
බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය තුළින් සක්කාය නිරෝධය ඉස්මතු වේ. ‘සක්කාය’ යන වචනය මාගධී සමාජයේ ව්‍යවහාරිකත්වය ඉහතින් සාකච්ඡා කරන ලදී. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දුන් අර්ථය ද විමසා බලමු.
“සක‍්කායො සක‍්කායොති ආවුසො සාරිපුත‍්ත වුච‍්චති. කතමො නු ඛො ආවුසො සක‍්කායොති. පඤ‍්චිමෙ ආවුසො උපාදානක‍්ඛන්‍ධා සක‍්කායො වුත‍්තො භගවතා. සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො වෙදනුපාදානක‍්ඛන්‍ධො සඤ‍්ඤුපාදානක‍්ඛන්‍ධො සඞ‍්ඛාරූපාදානක‍්ඛන්‍ධො විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො.”
“ඇවැත් සාරිපුත්‍රයිනි, සක්කාය සක්කාය යැයි කියනු ලැබේ. ඇවැත්නි, සක්කාය යනු කවරේ දැ යි? ඇවැත්නි, මේ පඤ්ච උපාදානස්කන්‍ධයෝ සක්කාය යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. එනම්: රූප උපාදානස්කන්‍ධය, වේදනා උපාදානස්කන්‍ධය, සඤ්ඤා උපාදානස්කන්‍ධය, සඞ්ඛාර උපාදානස්කන්‍ධය, විඤ්ඤාණ උපාදානස්කන්‍ධය යි.” (සක්කාය සූත්‍රය – ස.නි. 4)
සක්කාය යනු පඤ්ච උපාදානස්කන්ධය බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේය. එබැවින් පඤ්ච උපාදානස්කන්ධය පිළිබඳව මුලින් ම සොයා බලමු. පඤ්ච උපාදානස්කන්ධය යනු ස්වකීයත්වය බවට වූ තථාගත නිර්වචනයයි. මෙය වෙන කිසිම කෙනෙක් පෙන්වා දි නැත. රූප, වේදනා, සංඥා, සඞ්ඛාර, විඤ්ඤාණ ගැන කථා කළ ද සක්කාය ගැන කථා කළ ද සක්කාය යනු පඤ්ච උපාදානස්කන්ධ බව අන්‍ය ශාස්තෘන්වහන්සේලාට නොවැටහිණි. එබැවින් සියලු ම ශ්‍රාවකයන් ද සක්කායට පඤ්ච උපාදානස්කන්ධ විග්‍රහ කරන විට ‘භාග්‍යවතුන් වහන්සේ වදාළා යැයි’ ලෙසට ම පෙන්වා ඇත.
මෙම පඤ්ච උපාදානස්කන්ධයන් වටහා ගැනීමට පෙර ‘ඛන්ධ’ ‘උපාදානක්ඛන්ධ’ යන වචන වල අර්ථයන් තථාගත වචනයට අනුව වටහා ගනිමු.
“යං කිඤ‍්චි භික‍්ඛු, රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, අයං රූපක‍්ඛන්‍ධො. -පෙ- වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං -පෙ-.”
“මහණ, අතීත, අනාගත, ප්‍රත්‍යුප්පන්න වූ අධ්‍යාත්ම හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රනීත හෝ දුර හෝ ළඟ හෝ යම් කිසි රූපයක් වේද, මෙය රූපස්කන්ධය වේ. -පෙ- වේදනා, -පෙ- සංඥා -පෙ- සඞ්ඛාර -පෙ- විඤ්ඤාණ -පෙ-. (මහාපුණ්ණමා සූත්‍රය – ම.නි. 3)
“කතමෙ ච භික‍්ඛවෙ, පඤ‍්චක‍්ඛන්‍ධා: යං කිඤ‍්චි භික‍්ඛවෙ, රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන‍්තිකෙ වා, අයං වුච‍්චති රූපක‍්ඛන්‍ධො. -පෙ- වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං -පෙ-.”
