
බුදුරජාණන් වහන්සේ පෙන්වන කාරණාවේ මූලික ම කාරණය වන්නේ සක්කාය දිට්ඨිය දැනගෙන ප්‍රහාණය කිරීමයි. ‘සක්කාය දිට්ඨිය’ යනු අතීත සමාජය තුළ භාවිත කළ වචන දෙකකි. ලෝකයා අර්ථාන්විතව ව්‍යවහාර කළ වචන භාවිත කරමින් එතෙරවන ප්‍රතිපදාව ඉස්මතු වීමට අවශ්‍ය යෝනිසෝමනසිකාරය ඉපැද්දවීම සඳහා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළහ. තථාගතයන් වහන්සේ ලෝකයාට අලුතින් වචන හඳුන්වා නොදුන් සේක. සමාජයට ව්‍යවහාර කිරීම සඳහා අලුත් භාෂාවක් ඉගැන්වූයේ ද නැත. එබැවින් මේ සියලු ම වචන වල සමාජීය භාෂාමය අර්ථය මුලින් ම වටහාගත යුතු වේ. ලෝකයේ ජීවත්වන මිනිසුන්ට යමක් සන්නිවේදනය කිරීම සඳහා ඒ ඒ අය ව්‍යවහාර කරන භාෂාව ව භාවිත කළ යුතු බව අරණ විභංග සූත්‍රය තුළ පෙන්වා දී ඇත. එලෙසට සිදු නොවන්නේ නම් බුදුවරු පහළ වී ලෝකයාට අලුතින් භාෂාවක්ද හඳුන්වා දිය යුතු වේ. එසේ කටයුතු කළ ද, එයට ද ඔවුන්ගේ හඳුනාගන්නා ගැනීමෙන් යුතුව ඒ භාෂාව ව්‍යවහාරික ලෝකයක් ලෙස අනුගත විය යුතු ම වේ. මන්දයත්, සඤ්ඤාවේ විපාකයක් ලෙසටයි ව්‍යවහාරය සිදු වන්නේ.
“වොහාර වෙපක‍්කාහං භික‍්ඛවෙ සඤ‍්ඤං වදාමි. යථා යථා නං සඤ‍්ජානාති, තථා තථා වොහරති එවං සඤ‍්ඤී අහොසින‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ සඤ‍්ඤානං විපාකො.”
“මහණෙනි, මම ව්‍යවහාරය සංඥාවේ විපාක ලෙස වදාරමි. යම් යම් ආකාරයෙන් හඳුනාගන්නේ ද, ඒ ඒ ආකාරයෙන් ව්‍යවහාර කෙරෙයි. මෙසේ සංඥා ඇත්තෙක් වීමි. මහණෙනි, මේ සංඥාවේ විපාක යයි කියනු ලැබේ.” (නිබ්බේධික සූත්‍රය – අ.නි. 4)
ඒ ඒ ලෝකයා ව්‍යවහාර කරන භාෂාව හා අර්ථය අනුව බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළ විට මුලින් ම එය හොඳින් අසාගෙන සිටීමේ හැකියාවක් සතිමත් සමාජයක සිටි මිනිසුන් සතු විය. එලෙස අසාගෙන සිටි කරුණු ඒ ඒ පෙන්වූ ආකාරය අනුව මුලින් ම වටහාගැනීමට යොමු වේ. එය ‘ශ්‍රැතය’ ලෙස බුදුරජාණන් වහන්සේ වදාළහ. දිට්ඨියා සුප්පටිවිද්ධා දක්වා එය නිරවුල් විය යුතු වේ. ඒ බව මුලින් විස්තර සහිතව පෙන්වා දුනි. මෙසේ බුදුරජාණන් වහන්සේ පෙන්වූ කරුණු දිට්ඨියා සුප්පටිවිද්ධා වූ විට තම තමන්ගේ අත්දැකීම් ලෝකයට අගෝචර සත්‍යයක් බව මනාව වැටහේ. ඒ නිසාම එම ධර්මය අනුව ම කල්පනා කිරීම වන යෝනිසෝ මනසිකාරය ඇති වේ. නිවැරදිව ධර්මය ඉගෙන ගන්නා විට දී ද තම තමන්ගේ අත්දැකීම් ලෝකය ට අගෝචර වූ සත්‍යක් බව පසක් වේ. එම ධර්මය අනුව කල්පනා කිරීමට යොමු වන විට දී තම තමන්ගේ අත්දැකීම් ලෝකයෙන් ඉවත් වන ලෙස ප්‍රතිපදාවකට (සම්මත්ත නියාමය) යොමුවේ..
