සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 31

යෝනිසෝ මනසිකාරය යන අර්ථය මේ ආකාරයට පැහැදිලි කරනු ලැබුවේ එහි ඇති වැදගත්කම නිසා ය. යමෙකුට යෝනිසෝමනසිකාරය ඉපදුනේ නම් ඔහු අනිවාර්යෙන් ම සම්මාදිට්ඨියට පත්වේ. ඇසූ ධර්මය නිවැරදිව දිට්ඨියා සුප්පටිවිද්ධා දක්වා නිරවුල් වූ විට ම අර්ථ උපපරීක්ෂණයත් ඇතිවේ. එනම් දහමට අනුව විමසීමක් වන යෝනිසෝමනසිකාරය ඇතිවේ. එය සිදුවන්නේ ම ශ්‍රද්ධාව අනුව ම ය. එනම් සද්ධානුසාරී වේ. මේ ආකාරයට සිදුවන්නේ ම ධර්මය සම්පූර්ණයෙන් නිවැරදි බව හා තම තමන්ගේ අත්දැකීම් ලෝකය සම්පූර්ණයෙන් නිස්සාර බැවිනි. එලෙස ධර්මයට ඉවසීමේ කෘත්‍යයත් සිදුවේ. එම ඉවසීම ධර්මයට අනුලෝමව සිදුවන්නකි. ධර්මයේ නිෂ්ඨාවට ඉවසීමත්, ධර්මයට අනුලෝම ඉවසීම ත් සිදුවේ. එනම් අනුලෝම ඛන්තිය, ධම්මනිජ්ඣානඛන්තිය වේ. ධම්මනිජ්ඣානඛන්තිය පිළිබඳව කීටාගිරි සූත්‍රය, චඞ්කි සූත්‍ර තුළ පැහැදිලි කර ඇත. අංගුත්තර නිකාය 4 පොත්වහන්සේ තුළ, අනිච්ච, දුක්ඛ, අනත්ත, නිබ්බානසුඛ සූත්‍රයන්හි අනුලෝම ඛන්තිය ගැන කරුණක් ඇත. එනම් යෙදීම අනිච්ච, දුක්ඛ, අනත්ත, නිබ්බානසුඛ (සක්කාය නිරෝධ) බව නම්, එය ධර්මයට අනුව ඉවසීම වේ. එනම් ස්වකීයත්වය ඉක්මවන ප්‍රතිපදාවට අනුගත විම වේ. මෙලෙස සිදුවන විට සෝතාපන්න, සකදාගාමී, අනාගාමී, අරහත් වේ. මේ ඉවසීම වචනය තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා ලෝකයේ උදාහරණයක් විමසා බලමු. .   

“කවුරු හෝ අභූතයෙන් බණින බව සිතන්න. තමන්ගේ කයට ලොකු වේදනාවක් දැනෙන බවත් සිතන්න. මේ උදාහරණ දෙක තුළින් ඉවසීම සිදුවන ආකාරය ත්, ඉවසීමේ කෘත්‍යය ත් ගැන විමසා බලමු. කවුරු හෝ තමන්ට බණින විට තමන්ගේ අත්දැකීම් ජීවිතයට සම්පූර්ණයෙන් විරුද්ධ දෙයක් සිදුවේ. ඉවසීම සිදු නොවන්නේ නම් ඔහුට පෙරලා බැනීම හෝ තම සිත තුළ ගැටීම ඇතිවේ. නමුත් ඉවසිම සිදුවන විට එයට ප්‍රතිචාරයක් නොදක්වයි. ඇතුළතින් හෝ බාහිරෙන් ප්‍රතිචාර නොදක්වයි. තමාගේ ලෝකයට සම්පූර්ණ පටහැනිව දෙයක් ‘බැනීම’ තුළින් සිදු වූ අතර එය ඉක්මවා යාම සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වයි. එවිට සැබෑවටම ඉවසීමේ කෘත්‍ය සිදුවේ..  

තම කයට දුක් වේදනාවක් දැනෙන විට දී ද එසේම ඉවසීම සිදුවේ. තම අත්දැකීම් ලෝකයට අකමැති වේදනාවක් දැනේ. නමුත් සිත තුළ එයට ගැටීමක් ඇතිවීම හෝ බාහිරින් එය වෙනස් කිරීමට ප්‍රතිචාර නොදැක්වීම තුළින් ඉවසීමේ කෘත්‍ය තාත්විකව ම සිදුවේ. මේ ආකාරයට ඉවසීමේ කෘත්‍ය නිවැරදිව ම සිදුවීමට කරුණු 2ක් අදාළ වේ.”  