“මහණෙනි, පඤ්චස්කන්‍ධය කවරේ ද යත්: මහණෙනි, අතීත – අනාගත – ප්‍රත්‍යුප්පන්න වූ, වූ අධ්‍යාත්ම හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රනීත හෝ දුර හෝ ළඟ හෝ යම් කිසි රූපයක් වේද, මෙය රූපස්කන්ධය වේ. -පෙ- වේදනා, -පෙ- සංඥා -පෙ- සඞ්ඛාර -පෙ- විඤ්ඤාණ -පෙ-.”
“කතමෙ ච භික‍්ඛවෙ, පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා: යං කිඤ‍්චි භික‍්ඛවෙ, රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන‍්තිකෙ වා, සාසවං උපාදානීයං, අයං වුච‍්චති රූපුපාදානක‍්ඛන්‍ධො. -පෙ- වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං -පෙ-.”
“මහණෙනි, පඤ්චෝපාදානස්කන්‍ධයෝ කවරේ ද යත්: මහණ, අතීත, අනාගත, ප්‍රත්‍යුප්පන්න වූ අධ්‍යාත්ම හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රනීත හෝ දුර හෝ ළඟ හෝ ආස්‍රව සහිත වූ, උපාදාන වූ යම් කිසි රූපයක් වේද, මෙය රූප උපාදානස්කන්ධය වේ. -පෙ- වේදනා, -පෙ- සංඥා -පෙ- සඞ්ඛාර -පෙ- විඤ්ඤාණ -පෙ-.” (ඛන්ධ සූත්‍රය – ස.නි. 3)
මේ ආකාරයට ඛන්ධ හා උපාදානක්ඛන්ධ ලෙස දේශනාව තුළ තථාගතයන් වහන්සේ පෙන්වා දි ඇත. මෙම වචන ව්‍යවහාර කරමින් පෙන්වූ අර්ථය වටහා ගැනීම සඳහා බොහෝ දේශනා උපයෝගි කර ගත යුතු වේ.
“ඉති රූපං ඉති රූපස‍්ස සමුදයො ඉති රූපස‍්ස අත්‍ථංගමො, ඉති වෙදනා -පෙ- ඉති සඤ‍්ඤා -පෙ- ඉති සඞ‍්ඛාරා -පෙ- ඉති විඤ‍්ඤාණං ඉති විඤ‍්ඤාණස‍්ස සමුදයො ඉති විඤ‍්ඤාණස‍්ස අත්‍ථංගමොති”. එවං ඛො භික‍්ඛවෙ ජානතො එවං පස‍්සතො ආසවානං ඛයො හොති.”
“රූපය මෙසේය. රූපයේ හටගැන්ම මෙසේ ය. රූපයේ නිරෝධය මෙසේ ය. වේදනා ව මෙසේය. … සංඥාව මෙසේය. … සංස්කාර ය මෙසේය. … විඤ්ඤාණය මෙසේය. විඤ්ඤාණයේ හටගැන්ම මෙසේ ය. විඤ්ඤාණයේ නිරෝධය මෙසේ ය”යි මහණෙනි මෙ සේ දන්නහුට (ප්‍රඥාවෙන්) මෙසේ දක්නහුට (ප්‍රඥාවෙන්) ආස්‍රවක්‍ෂය වේ.” (උපනිස සූත්‍රය – ස.නි. 2)
මෙම දේශනාව තුළ පෙන්වා ඇති ‘ඉති’ යන යෙදුම භාවිත වූයේ මන්ද යන වග විස්තර කර බලමු.
‘අයං, ඉදං , ඉමං, ඉමේසං’ යන්නෙන් පෙන්වා දෙන්නේ ‘මේ’, ‘මෙහි’ යන අරුතයි. එලෙසට තථාගත දේශනාව තුළ දක්නට ඇත. මේ ආකාරයට පෙන්වා දෙන්නේ යම් විග්‍රහයක් දී, එම විග්‍රහයට සීමා කිරීමටයි. නැතිනම් එම විග්‍රහයම ඉස්මතු කිරීමටයි. එය ප්‍රායෝගිකත්වයක දැකීමක් (ප්‍රඥාවෙන් දැකීමක්) නොවේ. අදාළ විග්‍රහය ඉස්මතු කිරීමයි.
