සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 35

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයෙහි ප්‍රඥාව ලෙස විග්‍රහ වන්නේ පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි උදය වය දැකීමයි. පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි ප්‍රඥාවෙන් උදයවය දැකීම විස්තර කරන සියලු තැන්හි ‘ඉති’ ලෙස පැහැදිලි කර ඇත. එය එතෙරවන ප්‍රතිපදාව වේ. එතෙරවන ප්‍රතිපදාවේ දී යමක් හෝ දෙයක් ලැබීම සිදු නොවේ. එය එතෙරවන මාර්ගයක් පමණි. එලෙසට මාර්ගයට යොමු වීමට නම් ප්‍රඥා ඇස ඇතිවිය යුතු වේ. එම ප්‍රඥා ඇස ඇතිවීමට බාහිරින් ඇසෙන ධර්මය යෝනිසෝ මනසිකාර කළ යුතු බව මහාවෙදල්ල ආදි සූත්‍ර තුළ පැහැදිලි කර ඇත. එම නිසා මෙම පඤ්ච උපාදානස්කන්ධයන් ඛන්ධ හා උපාදානක්ඛන්ධ ලෙසට පෙන්වා ඇති කරුණ විමසා බලමු.  

ඛන්ධ යනු අතීත අනාගත වර්තමාන වූ හීන, ප්‍රණීත, දුර, ළඟ, ගොරෝසු, සියුම්, අධ්‍යාත්මික, බාහිර යන යෙදීම්වල පැවැත්ම වේ. එනම් යම් සිදුවීමක විදහාපෑමකි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ආදිය අත්දැකීමේ යෙදිම නම් වූ පැවැත්ම සිදුවීම වේ. පැවැත්ම සිදුවීම ලෙසට තථාගත දර්ශනයේ විග්‍රහ වන්නේ ශාස්වත ලෙසට නොවේ. එසේ පැහැදිලි කරන්නේ අන්‍ය ශාසන  තුළයි.  

“යො මෙ අයං අත‍්තා වදො වෙදෙය්‍යො තත්‍ර තත්‍ර කල්‍යාණපාපකානං කම‍්මානං විපාකං පටිසංවෙදෙති, සො ඛො පන මෙ අයං අත‍්තා නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිණාමධම‍්මොසස‍්සතිසමං තථෙව ඨස‍්සතීති.” 

“මාගේ යම් මේ ආත්මය ඒ ඒ කල්‍යාණ පාපක වූ කර්මයන් විපාක විඳී වශයෙන් කියයි. මගේ ඒ මේ ආත්මය වනාහි නිත්‍ය ය, තහවුරු ය, ශාස්වතය, නො පෙරෙළන ස්වභාව ඇත්තේ ය. එකරුණු එසේම සිදුවන්නේය.” (සබ්බාසව සූත්‍රය – ම.නි. 1)  

ඉහත දේශනා අනුව පැහැදිලි වන්නේ ඒ සියල්ලම දෘෂ්ටි ලෙසටයි. එම දෘෂ්ටි ඉක්මවිම තථාගත දහමේ දර්ශනය වේ. ඒ බව පහත දේශනාවෙන් පැහැදිලි වේ. 

“උප‍්පාදො පඤ‍්ඤායති, වයො පඤ‍්ඤායති, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායති. ඉමානි ඛො භික‍්ඛවෙ තීණි සඞ‍්ඛතස‍්ස සඞ‍්ඛතලක‍්ඛණානීති.” 

“ඉපදීම පැනවේ, වැනසීම පැනවේ, පැවැත්මේ වෙනස්වීම පැනවේ. මහණෙනි, මේ තුන සංඛතයේ සංඛත ලක්ෂණයෝ ය.” (අ.නි. 1) 

සංඛතය පැහැදිලි කරන විට උප්පාද වය පෙන්වා තුන්වෙනි කරුණ ලෙස අවසානයට පැවැත්මේ වෙනස්වීම පෙන්වා දී ඇත. මෙකරුණ දෙවනුවට, එසේත් නැතිනම් මැදින් සිදුවන ක්‍රියාවක් නොවේ. සංඛත බව ඥානය ඇතිවන්නේද ප්‍රඥාවෙන් යුතු තථාගත ශ්‍රාවකයාට වේ. මෙය හුදු කල්පනාවක් නොවේ.  