  1. තමන්ගේ යෙදීමට (බැනුම් ඇසීමට අකැමැති කම, දුක් වේදනාවට අකැමැතිකම) සම්පූර්ණ විරුද්ධ දෙයක් සිදුවීම.  
  1. එසේ සිදුවන කාරණාව ඉක්මවා යාම සඳහා ප්‍රතිචාර නොදක්වා සිටිම.  

මේ ආකාරයට ම තථාගත ගම්භීර ධර්මය අසන විට ද සිදුවේ. එනම් තමන්ගේ ස්වකීයත්ව ලෝකයට ගෝචර නොවන සත්‍යක් හමුවේ. එලෙසට එය සත්‍යක් වන්නේ දිට්ඨියා සුප්පටිවිද්ධා ලෙසට සුතය නිවැරදි ලෙස නිරවුල් වීම ඇතිවූ බැවිනි. එමෙන්ම එම සත්‍ය ධර්මය අභිභවනය නොකරයි. එනම් එය ඉක්මවා යන්නේ නැත. එලෙසට ඉක්මවා නොයන ගතිය නිසා එම සත්‍යයට අනුගත විමක් සිදුවේ. එනම් සත්‍ය ආරක්ෂා කිරිම ජිවිතය තුළ තාත්වික වේ. මේ ඉවසීමේ කෘත්‍ය ධර්මයේ නිවැරදිභාවය හා ධර්මය අනුව සිදුවන නිසා ධම්මනිජ්ඣානඛන්ති, අනුලෝම ඛන්ති ලෙස ප්‍රායෝගික ව ම එතෙරවන ප්‍රතිපදාවක් ලෙසට ම සිදුවේ. සක්කාය නම් වූ ස්වකීයත්වය ඉක්මවන ප්‍රතිපදාවක් බවට පත්වේ. මේ වූ වැඩපිළිවෙළ තුළින් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම සිදුවේ.   

[දෙවියා:]  

සත‍්තියා විය ඔමට‍්ඨො ඩය‍්හමානොව මත්‍ථකෙ,  
කාමරාගප‍්පහාණාය සතො භික‍්ඛු පරිබ‍්බජෙ’ති.”  

“ආයුධයකින් පහර ලැබූවකු මෙන්, හිස ගිනිගත්තෙකු මෙන් භික්ෂුව කාමරාගය ප්‍රහාණය සඳහා සිහියෙන් යුතුව වෙසෙන්නේය.”  

[භාග්‍යවතුන් වහන්සේ:]  

සත‍්තියා විය ඔමට‍්ඨො ඩය‍්හමානොව මත්‍ථකෙ,  
සක‍්කායදිට‍්ඨිප‍්පහානාය සතො භික‍්ඛු පරිබ‍්බජෙ’ති.”  

“ආයුධයකින් පහර ලැබූවකු මෙන්, හිස ගිනිගත්තෙකු මෙන් භික්ෂුව සක්කාය දිට්ඨිය ප්‍රහාණය සඳහා සිහියෙන් යුතුව වෙසෙන්නේය.” (සත්තී සූත්‍රය – ස.නි. 1)  

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ ජරා-මරණ වලින් පීඩිත වූ අය සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළ යුතු බවයි. නමුත් ලෝකයාට එය එසේ හමු නොවේ.   

ලෝකයක් ඇති බව ලැබීම නිසාම, ආත්මයක් යන හැඟිම ද ඇතිවේ. එලෙස තම තමන්ගේ ගෝචර ලෝකය තුළ ප්‍රකට වන ජාති, ජරා මරණ දුකින් නිදහස්වීමට ලෝකයා විවිධ ක්‍රම අනුගමනය කරයි.   

“කිම‍්පනෙසො සම‍්ම සාරථි ජිණ‍්ණො නාමා?”ති. එසො ඛො දෙව ජිණ‍්ණො නාම: න’දානි තෙන චිරං ජීවිතබ‍්බං භවිස‍්සතී”ති. කිම‍්පන සම‍්ම සාරථි අහම‍්පි ජරාධම‍්මො ජරං අනතීතො?’ති. “ත්‍වඤ‍්ච දෙව මයඤ‍්චම‍්හා සබ‍්බෙ ජරාධම‍්මා ජරං අනතීතා”ති.”  

