සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 36

බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම තුළ සක්කාය නිරෝධය පෙන්වා දී ඇත. සක්කාය නම් වූ ස්වකීයත්වය පිළිබඳ ව පැහැදිලි කිරීමේ දී අතීත, අනාගත, වර්තමාන වූ අධ්‍යාත්මික හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රනීත හෝ දුර හෝ ළඟ හෝ යෙදීමේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ආශ්‍රව උපාදාන ලෙස පැවැත්ම ම යනු උපාදානක්ඛන්ධ වේ. එනම් පැවැත්මක් තිබීම ම සක්කාය යෙදීම වේ. සක්කාය ලෙස පෙන්වන්නේ පඤ්ච උපාදානක්ඛන්ධයට වේ. පඤ්චස්කන්ධය ලෙස පෙන්වා දී නැත. මන්දයත්, පඤ්චස්කන්ධය ලෙස විස්තර කරන්නේ මූලික වූ ධර්ම න්‍යායක් සමග ප්‍රඥාවෙන් දැකීමට සඳහා යොමු කිරීමට ය. ඛන්ධ සූත්‍රය තුළ දී පඤ්චක්ඛන්ධ ධර්ම පරියායක් ලෙසට සහ පඤ්චඋපාදානඛන්ධය ධර්ම පරියායක් ලෙසට පැහැදිලි කර ඇත. සක්කාය, පඤ්චඋපාදානක්ඛන්ධය ලෙස වැටහීම ම නුවණ වේ. එය ප්‍රඥාවක දර්ශනයකි. සංකල්පයක් නොවේ. දුක්ඛෙ ඤාණය ලෙස ආර්ය සත්‍ය තුළදී පඤ්චඋපාදානක්ඛන්ධය පැහැදිලි කර ඇත. 

ඉදං ඛො පන භික‍්ඛවෙ, දුක‍්ඛං අරියසච‍්චං: “ජාතිපි දුක‍්ඛා, ජරාපි දුක‍්ඛා, ව්‍යාධිපි දුක‍්ඛො, මරණම‍්පි දුක‍්ඛං, අප‍්පියෙහි සම‍්පයොගො දුක‍්ඛො, පියෙහි විප‍්පයොගො දුක‍්ඛො, යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං, සඞ‍්ඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා” 

මහණෙනි, මේ වනාහි දුක්ඛ ආර්‍ය සත්‍යය යි. ජාතිය ද දුකකි. ජරාව ද දුකකි. ව්‍යාධිය ද දුකකි. මරණය ද දුකකි. අප්‍රියන් හා එකතුවීම ද දුකකි. ප්‍රියයන්ගෙන් වෙන්වීම ද දුකකි. කැමති දේ නොලැබීම ද දුකකි. හකුලුවා පඤ්චඋපාදානඛන්ධය දුකකි. (ධම්මචක්කප්පවත්තන සූත්‍රය, ස.නි. 5-2) 

සක්කාය නම් වු ස්වකීයත්වය ලෙසට කිසිදු ලෙසකින් පඤ්චක්ඛන්ධය යෙදිය නොහැක. එසේ සක්කාය ලෙස යෙදෙන්නේ නම් එය පැවැත්මකි. එය උපාදානයකි. එනම් පඤ්චඋපාදානක්ඛන්ධයකි. ‘ස්වකීයත්වය පඤ්චඋපාදානක්ඛන්ධය මිස ස්වකීයත්වයට පඤ්චඋපාදානක්ඛන්ධය බව සංකල්පයක් නොවේ.’ ස්වකීයත්වයට සංකල්පයක් ලෙස පඤ්චඋපාදානක්ඛන්ධය වැටිහිණි නම් පඤ්චඋපාදානක්ඛන්ධය ඉක්මවන විට ස්වකීයත්වය ඉතුරු වේ. එනම් ශාස්වත වූ ආත්ම වාදයක් ඇති වේ. අන්‍ය සියලු ප්‍රතිපදාවන් යෙදෙන්නේ ඒ ආකාරයට වේ. ස්වකීයත්වයට ලැබෙන පඤ්චඋපාදානක්ඛන්ධයන් ඉක්මවයි. එවිට ශාස්වත වූ ආත්ම වාදයක් ලැබේ. 

