අවබෝධ කරගෙන, සංඛාරයට යථාර්ථ වශයෙන් කළකිරේ (ලැබීම් ලෙස නොයෙදේ). රාගය දුරුවේ. නිරෝධ වේ. උපාදාන රහිතව මිදේ. ඔහු මනාව මිදුනා වේ. යමෙක් මනාව මිදුනාහු ද ඔහු කේවලී (කිසිවක සම්බන්ධයක් නොවීමේ විග්‍රහය) වෙයි. යමෙක් කේවලී ද, ඔවුනට කරකැවීමක් (වට්ටයක්) පැනවෙන්නේ නැත.”
මෙසේ සකස්වීම ගැන තථාගතයන් වහන්සේ පෙන්වූ ආකාරයට විමසන විට ප්‍රඥාව ඇති වී සෝතාපන්න වේ. එය භාවිත කිරීම තුළින් සක්කාය නිරෝධ වී නිවීම සාක්ෂාත් කරයි.
“යෙ තථාභූතස‍්ස සඞ‍්ඛාරා, තෙ සඞ‍්ඛාරූපාදානක‍්ඛන්‍ධෙ සඞ‍්ගහං ගච‍්ඡන‍්ති.” (මහාහත්ථිපදෝපම සූත්‍රය – ම.නි. 1)
“යම් එසේ වූ හටගැනීමේ සකස්වීමක් වේ ද, එය සංඛාරඋපාදානස්කන්ධය වශයෙන් එක්වීමට යයි.”
සකස්වීම් වශයෙන් තථාගතයන් වහන්සේ පෙන්වා වදාළේ කුමක් ද යන වග විමසන විට දී සකස්වීම නම් වූ, සකස්වීම පිළිබඳ ඥානය ඇතිවේ. එසේ සකස්වීම නම් වූ හටගැනීමත්, එසේ සකස්වීම නම් වූ හටගැනීම දැකීමත්, පටිච්චසමුප්පාදය දැකීම බව මහාහත්ථිපදෝපම සූත්‍රය තුළ මනාව පෙන්වා ඇත. එලෙසම සකස්වීම ‘සංඛත ලෙසට’ නුවණ ඇති වන විට සකස්වීම උපාදාන වන (සාසවං උපාදානීයං) යෙදීම ත් සමඟ වන පැවැත්ම සංඛාර උපාදානක්ඛන්ධය වශයෙන් ද මේ දේශනාව තුළ මනාව පැහැදිලි කර ඇත. මේ ආකාරයට සකස්වීම පිළිබඳව තථාගත දහමට අනුව සත්‍යගවේෂී ප්‍රඥාවන්තයා මනසිකාර කිරීමට යොමුවේ.
ඛජ්ජනීය සූත්‍රය තුළ දී විඤ්ඤාණ ලෙස පෙන්වා දී ඇත්තේ ද ‘විජානාතීති’ එනම් ‘විශේෂයෙන් දැනගන්නා’ බව පෙන්වීම යි. එනම් ස්වකීයත්වය පිළිබඳව කරන විග්‍රහයක අඩංගු කරුණකි. එය ස්වකීයත්වයට (තමාට) ලැබීමක් නොවේ. එනමුදු ලෝකයේ සිටින කෙනෙකුට (පෘථග්ජනයෙකුට) එය ස්වකීයත්වයට (තමාට) ලැබෙන්නක් බව වැටහේ. එම නිසා ඒ ආකාර වූ දැනගැනීම් ඉක්මවමින් විමුක්තියක් ලබන ප්‍රතිපදාවන් අන්‍යශාස්තෘවරු පෙන්වා වදාළ හ. නමුත්, ස්වකීයත්වය ඉක්මවා නොයයි. මෙසේ ලෝකයාට (පෘථග්ජනයාට) විඤ්ඤාණය ගැන වැටහෙන (එනම් ස්වකීයත්වයට විඤ්ඤාණය වැටහෙන) ආකාරයත් තථාගත දහම තුළ සංඛත බව ඉස්මතු කරමින් පෙන්වන ස්වකීයත්වයෙහි විග්‍රහ වන විඤ්ඤාණයත් අතර විශාල වෙනසක් තිබේ. එම නිසා ශ්‍රද්ධාවෙන්, ගැඹුරු දහම ඇසීමට යොමු වූ ප්‍රඥාවන්තයා, තථාගතයන් වහන්සේ පෙන්වූ විඤ්ඤාණය කුමක් ද යන වග සෙවීමට, විමසීමට එම දහමට අනුවම පමණක් යොමු වේ.
