
පඤ්ච උපාදානස්කන්ධයෝ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව විශාල කරුණු ප්‍රමාණයක් පෙන්වා දුනි. එහි දී විස්තර වන රූප විග්‍රහය ඛජ්ජනීය සූත්‍රයට අනුව පැහැදිලි වන අතර වේදනාව පිළිබඳව ද එලෙසටම පැහැදිලි කර ගනිමු.
ඛජ්ජනීය සූත්‍රය තුළ දී වේදනාව ලෙස පෙන්වා දී ඇත්තේ ද ‘වෙදියති’ එනම් විඳින බව පෙන්වීමයි. එනම් ස්වකීයත්වය පිළිබඳව කරන විග්‍රහයක අඩංගු කරුණකි. එය ස්වකීයත්වයට (තමාට) ලැබීමක් නොවේ. එනමුදු ලෝකයේ සිටින කෙනෙකුට (පෘථග්ජනයෙකුට) එය ස්වකීයත්වයට (තමාට) ලැබෙන්නක් බව වැටහේ. එම නිසා ඒ ආකාර වූ විඳීම් ඉක්මවමින් විමුක්තියක් ලබන ප්‍රතිපදාවන් අන්‍යශාස්තෘවරු පෙන්වා වදාළ හ. නමුත් ස්වකීයත්වය ඉක්මවා නොයයි. මෙසේ ලෝකයාට (පෘථග්ජනයාට) වේදනාව ගැන වැටහෙන (එනම් ස්වකීයත්වයට වේදනාව වැටහෙන) ආකාරයත් තථාගත දහම තුළ සංඛත බව ඉස්මතු කරමින් පෙන්වන ස්වකීයත්වයෙහි විග්‍රහ වන වේදනාවත් අතර විශාල වෙනසක් තිබේ. එම නිසා ශ්‍රද්ධාවෙන්, ගැඹුරු දහම ඇසීමට යොමු වූ ප්‍රඥාවන්තයා, තථාගතයන් වහන්සේ පෙන්වූ වේදනාව කුමක් ද යන වග සෙවීමට, විමසීමට එම දහමට අනුවම පමණක් යොමු වේ. එවිට එම දහමට අනුව සෙවීමට මනසිකාර කරන විට දී ප්‍රඥාව ඇතිවී ස්වකීයත්වය ඉක්මවන ප්‍රතිපදාවට යොමු වේ.
“යෙ ච ඛො කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා එවං වෙදනං අභිඤ‍්ඤාය එවං වෙදනාසමුදයං අභිඤ‍්ඤාය, එවං වෙදනානිරොධං අභිඤ‍්ඤාය, එවං වෙදනානිරොධගාමිනිං පටිපදං අභිඤ‍්ඤාය. එවං වෙදනාය අස‍්සාදං අභිඤ‍්ඤාය, එවං වෙදනාය ආදීනවං අභිඤ‍්ඤාය, එවං වෙදනාය නිස‍්සරණං අභිඤ‍්ඤාය, වෙදනාය නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත‍්තා. තෙ සුවිමුත‍්තා. යෙ සුවිමුත‍්තා තෙ කෙවලිනො. යෙ කෙවලිනො වට‍්ටං තෙසං නත්‍ථි පඤ‍්ඤාපනාය.” (සත්තට්ඨාන සූත්‍රය, ස.නි. 3)
“මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මෙසේ වේදනාව විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ වේදනා සමුදය විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ වේදනා නිරෝධය විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ වේදනාවේ ආස්වාදය විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ වේදනාවේ ආදීනව විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ වේදනාවේ නිස්සරණය විශේෂයෙන් අවබෝධ කරගෙන, වේදනාවට යථාර්ථ වශයෙන් කළකිරේ (ලැබීම් ලෙස නොයෙදේ). රාගය දුරුවේ. නිරෝධ වේ. උපාදාන රහිතව මිදේ. ඔහු මනාව මිදුනා වේ. යමෙක් මනාව මිදුනාහු ද ඔහු කේවලී (කිසිවක සම්බන්ධයක් නොවීමේ විග්‍රහය) වෙයි. යමෙක් කේවලී ද, ඔවුනට කරකැවීමක් (වට්ටයක්) පැනවෙන්නේ නැත.”
මෙසේ විඳීම ගැන තථාගතයන් වහන්සේ පෙන්වූ ආකාරයට විමසන විට ප්‍රඥාව ඇති වී සෝතාපන්න වේ. එය භාවිත කිරීම තුළින් සක්කාය නිරෝධ වී නිවීම සාක්ෂාත් කරයි.
“යා තථාභූතස‍්ස වෙදනා, සා වෙදනූපාදානක‍්ඛන්‍ධෙ සඞ‍්ගහං ගච‍්ඡති.” (මහාහත්ථිපදෝපම සූත්‍රය – ම.නි. 1)
“යම් එසේ වූ හටගැනීමේ වේදනාවක් වේ ද, එය වේදනාඋපාදානස්කන්ධය වශයෙන් එක්වීමට යයි.”