“යහළුව රථාචාර්‍යාණනි, දිරනවා කියන්නේ කුමක්ද?” යි “දේවයිනි (කුමරුනි), ඔහුට බොහෝ කල් ජීවත් විය නොහැක්කේ ය, මෙසේ වූ තැනැත්තා දිරපු කෙනා නම් වේ”.  “යහළුව රථාචාර්‍යාණනි, මම් ත් ඒ ආකාරයට දිරන ස්වාභාවයට පත්වෙනවා ද? දිරන ස්වාභාවය ඉක්මවා නැද්ද?” “දේවයිනි (කුමරුනි), නුඹද, අපිද සියල්ලෝ ම දිරන ස්වාභාවයෙන් යුක්තයි. දිරන ස්වාභාවය ඉක්මවා නැත. -පෙ- මරණ, -පෙ- ලෙඩවෙන -පෙ-.” (මහාපදාන සූත්‍රය – දී.නි. 2)   

ලෝකයේ සිටින දෙවි මිනිසුන් සියලු දෙනා ම ජරාමරණ ධර්මයන් ඉක්මවා නැති බව වටහාගෙන එයින් නිදහස් වීම සඳහා විමුක්තියක් සොයයි. එලෙස සොයන විමුක්ති ප්‍රතිපදා තුළින් කාමරාගය ප්‍රහාණය වූ විට විමුක්තිය ලැබූ බවට කල්පනා කළ උතුම් ශ්‍රමණවරු පිළිබඳව මුලින් ඉදිරිපත් කරන ලදී. සීහනාද, බ්‍රහ්මජාල, පඤ්චත්තය සූත්‍ර තුළ එය මනාව ඉස්මතු වේ. ලෝකය තුළ ජීවත් වන දෙවිමිනිසුන්ට ජරාමරණයෙන් ලැබෙන පීඩාව ඉක්මවීම සඳහා කළ හැකි එකම කරුණ වන්නේ තම තමන් භුක්ති විඳින කාමරාග පීඩාව ඉක්මවීම යි. නමුත් තථාගතයන් වහන්සේ නමක් වෙනස් ම වූ ප්‍රතිපදාවක් පෙන්වා දෙනු ලබයි. මෙසේ සමාජය තුළ පැවති විමුක්ති ප්‍රතිපදාවන් ද අනුගමනය කොට, එහි සැබෑ ම විමුක්තියක් නැති බව වටහාගත් බෝසතාණන් වහන්සේ තනියම සත්‍ය සෙවීමට පටන්ගත් සේක. එලෙස සත්‍ය සොයන විට අන්‍යයන්ට ගෝචර නොවන ආකාරයට සිතීමේ වැඩපිළිවෙළක් ඉස්මතු වූහ. ලෝක සත්වයන් ජරාමරණයන්ට පත් වන බව කල්පනා කරමින් සිටින විට හේතුඵල නුවණ ඇතිවීමට යෝනිසෝමනසිකාරය පෙර නොඇසූ විරූ ලෙස පහළවිය.  

“අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො සති ජරාමරණං හොති, කිම‍්පච‍්චයා ජරාමරණ’න‍්ති. අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසොමනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො “ජාතියා ඛො සති ජරාමරණං හොති, ජාතිපච‍්චයා ජරාමරණ”න‍්ති.”  

“මහණෙනි, එකල්හි විපස්සී බෝධිසත්වයන් හට මෙසේ අදහස ඇතිවිය. “කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද?, කුමක් ප්‍රත්‍යයෙන් ජරාමරණ වේ ද?”. මහණෙනි,  ඉක්බිති විපස්සී බෝධිසත්වයන්  හට “ජාතිය ඇති කල්හි ජරාමරණ වේ. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වේ” යැ යි යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රඥාව ඇති විය. ජාතිය ඇති කල්හි ජරාමරණ වේ. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වේ” යැ යි” (මහාපදාන සූත්‍රය -දී. නි. 2)    

තම තමන් කොටුකරගත් රාමුව අනුව මේ සියලු ම ප්‍රශ්නය ගොඩනැගෙන බව වැටහී උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කරමින් එසේ කොටුවන ස්වකීයත්වය ඉක්ම වූ සේක. මෙලෙස වටහා ගත් ධර්මය අසාමාන්‍ය මිනිසුන් සිටින සමාජයක දී, අසාමාන්‍ය නුවණ ඇති තථාගතයන් වහන්සේට ද දේශනා කිරීමට මන්ද උත්සාහී වූයේ එය එතරම් ම ගැඹුරු නිසාවෙනි. සහම්පතී බ්‍රහ්මයාගේ තෙවරක් ආරාධනය කරන තෙක් ම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ම ධර්මය පැවසීම තමන්ට වෙහෙසක්වන නිසාවෙනි.  

බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ ආකාරය ඉදිරි ලිපියේදී සාකච්ඡා කරමු.  

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි 

රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය 

වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