මෙහිදී දැනගැනීම නම් වූ ක්‍රියාව පෙන්වීමට විවිධ රස වර්ගයන් දැනගන්නා බව පැහැදිලි කර ඇත. එය උදාහරණයක් පමණකි. ධර්මයට අනුව මනසිකාර කිරීමට පහසු වන ලෙසට එය තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ හ. ස්වකීයත්වයට කිසිඳු ලෙසකින් විඤ්ඤාණය ගැන වැටහීමක් ඇති නොවේ. මන්දයත් ස්වකීයත්වයම යනු විඤ්ඤාණයක විග්‍රහය නොහොත් දැනගැනීම් විග්‍රහයක සිදුවීම ම වේ. අන්‍යවිමුක්තිකාමීන් සිදු කරන ප්‍රතිපදාවන් තුළින් කිසිසේත්ම ස්වකීයත්වය නම් වූ සක්කායෙන් එතෙර නොවේ.
“යා චාවුසො පඤ‍්ඤා, යඤ‍්ච විඤ‍්ඤාණං ඉමෙ ධම‍්මා සංසට‍්ඨා නො විසංසට‍්ඨා. න ච ලබ‍්භා ඉමෙසං ධම‍්මානං විනිබ‍්භුජිත්‍වා විනිබ‍්භුජිත්‍වා නානාකරණං පඤ‍්ඤාපෙතුං. යඤ‍්චාවුසො පජානාති තං විජානාති. යං විජානාති තං පජානාති.” (මහාවෙදල්ල සූත්‍රය-ම.නි.1)
“ඇවැත්නි, යම් ප්‍රඥාවක් ඇද්ද, යම් විඤ්ඤාණයක් ඇද්ද, මේ ධර්මයන් එකට පවතී, වෙන්ව නොපවතී. මේ ධර්මයන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට නොහැකිය. ඇවැත්නි, යමක් ප්‍රඥාවෙන් දැනගනී ද (අවබෝධ කරයි ද) එය විශේෂයෙන් දැනගනී. යමක් විශේෂයෙන් දැනගනී ද එය ප්‍රඥාවෙන් දැනගනී (අවබෝධ කරයි).”
විඤ්ඤාණය හා ප්‍රඥාව කිසිඳු ලෙසකින් වෙන් කළ නොහැකි බව සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වා දී ඇත. යමෙකුට එතෙර වන ලෙසට වූ (ප්‍රඥාවෙන්) දැකීමෙන් තොරව දැනගැනීමක් බව වැටහිණි නම් එය ස්වකීයත්වය පිළිබඳ නුවණ නොවේ. ලෝකය තුළම ස්වකීයත්වයට ලැබෙන දැනගැනීමකි. එය අන්‍යශාස්තෘන් වහන්සේලාගේ ධර්මයට අනුගත වන ක්‍රියාවකි. තථාගත දහම තුළ සක්කාය (ස්වකීයත්වය) නිරෝධය, එතෙරවීම පෙන්වා දී ඇත. එලෙස පෙන්වා දිය හැක්කේ තථාගතයන් වහන්සේට පමණි. එම දහම අන්‍ය වු ශාස්තෘන් වහන්සේලාට කිසිඳු ලෙසකින් ගෝචර නොවේ. තථාගතයන් වහන්සේට පමණක් ගෝචර වන බැවින් ‘බුද්ධ’ නම් වේ. මේ පිළිබඳව බොහෝ කරුණු මුලින් ඉදිරිපත් කරන ලදී. තම තමන් ස්වකීයත්වයෙන් දැනගැනීම (විඤ්ඤාණය) තථාගත දහමට අනුව වැරදිබවත් එම නිසා තථාගත දහමට අනුවම විඤ්ඤාණය පිළිබඳව මනසිකාර කිරීමත්, සුතය නිරවුල් වීම තුළින් සිදු වේ.