“එවං කිරමෙසං පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං සඞ‍්ගහො සන‍්නිපාතො සමවායො හොති. වුත‍්තං ඛො පනෙතං භගවතා: ‘යො පටිච‍්චසමුප‍්පාදං පස‍්සති සො ධම‍්මං පස‍්සති. යො ධම‍්මං පස‍්සති සො පටිච‍්චසමුප‍්පාදං පස‍්සතී’ති. පටිච‍්චසමුප‍්පන‍්නා ඛො පනිමෙ යදිදං පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා.”
“මෙසේ වනාහි මේ පස් ආකාර වූ උපාදානස්කන්‍ධයන්ගේ එක්වීම, එක්රැස්වීම, එකට යෑම වෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදි: ‘යමෙක් පට්ච්චසමුප්පාදය දකියි ද, හෙතෙම ධර්‍මය දකියි. යමෙක් ධර්‍මය දකියි ද, හෙතෙම පට්ච්චසමුප්පාදය දකි’ යි කියා ය. මේ පඤ්ච උපාදානස්කන්‍ධ ප්‍රත්‍යයෙන් උපන්නාහු ය (පටිච්ච සමුප්පන්නය).”
විඳීම වශයෙන් තථාගතයන් වහන්සේ පෙන්වා වදාළේ කුමක් ද යන වග විමසන විට දී විඳීම නම් වූ සකස්වීම පිළිබඳ ඥානය ඇතිවේ. එසේ සකස්වීම නම් වූ හටගැනීමත්, එසේ සකස්වීම නම් වූ හටගැනීම දැකීමත්, පටිච්චසමුප්පාදය දැකීම බව මහාහත්ථිපදෝපම සුත්‍රය තුළ මනාව පෙන්වා ඇත. එලෙසම විඳීම ‘සංඛත ලෙසට’ නුවණ ඇතිවන විට විඳීම උපාදාන (සාසවං උපාදානීයං) වන යෙදීමත් සමඟ වන පැවැත්ම වේදනා උපාදානක්ඛන්ධය වශයෙන් ද මේ දේශනාව තුළ මනාව පැහැදිලි කර ඇත. මේ ආකාරයට වේදනාව පිළිබඳව තථාගත දහමට අනුව සත්‍යගවේෂී ප්‍රඥාවන්තයා මනසිකාර කිරීමට යොමුවේ.
ඛජ්ජනීය සූත්‍රය තුළ දී සඤ්ඤාව ලෙස පෙන්වා දී ඇත්තේ ද ‘සඤ‍්ජානාතී’ එනම්, හඳුනාගන්නා බව පෙන්වීමයි. එනම් ස්වකීයත්වය පිළිබඳව කරන විග්‍රහයක අඩංගු කරුණකි. එය ස්වකීයත්වයට (තමාට) ලැබීමක් නොවේ. එනමුදු ලෝකයේ සිටින කෙනෙකුට (පෘථග්ජනයෙකුට) එය ස්වකීයත්වයට (තමාට) ලැබෙන්නක් බව වැටහේ. එමනිසා ඒ ආකාර වූ හඳුනාගැනීම් ඉක්මවමින් විමුක්තියක් ලබන ප්‍රතිපදාවන් අන්‍යශාස්තෘවරු පෙන්වා වදාළ හ. නමුත්, ස්වකීයත්වය ඉක්මවා නොයයි. මෙසේ ලෝකයාට (පෘථග්ජනයාට) සඤ්ඤාව ගැන වැටහෙන (එනම් ස්වකීයත්වයට සඤ්ඤාව වැටහෙන) ආකාරයත් තථාගත දහම තුළ සංඛත බව ඉස්මතු කරමින් පෙන්වන ස්වකීයත්වයෙහි විග්‍රහ වන සඤ්ඤාවත් අතර විශාල වෙනසක් තිබේ. එමනිසා ශ්‍රද්ධාවෙන්, ගැඹුරු දහම ඇසීමට යොමු වූ ප්‍රඥාවන්තයා, තථාගතයන් වහන්සේ පෙන්වූ සඤ්ඤාව කුමක් ද යන වග සෙවීමට, විමසීමට එම දහමට අනුවම පමණක් යොමු වේ. එවිට එම දහමට අනුව සෙවීමට මනසිකාර කරන විට දී ප්‍රඥාව ඇති වී ස්වකීයත්වය ඉක්මවන ප්‍රතිපදාවට යොමු වේ. සඤ්ඤාව පිළිබඳ තථාගත දහමට අනුව විමසීමට පහසුවන ලෙස උදාහරණයක් පෙන්වා දී ඇත. එනම් පාට වර්ගයන් හඳුනාගන්නා බවයි. හඳුනාගැනීම නම් වූ ක්‍රියාව පෙන්වීමට එකරුණු උදාහරණ ලෙසට පමණක් පෙන්වා ඇත.