රූපී අත‍්තා හොති අරොගො පරම‍්මරණා අසඤ‍්ඤී’ති නං පඤ‍්ඤාපෙන‍්ති. ‘අරූපී අත‍්තා හොති -පෙ- රූපී ච අරූපී ච අත‍්තා හොති -පෙ-. නෙව රූපී නාරූපී අත‍්තා හොති -පෙ-” 

මහණෙනි, ඇතැම් අය “ආත්මය රූපවත් ය, මරණින් පසු නො බිඳෙන්නේ ය හෙවත් නිත්‍ය යැයි , අසංඥී යැ” යි පණවත්. ඇතැම් කෙනෙක් “ආත්මය අරූපී ය, මරණින් පසු නිත්‍ය ය, අසංඥී යැ” යි පණවත්. ඇතැම් කෙනෙක් “ආත්මය රූපවත් ද රූපරහිත ද වෙයි, මරණින් පසු නිත්‍ය ය, අසංඥී ය” යි පණවත්.” (බ්‍රහ්මජාල සූත්‍රය – දී.නි. 1) 

රූපී සමාධිය ඉක්මවන විට රූප සඤ්ඤාවත් ඉක්මවා ස්වකීයත්වයට සඤ්ඤා පමණක් ලැබේ. ස්වකීයත්වය පවතී. අසඤ්ඤය තුළදී සඤ්ඤාව ත් ඉක්මවා ස්වකීයත්වය පවතී. මේ ආකාරයට සිදුවන්නේ ම ස්වකීයත්වයට පඤ්චඋපාදානක්ඛන්ධය හමු වී එලෙස පඤ්චඋපාදානක්ඛන්ධය යැයි ගත් දෙය ඉක්මවන බැවිනි. එබැවින් ස්වකීයත්වය නම් වූ සක්කාය යනු පඤ්චඋපාදානක්ඛන්ධ යි. මෙකරුණ අනුව කිසිදු ලෙසකින් ස්වකීයත්වයට (තමන්ට),  තථාගතයන් වහන්සේ පෙන්වූ පඤ්චඋපාදානක්ඛන්ධය නම් ධර්ම ස්වභාවය වැටහෙන්නේ නැති බව හොඳින් ම පැහැදිලි වේ. පඤ්චඋපාදානක්ඛන්ධය ද ප්‍රඥාවට පමණක් ම වැටහිමකි. ප්‍රඥාව යනු එතෙරවන මාර්ගයේ දකින ආකාරය මිස ස්වකීයත්වයට අයිති දෙයක් නොවේ. පඤ්චඋපාදානක්ඛන්ධය ගැන ප්‍රඥාවෙන් වැටහීමට ද ධර්මය අසා යෝනිසෝමනසිකාරය ඇතිවිය යුතු වේ. එලෙසට ප්‍රඥාවෙන් පඤ්චඋපාදානක්ඛන්ධය දකින විට පැවැත්මක යෙදීම බව වේ. එනම් සංඛතයේ තුන්වන ලක්ෂණ ගතිය ප්‍රඥාවට වේ. එම කෝණය අනුව ලෝකය සකස්වන ආකාරය වන නුවණ ඇති වේ. මේ සියල්ල ම ප්‍රඥාවට ම අදාළ වේ.  

“න ඛො භික‍්ඛු, තඤ‍්ඤෙව උපාදානං තෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා න’පි අඤ‍්ඤත්‍ර පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙහි උපාදානං, අපි ච යො තත්‍ථ ඡන්‍දරාගො තං තත්‍ථ උපාදානන‍්ති.” 

“මහණ, එම උපාදාන ඒ පඤ්චෝපාදානස්කන්‍ධ ම නො වේ යි, උපාදානය පඤ්චෝපාදානස්කන්‍ධ වලින් වෙන්ව ද නො වෙයි. නමුත්, එහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් එය එහි උපාදාන යි.” (මහා පුණ්ණමා සූත්‍රය – ම.නි 3) 

පැවැත්ම සිදුවන ආකාරය වටහා ගැනීමට ඉහතින් පෙන්වූ මහාපුණ්ණමා සුත්‍රය බොහෝ උපකාර වේ. කිසිදු ලෙසකින් පැවැත්මක යෙදීම පඤ්චක්ඛන්ධ ලෙස නොයෙදෙන බව ත් පඤ්චඋපාදානක්ඛන්ධ වශයෙන් ම පමණක් යෙදෙන බව ප්‍රඥාවට වැටහේ. මේ පෙන්වූ කරුණු තුළින් ඛන්ධ හා උපාදානක්ඛන්ධ ගැන දේශනාව තුළ පැහැදිලි වන ආකාරය වටහා ගත හැකි වේ. එමෙන්ම උදය වය දැකීම සංඛත ලක්ෂණ ත් වටහා  ගත හැකි වේ. මෙසේ යෙදෙන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පහ කෙසේ අර්ථ ගැන්වේද යන බව පහත දේශනා අනුව වටහා ගනිමු. 

“රුප‍්පතීති ඛො භික‍්ඛවෙ, තස‍්මා රූපන‍්ති වුච‍්චති. කෙන රුප‍්පති: සීතෙන’පි රුප‍්පති, උණ‍්හෙන’පි රුප‍්පති, ජිඝච‍්ඡාය’පි රුප‍්පති, පිපාසාය’පි රුප‍්පති, ඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සෙන’පි රුප‍්පති.” 

