සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 30

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට ප්‍රායෝගිකව යොමුවීම සඳහා වන ආධ්‍යාත්මික පූර්ව ප්‍රතිපදාව වන්නේ යෝනිසෝ මනසිකාරය ඉපදීම යි. එබැවින් එම යෝනිසෝ මනසිකාරය කුමක්ද යන්න මනාව වටහාගත යුතු වේ. ඒ සඳහා මේ කරුණු සලකා බලමු.  

යෝනිසෝ මනසිකාරය උපදින්නේ ම බාහිරින් ඇසෙන තථාගත දහම ම පාදක වීමෙනි. එයට වෙන කිසිම පාදකත්වයක් නැත. එසේනම් යෝනිසෝ මනසිකාරය යන වචනයට තාත්වික අර්ථය ඉස්මතු විය යුත්තේ ම තමාට අයිති නැති තථාගතයන් වහන්සේට පමණක් අයිති බාහිරින් ඇසෙන දේ තුළින් පමණි.  

යෝනිසෝ මනසිකාරය යන වචනය ‘යෝනි + සෝ + මනසිකාරය’ ලෙසට විසන්ධි කිරීමට පුළුවන. ධර්මය බාහිර අංගය වන අතර යෝනිසෝ මනසිකාරය ආධ්‍යාත්මික අංගය වේ. ධර්මය බුදුරජාණන් වහන්සේට අයිති බැවින් බාහිර වේ. ඒ බව සමස්ථ දේශනාවේ ම විග්‍රහ වේ. ධර්මය යනු ම තථාගතයන් වහන්සේව හමු වීමයි. එනම් කිසිම විදියකින් කිසිම ආකාරයකට එම දහම වෙන කිසිවෙකුට අයිති නැත. ඒ දහම යනු වචන ටික ම නොවේ. වචන පෙළ ගැසීම ම නොවේ. වචනවල අර්ථ ම නොවේ. ඒ සියල්ල සමාජයේ ද ව්‍යවහාර වේ. ඒ සියලු ව්‍යවහාර මාගධි සමාජය සතුයි. තථාගතයන් වහන්සේට අයිති කෘත්‍ය වන්නේ ඒ වචන ටික පෙළගස්වා ඇති අයුරින් හා එම වචන වල අර්ථ තුළින් ගැබ්වී පවතින අර්ථය් ත්, ධර්මය ත් වේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන  ධාතු, ආයතන, ස්කන්ධ, පටිච්චසමුප්පාද, බෝධි අංග ආදියෙහි තාත්වික  අර්ථයන් හුදෙක් ම එහි කිසිවක් “මට” අයිති ද නැත. ගැලපෙන්නේ ද නැත. හමුවන්නේ ද නැත. නමුත් එය ඇසෙන විට මට අයිති කටයුත්තක් ඇත. එය නම් යෝනිසෝ මනසිකාරයයි . එය යෝනිසෝ මනසිකාරය යන වචනය තුළ ම ගැබ් වී ඇත. මෙය ත් පෙන්වූයේ තථාගතයන් වහන්සේය. එමනිසා දහම අසන කෙනෙකුට අයිති වන ලෙස යෝනිසෝමනසිකාරය විග්‍රහ කර ඇත. එය කිසිදු විදියකට බුදු රජුන්ට අයිති නැත. එය අයිති දහම අසන කෙනාටයි.   

“යෝනි” යනු කුමක්ද ? එනම් යෝනි ලෙස ඔහු මෙනෙහි කරන්නේ කෙසේද? “යෝනි” යනු හටගන්නවා කියන අදහස නොවේ. හටගන්නවා , යනු ක්‍රියාවවකි. සමුදය, උප්පාදය, උදය යන සියළුම විග්‍රහයන් හටගැනීම ලෙස විග්‍රහ වේ. එමෙන්ම ඒවා නිරෝධය, වය, අස්ථංගමය යන වචනයන් සමග ද පැහැදිලි කර ඇත. හටගැනීම තනිව කථා කර නැත. එලෙසටයි හටගන්න-නැතිවන ස්වභාවයන් පැහැදිලි වන්නේ. ඒවා සංඛත, පටිච්චසමුප්පන්න ධර්ම වශයෙනි. ඒ විග්‍රහය තුළ ත් හටගැනීම නැතිවීම යුතු වූ ස්වභාවය යන නිර්වචනය පැහැදිලි වේ. මේ සියල්ල ම දකින්නේ සෝතාපන්න කෙනායි. දහම දැකපු කෙනායි. නමුත් යෝනිසෝ මනසිකාරය ඉපදීමෙනුයි දහම දකින්නේ. එබැවින්  “යෝනි”  යන වචනයට ඉහත කිසිවක අර්ථයක් පෙන්විය නොහැක. එමෙන්ම ඉහත සියල්ල ම විස්තර වන්නේ දර්ශනයකට ය. එලෙස දර්ශනය වන විට අධ්‍යාත්ම බාහිර යන්නේ වැරැද්ද හමුවී ඇත. එතෙරවීම හමුවී ඇත. යමක් ලෙස විග්‍රහ කළ නොහැක. නමුත් යෝනිසෝ මනසිකාරය උපදින විට  “යමක්”  යන්නෙන් එතර වීම හමුවී නැත. ආධ්‍යාත්මික බාහිර තුළ වැරැද්ද හමුවී නැත. එමෙන්ම බාහිරින් ඇහෙන දෙයක් ද මේ සඳහා අවශ්‍ය වේ. එසේ නම් කිසිසේත් ම ඉහත පැහැදිලි කිරීම “යොනි” යන අර්ථයට නොගැලපේ. මනසිකාර කරන්නේ කෙසේද ?    

