
බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සක්කාය නම් වූ පඤ්චඋපාදානඛන්ධ පිළිබඳව විග්‍රහයක් ඛජ්ජනීය සූත්‍රයේ සඳහන් විය. එහි සඳහන් කරුණු පහ වෙන් වෙන්ව පැහැදිලි කරගනිමු. පළමුවෙන්ම රූපය පිළිබඳව විමසා බලමු.
රුප්පනය වෙනවා ‘රුප්පති’ යන ක්‍රියාවට රූපය ලෙස තථාගතයන් වහන්සේ අර්ථය ඉස්මතු කොට පෙන්වා දී ඇත. රුප්පනය වෙනවා යන ක්‍රියාවට සිංහල ව්‍යවහාරය තුළ ‘ඉද්දෙනවා’ (ඇදුම් කනවා) යන අරුත් ගත හැක. ලෝකයා, රූපය ලෙස වටහාගන්නේ ස්වකීයත්වයට (තමාට) දැනෙන ගතියට හා ස්වකීයත්වයට (තමාට) ගෝචර වන ගතියටයි. එබැවින් රූපය ඉක්මවූව ද ස්වකීයත්වය ඉක්මවා නොයයි. එනම් සක්කාය නිරෝධ වීම නම් වූ එතෙරවීම සිදු නොවේ. එවිට ස්වකීයත්වයට (තමාට) ගෝචර වන රූප ස්වභාවය ඉක්මවා ස්වකීයත්වයට (තමාට) සඤ්ඤා ස්වභාවය ගෝචර වේ. නමුත් ස්වකීයත්වය ඉක්මවා නොයයි.
මෙසේ ලෝකයාට (පෘථග්ජනයාට) රූපය ගැන වැටහෙන (එනම් ස්වකියත්වයට රූපය වැටහෙන) ආකාරයත් තථාගත දහම තුළ සංඛත බව ඉස්මතු කරමින් පෙන්වන ස්වකීයත්වයෙහි විග්‍රහ වන රූපයත් අතර විශාල වෙනසක් තිබේ. එමනිසා ශ්‍රද්ධාවෙන්, ගැඹුරු දහම ඇසීමට යොමු වූ ප්‍රඥාවන්තයා, තථාගතයන් වහන්සේ පෙන්වූ රූපය කුමක්ද යන වග සෙවීමට, විමසීමට එම දහමට අනුවම පමණක් යොමු වේ. එනම් යෝනිසෝ මනසිකාරය ඇති වේ. එසේ යෝනිසෝ මනසිකාරයෙන් ඇතිවූ ප්‍රඥාවේ භාවිතය තුළින් (තමාට නොහොත් ස්වකීයත්වයට ගෝචර වන රූප ස්වභාවය යන වැටහීමෙන් තොරව) ස්වකීයත්වය තුළ විග්‍රහ වන රූප ස්වභාවය ඉක්මවීමෙන් ලෝකයෙන් එතෙර වේ.
“යෙ ච ඛො කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා එවං රූපං අභිඤ‍්ඤාය, එවං රූපසමුදයං අභිඤ‍්ඤාය, එවං රූපනිරොධං අභිඤ‍්ඤාය, එවං රූපනිරොධගාමිනිං පටිපදං අභිඤ‍්ඤාය. එවං රූපස‍්ස අස‍්සාදං අභිඤ‍්ඤාය, එවං රූපස‍්ස ආදීනවං අභිඤ‍්ඤාය, එවං රූපස‍්ස නිස‍්සරණං අභිඤ‍්ඤාය රූපස‍්ස නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත‍්තා, තෙ සුවිමුත‍්තා. යෙ සුවිමුත‍්තා, තෙ කෙවලිනො. යෙ කෙවලිනො වට‍්ටං තෙසං නත්‍ථි පඤ‍්ඤාපනාය.” (සත්තට්ඨාන සූත්‍රය, ස.නි. 3)
“මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මෙසේ රූපය විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ රූප සමුදය විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ රූප නිරෝධය විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ රූපයේ ආස්වාදය විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ රූපයේ ආදීනව විශේෂයෙන් අවබෝධ කරගෙන, මෙසේ රූපයේ නිස්සරණය විශේෂයෙන් අවබෝධ කරගෙන, රූපයට යථාර්ථ වශයෙන් කළකිරේ (ලැබීම් ලෙස නොයෙදේ). රාගය දුරුවේ. නිරෝධ වේ. උපාදාන රහිතව මිදේ. ඔහු මනාව මිදුනා වේ. යමෙක් මනාව මිදුනාහු ද ඔහු කේවලී (කිසිවක සම්බන්ධයක් නොවීමේ විග්‍රහය) වෙයි. යමෙක් කේවලී ද, ඔවුනට කරකැවීමක් (වට්ටයක්) පැනවෙන්නේ නැත.”