“යෙ ච ඛො කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා එවං විඤ‍්ඤාණං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණසමුදයං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණනිරොධං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණනිරොධගාමිනිං පටිපදං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණස‍්ස අස‍්සාදං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණස‍්ස ආදීනවං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණස‍්ස නිස‍්සරණං අභිඤ‍්ඤාය විඤ‍්ඤාණස‍්ස නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත‍්තා, තෙ සුවිමුත‍්තා. යෙ සුවිමුත‍්තා, තෙ කෙවලිනො. යෙ කෙවලිනො වට‍්ටං තෙසං නත්‍ථි පඤ‍්ඤාපනාය.” (සත්තට්ඨාන සූත්‍රය, ස.නි. 3)
“මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මෙසේ විඤ්ඤාණ විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ විඤ්ඤාණ සමුදය විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ විඤ්ඤාණ නිරෝධය විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ විඤ්ඤාණ නිරෝධගාමිනී ප්‍රතිපදාව විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ විඤ්ඤාණයෙහි ආස්වාදය විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ විඤ්ඤාණයෙහි ආදීනව විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ විඤ්ඤාණයෙහි නිස්සරණය විශේෂයෙන් අවබෝධ කරගෙන, විඤ්ඤාණයට යථාර්ථ වශයෙන් කළකිරේ (ලැබීම් ලෙස නොයෙදේ). රාගය දුරුවේ. නිරෝධ වේ. උපාදාන රහිතව මිදේ. ඔහු මනාව මිදුනා වේ. යමෙක් මනාව මිදුනාහු ද ඔහු කේවලී (කිසිවක සම්බන්ධයක් නොවීමේ විග්‍රහය) වෙයි. යමෙක් කේවලී ද, ඔවුනට කරකැවීමක් (වට්ටයක්) පැනවෙන්නේ නැත.”
මෙසේ ‘දැනගැනීම’ ගැන තථාගතයන් වහන්සේ පෙන්වූ ආකාරයට විමසන විට ප්‍රඥාව ඇති වී සෝතාපන්න වේ. එය භාවිත කිරීම තුළින් සක්කාය නිරෝධ වී නිවීම සාක්ෂාත් කරයි.
“යං තථාභූතස‍්ස විඤ‍්ඤාණං, තං විඤ‍්ඤාණූපාදානක‍්ඛන්‍ධෙ සඞ‍්ගහං ගච‍්ඡති.” (මහාහත්ථිපදෝපම සූත්‍රය – ම.නි. 1)
“යම් එසේ වූ හටගැනීමේ දැනගැනීමක් වේ ද, එය විඤ්ඤාණඋපාදානස්කන්ධය වශයෙන් එක්වීමට යයි.”
දැනගැනීම් වශයෙන් තථාගතයන් වහන්සේ පෙන්වා වදාළේ කුමක් ද යන වග විමසන විට දී ‘දැනගැනීම’ නම් වූ සකස්වීම පිළිබඳ ඥානය ඇති වේ. එසේ සකස්වීම නම් වූ හටගැනීම ත්, එසේ සකස්වීම නම් වූ හටගැනීම දැකීමත්, පටිච්චසමුප්පාදය දැකීම බව, මහාහත්ථිපදෝපම සූත්‍රය තුළ මනාව පෙන්වා ඇත. එලෙසම සකස්වීම ‘සංඛත ලෙසට’ නුවණ ඇතිවන විට ‘දැනගැනීම’ උපාදාන වන යෙදීමත් (සාසවං උපාදානීයං) සමඟ වන පැවැත්ම විඤ්ඤාණඋපාදානක්ඛන්ධය වශයෙන් ද මේ දේශනාව තුළ මනාව පැහැදිලි කර ඇත. මේ ආකාරයට ‘දැනගැනීම’ පිළිබඳව තථාගත දහමට අනුව සත්‍යගවේෂී ප්‍රඥාවන්තයා මනසිකාර කිරීමට යොමුවේ.
~~~~~~~~~~~~~~~~~~~~~
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