
බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වය අවබෝධකොට අසාමාන්‍ය හැකියාවක් ද සහිතව සිටින විට දී අසාමාන්‍ය හැකියාවකින් යුතු අය සිටිත් දී ත් ධර්ම දේශනා කිරීමට මන්දෝත්සාහි වූ සේක. එය එසේ සිදුවන්නේ ම එම අවබෝධ කරගත් ධර්මය ලෝකයේ ව්‍යවහාරික වචනවලට පෙරළීමට අපහසුකම ත්, ලෝකයේ සිටින අයට එය තේරුම් ගැනීමට අපහසු කමත් නිසා ය.
“කිච‍්ඡෙන මෙ අධිගතං හලන්‍දානි පකාසිතුං,
රාගදොසපරෙතෙහි නායං ධම‍්මො සුසම‍්බුධො.
පටිසොතගාමිං නිපුණං ගම‍්භීරං දුද‍්දසං අණුං,
රාගරත‍්තා න දක‍්ඛින‍්ති තමොක‍්ඛන්‍ධෙන ආවුතාති.
ඉති භගවතො පටිසඤ‍්චික‍්ඛතො අප‍්පොස‍්සුක‍්කතාය චිත‍්තං නමති නො ධම‍්මදෙසනාය.”
“මා විසින් දුක සේ අවබෝධ කරන ලද ධර්‍මය දැන් පැවසීම නිෂ්ඵල ය. රාග ද්වේෂයෙන් මැඬුණු අය විසින් මේ දහම සුවසේ අවබෝධ නොකළ හැක.
රාගයෙන් රත් වූ මොහ අඳුරෙන් වැසුණු සත්‍වයෝ ප්‍රතිවිරුද්ධ දිශාවට ගලාගෙන යන, සියුම්, ගැඹුරු, දුක සේ දතයුතු ඉතා සියුම් මේ දහම නොදකිති.
මෙසේ කල්පනාකරන භාග්‍යවතුන් වහන්සේගේ සිත මන්‍දෝත්සාහී විය. දහම් දෙසීමට නොනැමෙන ලදී.”
මෙසේ සිතුන භාග්‍යවතුන් වහන්සේ සහම්පතී බ්‍රහ්ම රජයාගේ ආරාධනයෙන් ලෝකය දෙස බලන ලදී. එවිට දහම් දෙසීම සඳහා අදහස ඇතිවිය.
“අපාරුතා තෙසං අමතස‍්ස ද‍්වාරා යෙ සොතවන‍්තො පමුඤ‍්චන‍්තු සද‍්ධං,
විහිංසසඤ‍්ඤී පගුණං න භාසිං ධම‍්මං පණීතං මනුජෙසු බ්‍රහ‍්මෙති.”
“ඔවුන්ට අමාදොර නොවැසින. යම් කෙනෙක් කන් ඇත්තාහු නම් ශ්‍රද්ධාව මුදහරිත්වා. බ්‍රහ්මය, මිනිසුන් කෙරෙහි දහම් දෙසීම වෙහෙසක් පමණක් යයි සිතා ප්‍රණීත වූ ධර්‍මය නොදෙසන ලද්දේ ය .” (ආයාචන සූත්‍රය – ස. නි. 1)
ලෝකයේ නුවණැති මිනිසුන් සිටින බව බුදු ඇසින්, මහා කරුණාවෙන් දුටු විට අමෘතද්වාරය විවෘත කළ සේක. එසේ දේශනා කිරීම සඳහා අසනු කැමති අය ශ්‍රද්ධාව මුදා හරිත්වා යැයි, ඉහත උදානය පහළ කළ සේක. මෙම විස්තර මාලාව පුරාවට ම ශ්‍රද්ධාවේ වැදගත්කමත්, කළ්‍යාණ මිතුරාට යොමුවීමේ වැදගත්කම ත් පෙන්වූයේ ද ශ්‍රද්ධාවේ ඇති මූලික ම අවශ්‍යතාව නිසා ම ය. එසේ ශ්‍රද්ධාව පිහිටුවාගෙන, එනම් එම වචනයන් හොඳින් විශ්වාස කරමින් ඇහුම්කන් දිය යුතු වේ. එසේ ශ්‍රද්ධාව ඇති වූ අයගේ චරිතය තුළ ප්‍රකට වන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ම එම ධර්මය දිට්ඨියා සුප්පටිවිද්ධා දක්වා මනා ලෙස ඉගෙන ගැනීමයි. නිවීම දක්වා ම වූ ශ්‍රද්ධාවේ ලක්ෂණයන් සුභූති සූත්‍රය තුළ හොඳින් ඉස්මතු කොට ඇත.