රූපය ගැන පමණක් හොයන විට සක්කායෙන් එතෙර වන බව සත්තට්ඨාන සූත්‍රයෙන් පැහැදිලි වේ. එනම් රූපය පිළිබඳව තථාගතයන් වහන්සේ පෙන්වූ කරුණු අනුවම යෝනිසෝ මනසිකාර කරන විට ඇති වූ ප්‍රඥාවේ භාවිතයෙන් සක්කාය නිරෝධය සාක්ෂාත් වේ. එම ප්‍රඥාව උදාවීම, දර්ශනය ඇතිවීම නම් වූ සෝතාපන්න වීමයි.
රුප්පනයවීම, ‘රුප්පති’ නම් වු ක්‍රියාව තව දුරටත් පැහැදිලි කරගැනීම සඳහා සතර මහා භූත ඇසුරින් ද සොයා බලමු. එනම් ඒ ගති හතරෙන් එකක් හෝ ‘ප්‍රකට වීමේ’ ‘යෙදීම’ වූ ස්වකීයත්වයයි. (මෙහි පැහැදිලි වන්නේ ස්වකීයත්වයට ගෝචර වීම නොවේ.) එනම් රුප්පනය වීමයි (‘ඉද්දෙනවා’, ‘ඇදුම් කනවා’). මෙය පෙන්වීමට ඛජ්ජනීය සුත්‍රයේදී උදාහරණයක් ද පෙන්වා ඇත. එනම් ‘කුමකින් රුප්පනය වේද?’ සීතල, උණුසුම ඇතුළු තවත් කරුණු හේතුවෙන් බව පෙන්වා දී ඇත. සීතල, උණුසුම ආදියෙන් සිදුවන ‘ක්‍රියාවේ යෙදීම’ සතර මහා භූතවල එකක හෝ යෙදීමේ ක්‍රියාවම වේ. එලෙසට රූපය බව පැහැදිලි වේ. එමනිසා තථාගතයන් වහන්සේ එතෙර වන ප්‍රතිපදාවේ දකින ආකාරය වන ප්‍රඥාවේ භාවිතයට ‘ඉති රූපං’ (මෙසේ රූපයයි) ලෙස පෙන්වා ඇත. තථාගත දහම අසා ඒ අනුව විමසන විට ‘යමක්’ ‘දෙයක්’ ලෙස ලැබීමෙන් තොරව (‘මේ’, ‘ඉදං’ ලෙස පෙන්වීමකින් තොරව) ‘මෙසේ රූපය’ රුප්පනයවීම ලෙස ප්‍රඥාවේ දර්ශනය වේ. එලෙස දර්ශනය වන විට සමුදය ද -වය ද ‘මෙසේ රූපයේ හටගැනීම (ඉති රූපස්ස සමුදයො) ‘මෙසේ රූපයේ නැතිවීම’ (ඉති රූපස්ස අත්ථගමො) ලෙසින් දර්ශනය සිදුවීම සක්කාය නිරෝධය නම් වූ එතෙරවීමේ ප්‍රතිපදාව යි.
“කතමො චාවුසො, රූපුපාදානක‍්ඛන්‍ධො: චත‍්තාරි ච මහාභූතානි චතුන‍්නඤ‍්ච මහාභූතානං උපාදාය රූපං.” (මහාහත්ථිපදොපම සුත්‍රය – ම.නි. 1)
“ඇවැත්නි, කෙතෙකින් රූපඋපාදානස්කන්ධය වේද? සතර මහා භූත ද, සතර මහා භූත උපාදානයෙන් ද රූප වේ.”
රුප්පනය වීම ගැන මනසිකාර කිරිම සඳහා තව දුරටත් ධර්මය ශ්‍රවණය කරන විට ධාතු හතර ගැන ඉගෙන ගත යුතු වේ.