“කථඤ‍්චානන්‍ද, අරියස‍්ස විනයෙ අනුත‍්තරා ඉන්‍ද්‍රියභාවනා හොති: ඉධානන්‍ද, භික‍්ඛුනො චක‍්ඛුනා රූපං දිස‍්වා උප‍්පජ‍්ජති මනාපං, උප‍්පජ‍්ජති අමනාපං, උප‍්පජ‍්ජති මනාපාමනාපං. සො එවං පජානාති: ‘උප‍්පන‍්නං ඛො මෙ ඉදං මනාපං, උප‍්පන‍්නං අමනාපං, උප‍්පන‍්නං මනාපාමනාපං. තඤ‍්ච ඛො සඞ‍්ඛතං ඔළාරිකං පටිච‍්චසමුප‍්පන‍්නං, එතං සන‍්තං එතං පණීතං යදිදං උපෙක‍්ඛා’ති.” 

“ආනන්‍දය, ආර්‍ය විනයයෙහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කුමක්ද? ආනන්ද, මෙහි භික්ෂුවකට ඇසින් රූප දැක මනාප උපදී, අමනාප උපදී, මනාප අමනාප උපදී. ඔහු මෙසේ ප්‍රඥාවෙන් දැනගනී : ‘මට මේ මනාප ය උපන්නේ ය, අමනාපය උපන්නේ ය, මනාප අමනාප ය උපන්නේ ය,  එය සඞ්ඛත ය, ගොරෝසු ය, පටිච්ච සමුප්පන්න ය. මෙය ශාන්ත ය, මෙය ප්‍රනීත ය, එනම් උපේක්ෂාව යි.” (ඉන්‍ද්‍රියභාවනා සූත්‍රය – ම.නි. 3) 

එතෙරවන මාර්ගය භාවිත වන සෑම තැනක ම මෙන් සමුදය වය දැකීමක් පමණක් විස්තර වේ. එහි පැවැත්මක දැකීමක් පැහැදිලි නොකරයි.  

“සමුදයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති. වයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති. සමුදයවයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති.” 

“කය කෙරෙහි හටගන්නා ස්වාභාවය ද දකිමින් (ප්‍රඥාවෙන්) වාසය කරයි, කය කෙරෙහි වැනසෙන ස්වාභාවය දකිමින් (ප්‍රඥාවෙන්) ද වාසය කරයි. කය කෙරෙහි හටගන්නා වැනසෙන ස්වාභාවය ද දකිමින් (ප්‍රඥාවෙන්) වාසය කරයි” (සතිපට්ඨාන සූත්‍රය – ම.නි. 1) 

නමුත්, සංඛතයේ ලක්ෂණ සියල්ල ම ප්‍රඥාවට හසු වන්නකි. එතෙරවන මාර්ග භාවිතයේ දී එම අවසාන ලක්ෂණය ගැන පැහැදිලි නොකරන්නේ කුමක් නිසා ද යන බව වටහා ගනිමු. එතෙරවන මාර්ග භාවිත වන විට පිහිටීමක් හෝ යම් අත්දැකීමක යෙදීමක් වන්නේ නම් එය එතෙරවන මාර්ගයක් නොවේ. පැවැත්මක් යන කියමන හා එතෙරවන මාර්ග භාවිතය යන කියමන් දෙකම එකට නොයෙදේ. එසේ යෙදෙන්නේ නම් එකරුණු හිස් ප්‍රලාපයක් පමණක් බවට පත්වේ. නිවීම සාක්ෂාත් නොවූ, මාර්ගය භාවිතයේ නොයෙදුණු අනාථපිණ්ඩික ආදී අය මෙන් ලෝකය තුළ ජීවත්වීමක් තිබේ. එම අය පෘතග්ජනව ලෝකය තුළ පිහිටමින් ජීවත් වන අය නොවේ. එම උතුමන්ගේ වෙනස්ම කෝණයක් ඇත. එනම් ඇත යන බව හා නැත යන බව වන දෘෂ්ටි ඉක්මවා ඇත. 