‘ඉදං දුක්ඛං අරියසච්චං, අයං දුක්ඛ සමුදයං…..’ ලෙසට පෙන්වමින් එම විස්තරය පෙන්වා දී ඇත. එම විස්තරය ඉස්මතු කොට පෙන්වීමට ‘අයං, ඉදං’ ලෙස පෙන්වා ඇත.
‘අයං රූපස්ස අස්සාදෝ’ ලෙසත් පෙන්වන්නේ එම ආශ්වාදය කුමක්ද කියා විග්‍රහ කිරීමට යි. අයං රූපස්ස ආදීනවෝ, අයං රූපස්ස නිස්සරණං ලෙස ත් එම විග්‍රහයන් ඉස්මතු කිරීමට ‘අයං, ඉදං’ ලෙස පෙන්වා දී ඇත. යම් පරියායක ව්‍යඤ්ජන නිවැරදිව ගනිමින් ඉගෙන ගන්නේ නැති නම්, සත්‍ය දැකීමට යොමු නොවේ. එබැවින් එම පරියාය ඒ විදියට ම පෙන්වීමට ‘අයං, ඉදං’ ලෙස පෙන්වා දී ඇත.
‘ඉති’ ලෙස පෙන්වා දෙන්නේ ‘මෙසේ ‘ යන්න පැහැදිලි කිරීමට යි. එවිට අවස්ථාවක් හෝ යමක් පෙන්වීම ඉක්මවා සිදුවීමක් (නොපිහිටීමක්, නොයෙදීමක්) පෙන්වා දී ඇත. එයින් ‘යමක්’ ඉස්මතු නොවේ. සත්‍ය දැකීම (ප්‍රඥාවෙන් දැකීමක්) පමණක් ම පැහැදිලි වේ.
එය ‘ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්ථංගමෝ’ ආදී ලෙස දක්වා ඇත.
‘මෙසේ රූපය යි’, ‘මෙසේ රූපයේ හට ගැනීම යි’. ‘මෙසේ රූපයේ නැතිවීම යි’ යන්නයි. නමුත් ‘මේ රූපය’ ලෙස විග්‍රහ කළොත් අර්ථය සම්පූර්ණයෙන් ම වැරදියි.
උදා:- මෙසේ කරන්න, මෙසේ යන්න, මෙසේ ඉන්න යනු අවස්ථාවක් පෙන්වීම නොවෙයි. ක්‍රියාවක් පෙන්වීමයි. ‘මෙසේ’ රුප්පනය (රූපය), ‘මෙසේ’ විඳීම (වේදනාව), ‘මෙසේ’ හඳුනාගැනීම (සංඥාව), ‘මෙසේ’ සකස් වීම (සඞ්ඛාරය), ‘මෙසේ’ දැන ගැනීම (විඤ්ඤාණය) ලෙසයි.
‘මේ’ යන්න, ‘මේ’ කරන්න ආදී ලෙස නො යෙදේ. ‘මේ’ පුටුව, ‘මේ’ පෑන, ‘මේ’ පොත ලෙසට යමක් පෙන්වීම ඉස්මතු වේ. ‘මේ’ විස්තරය, ‘මේ’ පරියාය, ‘මේ’ ව්‍යඤ්ජනය ලෙස පැහැදිලි වේ.
‘මෙසේ පරියාය’ ඉගෙන ගන්න, ‘මෙසේ පරියාය’ දැනගන්න. එවිට ඉගෙන ගැනීමට, දැනගැනීමට ‘මෙසේ ‘ ඇතුළත් වේ. ‘මේ’ පරියාය ඉගෙන ගන්න, ‘මේ’ පරියාය දැනගන්න කියූ විට ‘මේ’ යන්න පරියායට ඇතුළත් වේ. රූප, වේදනා ආදියෙහි විස්තරයට ‘මේ’ යන්න පෙන්විය හැකිමුත් රූප, වේදනා ආදියට ‘මේ’ යන්න පෙන්විය නොහැක. එයට ‘මෙසේ ‘ ලෙස පමණක් යෙදේ.
‘මේ පාට’ හඳුනාගන්නවා.