“යො භික‍්ඛවෙ, ඉමෙ ධම‍්මෙ එවං සද‍්දහති අධිමුච‍්චති, අයං වුච‍්චති සද‍්ධානුසාරී ඔක‍්කන‍්තො සම‍්මත‍්තනියාමං සප‍්පුරිසභූමිං ඔක‍්කන‍්තො වීතිවත‍්තො පුථුජ‍්ජනභූමිං…”
“මහණෙනි, යමෙක් මේ ධර්මයන් කෙරෙහි මෙසේ ශ්‍රද්ධාවෙන් බැසගනී ද, මේ ශ්‍රද්ධානුසාරී යැයි කියනු ලැබේ. සම්මත්ත නියාමයට බැසගන්නා ලදී. සත්පුරුෂ භූමියට බැස ගන්නා ලදී, පෘථග්ජන භූමිය ඉක්ම වූයේ ය…” (චක්ඛු සූත්‍රය – ස.නි. 3)
“සො වත භික‍්ඛවෙ භික‍්ඛු සබ‍්බසඞ‍්ඛාරං අනිච‍්චතො සමනුපස‍්සන‍්තො අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො භවිස‍්සතී’ති ඨානමෙතං විජ‍්ජති. අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො සම‍්මත‍්තනියාමං ඔක‍්කමිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.”
“මහණෙනි, භික්ෂුවක් ඒකාන්තයෙන් ම සියලු සංස්කාරන් අනිත්‍ය වශයෙන් සම්මර්ශනය කරයි ද, ඔහු අනුලෝම ඛන්තියෙන් යුක්ත වේ යයි යන කරුණ විද්‍යාමාන වේ. අනුලෝම ඛන්තියෙන් යුක්තවන විට සම්මත්ත නියාමයට බැසගන්නේය යන කරුණ විද්‍යාමාන වේ.” (අනිච්චසූත්‍රය – අ.නි. 6)
මේ ආකාර වූ සම්මත්ත නියාමයකට බැස ගැනීමට ප්‍රථම පෙන්වූ ධර්මය කෙරෙහි දිට්ඨියා සුප්පටිවිද්ධා ලෙස නිරවුල් විය යුතු වේ. එසේ නිරවුල් වීමට නම් හොඳින් ඒ පෙන්වූ දහම ශ්‍රවණය කළ යුතු වේ. අද අපි එම ව්‍යවහාරික සමාජයේ ජිවත් නොවන නිසා එම ධර්මය ඇසීමට මත්තෙන් එම සමාජය ඒ ඒ වචන වලට ව්‍යවහාර කළ අර්ථය සෙවීම අත්‍යවශ්‍යම වේ. එබැවින් සක්කාය හා දිට්ඨිය යන වචන දෙක එකල සමාජය ව්‍යවහාර කළ අර්ථය සොයා බලමු.
“න භික‍්ඛවෙ බුද‍්ධවචනං ඡන්‍දසො ආරොපෙතබ‍්බං. යො ආරොපෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ සකාය නිරුත‍්තියා බුද‍්ධවචනං පරියාපුණිතුන‍්ති”
“මහණෙනි, බුද්ධ වචනය ඡන්දසට නො නැඟිය යුතුය. යමෙක් නඟන්නේ නම් ඔහුට දුකුළා ඇවැතකි. මහණෙනි, ස්වකීය නිරුක්තියෙන් බුද්ධවචනය ඉගෙන ගැනීමට අනුදනිමි”. (චුල‍්ලවග‍්ගපාළි – විනය පි.)
සකාය යනුවෙන් අදහස් වන්නේ ‘ස්වකීය’ යන අර්ථයයි. මේ සඳහා ‘තමන්ගේ’ කියන වචන අර්ථය නොගැලපේ. මන්දයත් තමන් ඇති බව හා එයට අයිති බව ඉස්මතු වේ. එනමුදු ‘ස්වකීය’ කියන විට එසේ තමන් හා තමන්ට අයිති බව විස්තර නොවේ. ‘තමන්’ යන කාරණාව පාලි භාෂාවේ ‘අත්ත’ ලෙස පැහැදිලි වේ. ‘සකාය’ යන කරුණට ‘අත්ත’ යෙදීම වැරදි බව තථාගත දහම පැහැදිලි කරන විට තමන් ඉස්මතු වේ. එකල සමාජය තුළ භාවිත කළ භාෂා ව්‍යවහාරයන්හි භාෂාමය අර්ථය මුලින්ම සොයමු.
“යදා දෙවො දෙවකායා චවති ආයුසඞ‍්ඛයා,
තයො සද‍්දා නිච‍්ඡරන‍්ති දෙවානං අනුමොදතං:”
“දෙවියෙක් තම ආයුෂ ගෙවී යෑමෙන් යම් කලෙක දේවත්‍වයෙන් චුත වේ ද, දෙවියන්ගේ අනුමෝදනාවක් ලෙස ශබ්දයෝ තිදෙනෙක් නික්මෙති:”(පුබ‍්බනිමිත‍්ත සූත්‍රය – ඛු.නි.)