“ලොකසමුදයඤ‍්ච ඛො කච‍්චාන යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො යා ලොකෙ නත්‍ථිතා, සා න හොති. ලොකනිරොධං ඛො කච‍්චාන යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො යා ලොකෙ අත්‍ථිතා, සා න හොති.” 

“කච්චායන, ලෝකයේ හට ගැනීම යථාර්ථ වශයෙන්, මනා ප්‍රඥාවෙන් දකින විට ඒ ලෝකය නැත යන්න නොයෙදේ. කච්චායන, ලෝකයේ නිරෝධය යථාර්ථ වශයෙන්, මනා ප්‍රඥාවෙන් දකින විට ඒ ලෝකය ඇත යන්න නොයෙදේ.” (කච්චානගොත්ත සූත්‍රය ස.නි. 2) 

මෙසේ ‘ඇත’ සහ ‘නැත’ අන්ත ඉක්මවූ ආර්ය ශ්‍රවකයා ලෝකයේ පෘථජ්ජනයාගේ කෝණයෙන් තොරව ජීවත් වේ. 

“ඉධ භික‍්ඛවෙ අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො පඨවිං පඨවිතො සඤ‍්ජානාති. පඨවිං පඨවිතො සඤ‍්ඤත්‍වා පඨවිං මඤ‍්ඤති.” 

“මහණෙනි මෙහි ආර්‍යත්වය නොදකින, ආර්‍ය ධර්මයේ අදක්ෂ, ආර්‍ය ධර්මයේ නොහික්මෙන සත්පුරුෂත්වය නොදකින, සත්පුරුෂ ධර්මයේ අදක්ෂ, සත්පුරුෂ ධර්මයේ නොහික්මෙන අශ්‍රැතවත් පෘතග්ජනයා පඨවිය (තද ගතිය) පඨවිය වශයෙන් හඳුනාගනී. පඨවිය (තද ගතිය) පඨවිය වශයෙන් හඳුනාගෙන, පඨවිය යැයි හඟියි.” 

“යොපි සො භික‍්ඛවෙ භික‍්ඛු සෙඛො අප‍්පත‍්තමානසො අනුත‍්තරං යොගක‍්ඛෙමං පත්‍ථයමානො විහරති. සොපි පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ‍්ඤාය පඨවිං මාමඤ‍්ඤි.” 

“මහණෙනි, යම් සේඛ භික්ෂුවක් අනුත්තර වූ නිවන (ක්ෂේමත්වයේ යෙදීම) ප්‍රාර්ථනාවෙන් වාසය කරයි. ඔහු පඨවිය (තද ගතිය) පඨවිය වශයෙන් විශේෂයෙන් දැනගනී (ප්‍රඥාවෙන්). පඨවිය (තද ගතිය) පඨවිය වශයෙන් විශේෂයෙන් දැනගෙන (ප්‍රඥාවෙන්), පඨවී හැඟීම එපා ලෙස වේ (‘එපා’ යන විධානයක් ලෙස හැඟීම තුළ හික්මේ.)” (මූලපරියාය සූත්‍රය – ම.නි. 1) 