“කතමා චාවුසො පඨවීධාතු: පඨවීධාතු සියා අජ‍්ඣත‍්තිකා සියා බාහිරා. කතමා චාවුසො අජ‍්ඣත‍්තිකා පඨවීධාතු: යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං කක‍්ඛළං ඛරිගතං උපාදින‍්නං – පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ-” (මහාහත්ථිපදොපම සුත්‍රය – ම.නි. 1)
“ඇවැත්නි, පඨවි ධාතුව කවරක් වේද? පඨවි ධාතු ආධ්‍යාත්මික ද වේ. බාහිර ද වේ. ඇවැත්නි, ආධ්‍යාත්මික පඨවි ධාතු කවරක් වේද? යම් අධ්‍යාත්ම ද, තමාට අයත් ද, තද ද, ගොරෝසු ද, උපාදාන කරගැනීමෙන් වූ ද තද ගතිය වේ. -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ-”
වෙන් වෙන් වශයෙන් ධාතු සතර පිළිබඳව ධර්මයට අනුව විමසන විට දී තද, ගොරෝසුබව, ආදී ඒ ඒ ධාතුන්ට අදාළ වෙන් වෙන් ලක්ෂණබව, උපාදානයෙන් හටගන්නා ආකාරය අනුව විමසිය යුතු වේ. මේ ආකාරයට විමසන විට උපාදානය සෙවීමට තථාගත ධර්මයට තව දුරටත් යොමුවී විමසිය යුතු වේ. මේ අයුරින් විමසීමට පහසුව පිණිස, එම ගතීන් යෙදීම ලෙස උදාහරණයක් වශයෙන් (‘සෙය්‍යථිදං’ ලෙස) කෙස්, ලොම්, පිත, සෙම ආදිය ද පෙන්වා දී ඇත. මෙසේ විමසන විට දී ‘රුප්පනයවීම’ නම් වූ ක්‍රියාවේ ‘උපාදාන ලෙස’ (සාසවාං උපාදානීයං) යෙදීම ‘ස්වකීයත්වය’ බවත්, එය ඒ ලෙසටම ප්‍රඥාවෙන් යථාර්ථ වශයෙන් දකින විට ‘එය මම නොවේ’ (නෙසොහමස්මි) වශයෙන් දකිමින් ස්වකීයත්වයෙන් එතෙර වේ.
“යං තථාභූතස‍්ස රූපං, තං රූපුපාදානක‍්ඛන්‍ධෙ සඞ‍්ගහං ගච‍්ඡති.” (මහාහත්ථිපදෝපම සුත්‍රය – ම.නි. 1)
“යම් එසේ වූ හටගැනීමේ රූපයක් වේ ද, එය රූපඋපාදානස්කන්ධය වශයෙන් එක්වීමට යයි.”
“එවං කිරමෙසං පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං සඞ‍්ගහො සන‍්නිපාතො සමවායො හොති. වුත‍්තං ඛො පනෙතං භගවතා: ‘යො පටිච‍්චසමුප‍්පාදං පස‍්සති සො ධම‍්මං පස‍්සති. යො ධම‍්මං පස‍්සති සො පටිච‍්චසමුප‍්පාදං පස‍්සතී’ති. පටිච‍්චසමුප‍්පන‍්නා ඛො පනිමෙ යදිදං පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා.”
“මෙසේ වනාහි මේ පස් ආකාර වූ උපාදානස්කන්‍ධයන්ගේ එක්වීම, එක්රැස්වීම, එකට යෑම වෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදි: ‘යමෙක් පට්ච්චසමුප්පාදය දකියි ද, හෙතෙම ධර්‍මය දකියි. යමෙක් ධර්‍මය දකියි ද, හෙතෙම පට්ච්චසමුප්පාදය දකි’ යි කියා ය. මේ පඤ්ච උපාදානස්කන්‍ධ ප්‍රත්‍යයෙන් උපන්නාහු ය (පටිච්ච සමුප්පන්නය). ”
රූපය වශයෙන් තථාගතයන් වහන්සේ පෙන්වා වදාළේ කුමක් ද යන වග විමසන විට දී රුප්පනය වීම නම් වූ සකස්වීම පිළිබඳ ඥානය ඇතිවේ. එසේ සකස්වීම නම් වූ හටගැනීම ත්, එසේ සකස්වීම නම් වූ හටගැනීම දැකීමත්, පටිච්චසමුප්පාදය දැකීම බව මහාහත්ථිපදෝපම සුත්‍රය තුළ මනාව පෙන්වා ඇත. එලෙසම රූපය ‘සංඛත ලෙසට’ නුවණ ඇතිවන විට රුප්පනයවීම උපාදාන (සාසවාං උපාදානීයං) වන යෙදීමත් සමඟ වන පැවැත්ම රූපඋපාදානක්ඛන්ධය වශයෙන් ද මේ දේශනාව තුළ මනාව පැහැදිලි කර ඇත. මේ ආකාරයට රූපය පිළිබඳව තථාගත දහමට අනුව සත්‍යය ගවේෂී ප්‍රඥාවන්තයා මනසිකාර කිරීමට යොමුවේ.
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