‘මෙසේ පාට’ හඳුනාගන්නවා.
‘මේ’ ලෙස යෙදූ විට එය පාටට ඇතුළත් වේ. ‘මෙසේ’ යන්න යෙදූ විට එය හඳුනාගැනීමට ඇතුළත් වේ. පංච උපාදානස්කන්ධ උදය-වය දැකීම විග්‍රහ කරන්නේම ‘මෙසේ’ යන්නයි. එවිට ‘මේ’ යන අවස්ථාව ඉක්මවයි.
එමෙන්ම සතිපට්ඨාන සූත්‍රය තුළත් ‘ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායේ කායානුපස්සී විහරති.’ ලෙස විග්‍රහ වේ. එතැනත් ‘මේ’ ලෙස පෙන්වා දී නැත. ‘අයං, ඉදං , ඉමේසං’ ලෙස නොමැත. ‘මේ’ අධ්‍යාත්මය හෝ බාහිර ලෙස ගත් විට යමක් පෙන්වා ඇත. එවිට ‘මේ’ ලෙස ගත් දෙය සෙවීම පැහැදිලි වේ. නමුත් ‘මෙසේ ‘ යන්න යෙදූ විට එය ක්‍රියාවට අදාළ වේ.
‘මේ’ අධ්‍යාත්මයේ කයෙහි කය අනුව දකී.
‘මෙසේ’ අධ්‍යාත්මයේ කයෙහි කය අනුව දකියි.
‘මේ’ යෙදූ විට අධ්‍යාත්මයට ලං වී යමක් පෙන්වයි. ‘මෙසේ’ යෙදූ විට කයෙහි කය අනුව ‘දැකීමට’ ළං වේ. එවිට ‘යමක්’ ඉස්මතු නොවේ. එම දකින ක්‍රියාව ම ඉස්මතු කරයි. එවිට මාර්ගය ම ඉදිරිපත් වේ. මාර්ගය යනු ගමන් කිරීමයි.
උදා:- ගෙදර වාසය කරමි.
මාර්ගයේ ගමන් කරමි.
මාර්ගය යනු ගමන් කිරීමට වේ. ගෙදර යනු වාසය කිරීමයි. මාර්ගය ලෙස ඉස්මතු වූ විට ගමන් කිරීම ම ප්‍රකට විය යුතුයි. මාර්ගයේ වාසය නොකරයි. එබැවින් සතිපට්ඨාන සූත්‍රය තුළ මාර්ගය ම ප්‍රකට කර ඇත. එහි කිසිම විටක ‘යමක්’ පෙන්වමින් එහි සිටීම හෝ එයින් ඉවත්වීම පෙන්වූයේ නැත. තථාගතයන් වහන්සේ මාර්ගය ම පෙන්වූහ.
“ඉති ඉමස්මිං සති ඉදං හෝති, ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති.
ඉමස්මිං අසති ඉදං න හෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති.”
ආර්ය න්‍යාය පෙන්වන විටත් ‘ඉති’ ‘මෙසේ’ ලෙස පෙන්වා එහි අර්ථය හැටියට ‘ඉමස්මිං සති’ ලෙස පැහැදිලි කර ඇත.
‘මෙසේ’ ‘මෙය’ ඇති කල්හි ‘මෙය’ වේ,
‘මෙය’ උපදින කල්හි ‘මෙය’ උපදී,
‘මෙය’ නැති කල්හි ‘මෙය’ නොවේ,
‘මෙය’ නූපන් කල්හි ‘මෙය’ නූපදී.
“තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුභාවෝ හෝති” යනුවෙන්ද පැහැදිලි වන්නේ එයින් හටගැනීම යන්නයි. මෙහිදී සම්පූර්ණයෙන් ‘මේ’ යන්න නොයෙදෙන බව ප්‍රකට කර ඇත.
මේ පැහැදිලි කිරීම් අනුව ‘මෙසේ’ යන්න යෙදී ඇති කරුණු තුළ ඇති වැදගත්කම හොඳින් ප්‍රකට වේ. මේ ආකාරයට ඛන්ධ හා උපාදානක්ඛන්ධ අතර වෙනසක් විමසා බලමු.
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