“ඉධ සුභූති භික‍්ඛු සීලවා හොති, පාතිමොක‍්ඛ සංවරසංවුතො විහරති ආචාරගොචරසම‍්පන‍්නො අනුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. යම‍්පි සුභූති භික‍්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු, ඉදම‍්පි සුභූති සද‍්ධස‍්ස සද‍්ධාපදානං හොති.
පුන චපරං සුභූති භික‍්ඛු බහුස‍්සුතො හොති සුතධරො සුතසන‍්නීචයො. -පෙ-
පුන චපරං සුභූති, භික‍්ඛු කල්‍යාණමිත‍්තො හොති කල්‍යාණසහායො කල්‍යාණසම‍්පවඞ‍්කො -පෙ-
පුන චපරං සුභූති, භික‍්ඛු සුවචො හොති සොවචස‍්ස කරණෙහි ධම‍්මෙහි සමන‍්නාගතො, ඛමො පදක‍්ඛිණග‍්ගාහී අනුසාසනිං -පෙ-
පුන චපරං සුභූති, භික‍්ඛු යානි තානි සබ්‍රහ‍්මචාරීනං උච‍්චාවචානි, කිඞ‍්කරණීයානි තත්‍ථ දක‍්ඛො හොති අනලසො තත්‍රූපායාය වීමංසාය සමන‍්නාගතො අලං කාතුං අලං සංවිධාතුං -පෙ-
පුන චපරං සුභූති, භික‍්ඛු ධම‍්මකාමො හොති පියසමුදාහාරො අභිධම‍්මෙ අභිවිනයෙ උළාරපාමොජ‍්ජො
පුන චපරං සුභූති භික‍්ඛු ආරද‍්ධවිරියො විහරති -පෙ-
පුන චපරං සුභූති භික‍්ඛු චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං -පෙ-
පුන චපරං සුභූති, භික‍්ඛු අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති -පෙ-
“සුභූතියෙනි, මෙහි භික්ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වූයේ ද ආචාරගෝචර සම්පන්න වූයේ ද ලෙසට වාසය කරයි. අණුමාත්‍ර වරදෙහි ද බිය දකිනා සුලු ව වෙයි. ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මෙයි. සුභූතියෙනි, යම්හෙයකින් භික්ෂුව සිල්වත් වේ ද, සමාදන්ව ශික්ෂාපදයන්හි හික්මෙයි ද, සුභූතියෙනි, ශ්‍රද්ධාවන්තයින්ගේ මේ ශ්‍රද්ධා පදානය යි.
නැවත ද, සුභූතියෙනි, භික්ෂුව බහුශ්‍රැත වෙයි, ඇසූ ධර්මය දරාගනී, ඇසූ ධර්මය රැස්කරයි. -පෙ-
නැවත ද, සුභූතියෙනි, භික්ෂුව කල්‍යාණ මිත්‍රත්වය යුතුවේ. කල්‍යාණ යහලුත්ව ය යුතුවේ. කල්‍යාණ මිත්‍රයාට නැමුනේ වෙයි. -පෙ-
නැවත ද, සුභූතියෙනි, භික්ෂුව කීකරු වෙයි. කීකරු කරන ධර්මයන්ගෙන් යුක්ත වෙයි. අනුශාසනාව පැදකුණු කොට ඉවසයි. -පෙ-
නැවත ද, සුභූතියෙනි, භික්ෂුව යම් වූ සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ කුදුමහත් කටයුතු වේද, එම කටයුතු පිළිබඳව කිරීමෙහි දක්ෂ වේ. කම්මැලි වේ. උපායශීලී වීමංසශීලී වේ. සංවිධාන කිරීම සහ කළයුත්ත සිදුකරයි. -පෙ-
නැවත ද, සුභූතියෙනි, භික්ෂුව ධර්මයට කැමති වෙයි. ප්‍රියබව ඇති වෙයි. අභිධර්මයෙහි, අභිවිනයෙහි පුළුල් ප්‍රමුදිත භාවයක් ඇතිවේ. -පෙ-
නැවත ද, සුභූතියෙනි, භික්ෂුව ඇරඹූ වීර්‍යයෙන් යුතුව වාසය කරයි. -පෙ-
නැවත ද, සුභූතියෙනි, භික්ෂුව ධ්‍යාන සතර පහසුවෙන් ලබයි -පෙ-
නැවත ද, සුභූතියෙනි, භික්ෂුව නොයෙක් වූ පෙර වාසය කිරීම් පිළිබඳව සිහිකරයි -පෙ- ” (සුභූති සූත්‍රය – අ.නි. 6)
මෙහි ඇති කරුණු යමෙක් තුළ ප්‍රකට වන්නේ නම් ඔහු ශ්‍රද්ධාවන්තයෙකි. එම නිසා සුතය ගැන වූ ලක්ෂණය තුළ ඇති වැදගත්කමත් බොහෝ සෙයින් මේ තුළින් ඉදිරිපත් කරන ලදී. එම ශ්‍රද්ධාව නම් වූ ලක්ෂණයට ජීවයක් ලබා දෙමින් තථාගත දහමේ මූලික කරුණේ සිට එතෙරවීම දක්වා ම මනාව ඉගෙන ගනිමු.