ඉහතින් පෙන්වු අර්ථයන් අනුව ‘කාය’ වචනය ‘තත්වය’ ඉස්මතු කිරීමට පෙන්වා ඇති බව පැහැදිලි වේ. මෙය ත් එකල සමාජය ව්‍යවහාර කළ අර්ථයකි. එබැවින් ‘සක්කාය’ යන වචනයට ඒ සමාජය තුළ වූ අර්ථාන්විත ව්‍යවහාරය වන්නේ ‘ස්වකීය තත්වය’ හෙවත් ‘ස්වකීයත්වයයි’. ‘තමා’ හෝ ‘තමාගේ’ යන අර්ථය මේ සඳහා නොයෙදේ. එයට ‘අත්ත’ ‘අත්තනො’ ලෙස පාලි භාෂාවේ පැහැදිලි වේ. ‘කාය’ යන වචනය ‘කය (ශරීරය)’ ලෙස හැඳින්වූයේ නම් අරූප ආදි සමාධි තුළ ‘සක්කාය’ නිරුද්ධ විය යුතුය. එනම් අරහත් විය යුතුයි. එබැවින් ‘කාය’ යන්නට ‘කය’ ලෙස යෙදිය නොහැක. ‘කාය’ යන්නට ‘සමූහය’ හෙවත් ‘ගොඩක්’ ලෙස යෙදවූයේ නම් වෙන් වෙන් වූ දේවල් ඇති බව ගම්‍ය වේ. එම වෙන් වෙන් වූ දේවල් ‘සක්කාය නිරෝධයේ දී’ ප්‍රහාණය වන බවට යොමුවන විට ඇති දේවල් නැතිවන බවට ඉස්මතු වීමක් වේ. එසේ සැලකුවහොත් තථාගත දහම ශාස්වතයෙන් උච්ඡේදයට යන බව ඉස්මතු වේ. එම නිසා ‘කාය’ යන්නට ‘සමූහය’ යන්න ද දහමට නොගැලපේ. එබැවින් සක්කාය යන වචනයට ‘ස්වකීයත්වය’ ලෙසට අපගේ භාෂාවෙන් ව්‍යවහාර කළ හැක. එම සමාජය තුළ සක්කාය යන වචනයට ‘ස්වකීයත්වය’ ලෙසට ව්‍යවහාර කර ඇත.
‘දිට්ඨි’ යන වචනය එම සමාජය තුළ ‘දැකීම’ වශයෙන් ව්‍යවහාර කර ඇත. මෙය ඇස මුල්කර ගෙන ද කථා කළ හැක. ‘ඇසට දැකීම’ සිදුවේ. නමුත් ‘ඇසට දැකීම’ බව නොලැබේ. එමෙන්ම අපට ද ‘දැකීම’ බව නොලැබේ. අපට ‘පෙනෙන බව’ ලැබේ. අප ‘පෙනෙන බව’ තුළ ජීවත් වේ. ඇසට දැකීම ඇතිවේ. එම දැකීම නිසා අප පෙනීම තුළ ජීවත් වේ. නමුත් ‘ඇසට’ ‘දකින බව’ නොලැබේ…
සමනුපස්සති හා පජානාති පැහැදිලි කළ කරුණු තුළින්ද මේ බව යම් පමණකට වටහා ගත හැකිවේ.
මේ ආකාරයටම ඇසේ දැකීම සිදුවන්නාක් ලෙසට ම ජීවිතයේ දැකීම පිළිබඳව විමසා බලමු. ඇසේ දැකීම සිදුවීම ම ‘ඇසේ දැකීම’ ඇසට දැකීමක් ලැබීම නොවේ. එය දැකීමක ජීවත් වීමයි. එලෙසටම සක්කාය දිට්ඨියේ දී පෙන්වන ‘දිට්ඨිය’ ඇස තුළින් නොව ජීවිතය තුළින් සිදුවන්නකි. නමුත් එම ‘දැකීම’ අපට නොලැබේ. දැකීම නිසා ඒ අනුව වූ ජීවිත පැවැත්මක් සිදුවේ. එම දැකීම ම ප්‍රඥාව තුළින් දැනීම හෙවත් ‘පජානාති’ වේ. එවිට එතෙරවන ප්‍රතිපදාව ප්‍රායෝගිකව සිදුවේ. එය ඉදිරියේදී සාකච්ඡා කරමු. ‘සක්කාය දිට්ඨිය’ ලෙස එකල සමාජයේ ව්‍යවහාර කළ අර්ථය වනුයේ ‘ස්වකීයත්ව දැක්ම’ වේ. ස්වකීයත්ව දැක්ම නම් වූ සක්කාය දිට්ඨිය වටහා ගැනීමට ප්‍රථමයෙන් තථාගතයන් වහන්සේ මෙම ව්‍යවහාරික වචන වලට පෙන්වූ අර්ථය සෙවිය යුතුයි. එබැවින් මුලින්ම ‘සක්කාය’ නම් ස්වකීයත්වයට තථාගතයන් වහන්සේ පෙන්වූ අර්ථය ඉදිරියේ දී විමසා බලමු.