“යෙ ච ඛො කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා එවං සඤ‍්ඤා අභිඤ‍්ඤාය එවං සඤ‍්ඤාසමුදයං අභිඤ‍්ඤාය, එවං සඤ‍්ඤානිරොධං අභිඤ‍්ඤාය, එවං සඤ‍්ඤානිරොධගාමිනිං පටිපදං අභිඤ‍්ඤාය. එවං සඤ‍්ඤායඅස‍්සාදං අභිඤ‍්ඤාය, එවං සඤ‍්ඤාය ආදීනවං අභිඤ‍්ඤාය, එවං සඤ‍්ඤාය නිස‍්සරණං අභිඤ‍්ඤාය, සඤ‍්ඤාය නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත‍්තා. තෙ සුවිමුත‍්තා. යෙ සුවිමුත‍්තා තෙ කෙවලිනො. යෙ කෙවලිනො වට‍්ටං තෙසං නත්‍ථි පඤ‍්ඤාපනාය.” (සත්තට්ඨාන සූත්‍රය, ස.නි. 3)
“මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මෙසේ සඤ්ඤාව විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ සඤ්ඤා සමුදය විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ සඤ්ඤා නිරෝධය විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ සඤ්ඤා නිරෝධගාමිනී ප්‍රතිපදාව විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ සඤ්ඤාවේ ආස්වාදය විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ සඤ්ඤාවේ ආදීනව විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ සඤ්ඤාවේ නිස්සරණය විශේෂයෙන් අවබෝධ කරගෙන, සඤ්ඤාවට යථාර්ථ වශයෙන් කළකිරේ (ලැබීම් ලෙස නොයෙදේ). රාගය දුරුවේ. නිරෝධ වේ. උපාදාන රහිතව මිදේ. ඔහු මනාව මිදුනා වේ. යමෙක් මනාව මිදුනාහු ද ඔහු කේවලී (කිසිවක සම්බන්ධයක් නොවීමේ විග්‍රහය) වෙයි. යමෙක් කේවලී ද, ඔවුනට කරකැවීමක් (වට්ටයක්) පැනවෙන්නේ නැත.”
මෙසේ හැඳීනීම ගැන තථාගතයන් වහන්සේ පෙන්වූ ආකාරයට විමසන විට ප්‍රඥාව ඇති වී සෝතාපන්න වේ. එය භාවිත කිරීම තුළින් සක්කාය නිරෝධ වී නිවීම සාක්ෂාත් කරයි.
“යා තථාභූතස‍්ස සඤ‍්ඤා, සා සඤ‍්ඤූපාදානක‍්ඛන්‍ධෙ සඞ‍්ගහං ගච‍්ඡති” (මහාහත්ථිපදෝපම සුත්‍රය – ම.නි. 1)
“යම් එසේ වූ හටගැනීමේ සඤ්ඤාවක් වේ ද, එය සඤ්ඤාඋපාදානස්කන්ධය වශයෙන් එක්වීමට යයි.”
“එවං කිරමෙසං පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං සඞ‍්ගහො සන‍්නිපාතො සමවායො හොති. වුත‍්තං ඛො පනෙතං භගවතා: ‘යො පටිච‍්චසමුප‍්පාදං පස‍්සති සො ධම‍්මං පස‍්සති. යො ධම‍්මං පස‍්සති සො පටිච‍්චසමුප‍්පාදං පස‍්සතී’ති. පටිච‍්චසමුප‍්පන‍්නා ඛො පනිමෙ යදිදං පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා.”
“මෙසේ වනාහි මේ පස් ආකාර වූ උපාදානස්කන්‍ධයන්ගේ එක්වීම, එක්රැස්වීම, එකට යෑම වෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදි: ‘යමෙක් පට්ච්චසමුප්පාදය දකියි ද, හෙතෙම ධර්‍මය දකියි. යමෙක් ධර්‍මය දකියි ද, හෙතෙම පට්ච්චසමුප්පාදය දකි’ යි කියා ය. මේ පඤ්ච උපාදානස්කන්‍ධ ප්‍රත්‍යයෙන් උපන්නාහු ය (පටිච්ච සමුප්පන්නය).”
හැඳීනීම් වශයෙන් තථාගතයන් වහන්සේ පෙන්වා වදාළේ කුමක් ද යන වග විමසන විට දී ‘හැඳීනීම’ නම් වූ සකස්වීම පිළිබඳ ඥානය ඇතිවේ. එසේ සකස්වීම නම් වූ හටගැනීමත්, එසේ සකස්වීම හටගැනීම දැකීමත්, පටිච්චසමුප්පාදය දැකීම බව මහාහත්ථිපදෝපම සුත්‍රය තුළ මනාව පෙන්වා ඇත. එලෙසම හැඳීනීම ‘සංඛත ලෙසට’ නුවණ ඇතිවන විට හැඳීනීම උපාදාන (සාසවං උපාදානීයං) වන යෙදීමත් සමඟ වන පැවැත්ම සඤ්ඤා උපාදානක්ඛන්ධය වශයෙන් ද මේ දේශනාව තුළ මනාව පැහැදිලි කර ඇත. මේ ආකාරයට හැඳීනීම පිළිබඳව තථාගත දහමට අනුව සත්‍යගවේෂී ප්‍රඥාවන්තයා මනසිකාර කිරීමට යොමුවේ.
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