මූලපරියාය සූත්‍රය තුළින් මෙකරුණු හොඳින් ම පැහැදිලි වේ. උදය වය දකින විට සංඛතයේ උප්පාද හා වය පමණක් දකින අතර පැවැත්මක දැකීමක් නොයෙදේ. ආර්ය උත්තමයෙක් ලෝකයේ ජීවත්වන විට අනිත්‍ය, දුක්ඛ, අනත්ත සඤ්ඤාවෙන් යුතු ජීවිත පැවැත්මක් ඇත. කිසිදු ලෙසකින් නිත්‍ය, සැප, අත්ත යන සඤ්ඤාවෙන් යුතු වූ ජීවිත පැවැත්මක් නැත. ඒ බව බහුධාතුක ආදි බොහෝ දේශනා තුළ පැහැදිලි වේ. ඔවුන්ගේ සඤ්ඤාව ද සංඛත බවින් මිස ශාස්වත යන දැකීම (නිත්‍ය, සැප, ආත්ම) නොවේ. ආර්ය උතුමන් ජීවත් වන විට දී අතීත අනාගත ආදී ලෙසට රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ පැවැත්මක් සිදුවේ. එය යථාර්ථ වශයෙන් සමුදය වය දකින විට ‘මම’ නොයෙදෙන ලෙසට, සක්කාය නිරෝධය ප්‍රඥාවෙන් දකිමින් මාර්ග භාවිතය සිදුවේ. එසේ දැකීම සඳහා යෙදීමේ පැවැත්ම ම, සංඛතයේ තුන්වන ලක්ෂණය වන ‘ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායති’ වේ.   

මෙසේ පැවැත්මේ යෙදෙන ආකාරය ද සිතීමකින් තොරව ඤාණයකට හසුවන කෝණයකි. එම පැවැත්ම ‘යෙදීමේ’ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ පැවැත්ම වේ. එම යෙදීම ම යනු පැවැත්මකි. එනම් සක්කායකි. එතෙරවීමක් නොවේ. එනම් පඤ්චස්කන්ධය ලෙස පැහැදිලි වන්නේ රහතන්වහන්සේ ගැන නොවේ. මන්දයත් මෙය ද පැවැත්මේ දැකීමකි. රහතන් වහන්සේගේ පැවැත්මත් පඤ්ච උපාදානස්කන්ධ ලෙස විග්‍රහ වේ.  

“අරහතා’පි ඛො ආවුසො කොට‍්ඨිත, ඉමෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා අනිච‍්චතො දුක‍්ඛතො රොගතො ගණ‍්ඩතො සල‍්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ‍්ඤතො අනත‍්තතො යොනිසො මනසිකාතබ‍්බා.” 

“ඇවැත් කොට්ඨිතයිනි, රහතන් වහන්සේ ද මේ පඤ්ච උපාදානස්කන්ධයෝ අනිත්‍ය ලෙස, දුක් ලෙස, රෝග ලෙස, ගඩු ලෙස, උල් ලෙස, අඝ ලෙස, අබාධ ලෙස, අනුන්ගේ ලෙස, වෙනස්වන ලෙස, ශුන්‍ය ලෙස, අනාත්ම ලෙස යෝනිසෝ මනසිකාර කරයි.” (සීල සූත්‍රය – ස.නි. 3) 

මේ ආකාරයට උපාදාන කථා නොකර ඛන්ධ පමණක්, පරියායක් ලෙස පැහැදිලි කරන සෑම තැන ම මුලින් අනිත්‍ය, දුක්ඛ, අනත්ත ධර්ම පරියාය පැහැදිලි කර ඇත. එනම් දහම් නුවණ ඇතිවීම ත් සමග පවතින ආකාරය යථාර්ථ වශයෙන් ‘නෙතං මම’ ලෙස දැකීමට යෙදීම ඉස්මතු කර පෙන්වීමයි. නමුත් මාර්ගය භාවිත වීම නොවේ. මාර්ගය භාවිත වීම යථාර්ථය දැකීම වේ. 

පඤ්ච උපාදානක්ඛන්ධය පිළිබඳව ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරමු. 

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි 

රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය 

වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