“මහණෙනි, “රුප්පනය” වේ යැයි එයින් රුපයයි කියනු ලැබෙයි, කුමකින් රුප්පනය වේද යත්: සීතලෙන් රුප්පනය වේ, උණුසුමෙන් රුප්පනය වේ, බඩගින්නෙන් රුප්පනය වේ, පිපාසයෙන් රුප්පනය වේ, මැසි මදුරුවන්ගෙන් රුප්පනය වේ. වාතය, උණුසුම, සර්පයන්ගෙන් රුප්පනය වේ.” 

“වෙදියතීති ඛො භික‍්ඛවෙ, තස‍්මා වෙදනාති වුච‍්චති. කිඤ‍්ච වෙදියති සුඛම‍්පි වෙදියති, දුක‍්ඛම‍්පි වෙදියති, අදුක‍්ඛමසුඛම‍්පි වෙදියති.” 

“මහණෙනි ‘විදින්නේයැයි’ එයින් වේදනාව යැයි කියනු ලැබේ. කුමක් විඳී ද? සැප ද විඳී. දුක ද විඳී. අදුක්ඛමසුඛ ද විඳී” 

“සඤ‍්ජානාතීති ඛො භික‍්ඛවෙ, තස‍්මා සඤ‍්ඤාති වුච‍්චති. කිඤ‍්ච සඤ‍්ජානාති: නීලම‍්පි සඤ‍්ජානාති; පීතකම‍්පි සඤ‍්ජානාති; ලොහිතකම‍්පි සඤ‍්ජානාති; ඔදාතම‍්පි සඤ‍්ජානාති. ” 

“මහණෙනි, හඳුනාගන්නේ යැයි එයින් හඳුනාගැනීම යැයි කියනු ලැබේ. කුමක් හඳුනාගනී ද? නිල් ද හඳුනාගනී. කහ ද හඳුනාගනී. රතු ද හඳුනාගනී. සුදු ද හඳුනාගනී.” 

“සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්තීති භික‍්ඛවෙ, තස‍්මා සඞ‍්ඛාරාති වුච‍්චන‍්ති. කිඤ‍්ච සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති: රූපං රූපත‍්තාය සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති. වෙදනං වෙදනත‍්තාය සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති. සඤ‍්ඤං සඤ‍්ඤත‍්තාය සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති. සඞ‍්ඛාරෙ සඞ‍්ඛාරත‍්තාය සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති, විඤ‍්ඤාණං විඤ‍්ඤාණත‍්තාය සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති. ” 

“මහණෙනි, සංඛතය සකස්කරනවා යැයි එයින් සංඛාර යැයි කියනු ලැබේ. කුමන සංඛතයක් සකස්කරයි ද?  රූපය රූපය පිණිස සංඛතය සකස්කරයි. වේදනාව වේදනාව පිණිස සංඛතය සකස්කරයි. සංඥාව සංඥාව පිණිස සංඛතය සකස්කරයි. සංඛාරය සංඛාරය පිණිස සංඛතය සකස්කරයි. විඤ්ඤාණය විඤ්ඤාණය පිණිස සංඛතය සකස්කරයි. 

“විජානාතීති ඛො භික‍්ඛවෙ, තස‍්මා විඤ‍්ඤාණන‍්ති වුච‍්චති. කිඤ‍්ච විජානාති: අම‍්බිලම‍්පි විජානාති, තිත‍්තකම‍්පි විජානාති, කටුකම‍්පි විජානාති, මධුරකම‍්පි විජානාති, ඛාරිකම‍්පි විජානාති, අඛාරිකම‍්පි විජානාති, ලොණිකම‍්පි විජානාති, අලොණිකම‍්පි විජානාති.” 

“මහණෙනි, ‘විශේෂයෙන් දැනගන්නවා’ යැයි  එයින් විඥානය යයි කියනු ලැබෙයි. කවර කරුණක් දැනගනීද? ඇඹුල ද විශේෂයෙන් දැනගනී. තිත්ත ද විශේෂයෙන් දැනගනී. කටුක රස ද විශේෂයෙන් දැනගනී. මධුර රස ද විශේෂයෙන් දැනගනී. කර රස ද විශේෂයෙන් දැනගනී. කටුක නැති රස ද විශේෂයෙන් දැනගනී. ලුණු රස ද විශේෂයෙන් දැනගනී. ලුණු රස නැති බව ද විශේෂයෙන් දැනගනී.(ඛජ්ජනීය සුත්‍රය -ස.නි. 3) 

රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන කරුණු පහේ සරලම අර්ථය ඛජ්ජනීය සූත්‍රය අනුව හොඳින් පැහැදිලි වේ. එය තව දුරටත් ඉදිරියේදී විස්තර කර ගනිමු. 

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි 

රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය 

වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