ලෝකයේ කිසිවෙකුට වටහාගත නොහැකි වූ සැබෑම ප්‍රශ්නය අවබෝධ කරගනු ලැබුවේ බුදුරජාණන් වහන්සේ විසින් ම ය. ඒ බව දේවතාවා විසින් අසන ලද ප්‍රශ්නය තුළින් හොඳින් ම ඉස්මතු වේ. ජරා මරණ උරුම කරගෙන ඉන්න දෙවිමිනිස් ප්‍රජාවට ඇති ප්‍රධානම ප්‍රශ්නය සක්කාය දිට්ඨිය වේ. තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළවන තුරා ම එය කිසිවෙකුට වටහාගත නොහැකි විය. එමනිසා තථාගතයන් වහන්සේලාට පමණක්ම ආවේණික ධර්මය ඉගෙන ගැනීමට විශාල කැමැත්තක්, අවධානයක්, වීරියක්, තිබිය යුතු වෙනවා. ජරා මරණ දුකින් නිදහස් වීමට කාමරාගය දුරුකිරීමේ ප්‍රතිපදාවන්, තථාගත දහම ලෙසට කොපමණ අනුගමනය කළ ද, ශ්‍රද්ධාව කිසිසේත් ඉස්මතු නොවේ. මන්දයත්, කාමරාගය දුරුකිරීම අන්‍ය විමුක්තිකාමීන් ද සිදුකළ නිසා මෙන්ම ඒ සඳහා ප්‍රතිපදාවන් ද පෙන්වා දී ඇති බැවිනි.
බුදුරජාණන් වහන්සේ, ලෝකයේ සිටින නුවණැති මිනිසුන්ට ජීවිතයේ ඇති සැබෑ ම ප්‍රශ්නය පෙන්වා දී එයින් නිදහස් වන මඟද පෙන්වා වදාළ සේක. සැබෑ ම ප්‍රශ්නය නිවැරදිව වටහා නොගෙන කොපමණ ප්‍රතිපදාවන් අනුගමනය කළ ද එයින් එතරවන මාර්ගයක් ඉස්මතු නොවේ. ධ්‍යාන සමාපත්ති ආදිය ද දියුණු කළ යුත්තේ තථාගතයන් වහන්සේ පෙන්වූ ආකාරයට ම ය. අන්‍ය අය පෙන්වූ ආකාරයට ධ්‍යාන සමාපත්ති දියුණු කළ ද ශ්‍රද්ධාවන්ත බව ඇති නොවේ. මේ සඳහා මුලින් ම තථාගත දහම ශ්‍රවනය කළ යුතු වේ. සුභූති සූත්‍රයේ පෙන්වා දෙන්නේ තථාගතයන් වහන්සේට පමණක් ආවේණික දහම අසා ශ්‍රද්ධාව ඇතිවූ භික්ෂූන්ට ය.
එබැවින් මුලින් ම කළ යුුතු වන්නේ තථාගතයන්ට පමණක් ආවේණික දහම ඉගෙන ගැනීම ම යි. ඒ සඳහා මේ දක්වා විස්තර කළ සියළු ම කරුණු ඉතාම වැදගත් වේ. එය හොඳින් වටහාගෙන තථාගතයන් වහන්සේ පෙන්වා දෙන ජීවිතයේ සැබෑ ම ප්‍රශ්නය වන සක්කාය දිට්ඨිය ගැන ඉගෙන ගැනීමට යොමු වෙමු.
තථාගතයන් වහන්සේ පෙන්වූ ආකාරයට සක්කාය දිට්ඨිය පිළිබඳව ඉදිරියේ දී පැහැදිලි කරගනිමු.
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