“යෝනි” යනු කුමක්ද ?  අයෝනි යනු කුමක්ද ?   “යෝනි”  “අයෝනි” යන්න ලෝකය තුළ නිර්වචන තුළට ත් අදාළ විය යුතුයි. මන්දයත් රාගය දුරුවීමට, ද්වේෂය දුරුවීමට යෝනිසෝමනසිකාරය ද, ඒවා ඇතිවීමට අයෝනිසෝ මනසිකාරය ද පෙන්වා ඇත. හුදෙක්ම  “යෝනි”  යන්නත්  “අයෝනි”  යන්න ත් තවත් කරුණක් මත ම පාදක විය යුතුයි. මෛත්‍රී නිමිත්ත, අසුභ නිමිත්ත, පටිඝ නිමිත්ත, සුභ නිමිත්ත, සද්ධර්මය, අසද්ධර්මය මෙය හා සබැඳියාවකින් යුතු වූවක් ලෙස  “යෝනි”  හා  “අයෝනි”  ඇතිවේ. ඔහු ඒ දේට අනුව මනසිකාර කරයි. තථාගත දහම තුළ ත් වෙනත් ක්‍රමයකට “යෝනි”  යන තනි වචනයකින් පැහැදිලි වේ. එනම් සමාජයේ තාත්වික වචනයක් හමුවේ. අන්ඩජ යෝනි,  ජලාබුජ යෝනි,  සංසෙදජ යෝනි, ඕපපාතික යෝනි ලෙසයි. එමෙන්ම යෝනි අයෝනි ලෙස වෙන්වන්නේ ම බාහිර දේ ත් සමගයි. බාහිර දෙයක් ගැනීම අදාළ වන්නේ ත් යෝනි අයෝනි ලෙසයි. කුණුවන මළකුණක්  “අයෝනි”  ලෙස ද ලස්සන රූපය  “යෝනි”  ලෙස ත් පිළිබඳ විග්‍රහය ථේර ගාථා තුළ හමුවේ. එය හුදෙක් බාහිර ම නොවේ. පටිඝ නිමිත්ත හා මෛත්‍රී නිමිත්ත යෙදෙන්නේ ත්  “යෝනි”  අයෝනි අනුව යි.  එමෙන්ම වැරදි දහමක් ඇසෙන විට ඔහු තුළ  “අයෝනි”  ලෙස මනසිකාරය සිදු වුව ද ඔහු එය නොදනී. මන්දයත් එකරුණ වැරදි ලෙස නොදන්නා නිසාවෙනි. නමුත් එය වැරදි දෙයක් බැවින් “අයෝනි” ලෙස මනසිකාර කරයි. මුලින් කළ රාග, පටිඝ ලෙස විග්‍රහයන් ලෝකයේ පැවැත්ම සමග වේ. ධර්මය සමග කරන විග්‍රහය එතෙර වීම වේ.   

වැරදි දහමක් යමෙකුට ඇසුන හොත් ඔහු එය වැරදි ලෙස වටහා ගෙන ” අයෝනි”  ලෙස මනසිකාර නොකරයි. නමුත් එලෙසට වැටහුනේ නැති නම්  “අයෝනි” ලෙස මනසිකාර කරයි. එලෙස සැබෑ ම තථාගත දහම අසන විට ත් එයින් ද වැරදි ලෙස මනසිකාර කරයි. එනම් අයෝනි වේ. නිවැරදිව අසන විට යෝනි ලෙස මනසිකාර කරයි. බාහිර පවතින දෙය වැරදි දෙයක් වුව ද නුවණ ඇති කෙනාට  “අයෝනි”  ලෙස නූපදී. බාහිර  වුවද සත්‍ය නමුත් නුවණ මඳ කෙනාට  “යෝනි” ලෙස නූපදී.  

 
“යෝනි”  යනු “උපදින තැන” ලෙස යෝනි හතර විග්‍රහ කරන විට ඉස්මතු වේ. එනමුත් උපදින තැන උපදින ආකාරයක් ගැන හෝ නැති වන ආකාරයක් අදාළ නොවේ. එය විමසමින් වටහාගැනීමක් ද නො වේ. එය ගෝචර ද කරගත නොහැක. නමුත් සමුදය අස්ථංගමය දකින විට එලෙසට ‘යමක්’ හමු නොවේ. සංඛත ධර්මයක ද යමක් හමු නොවේ. නමුත්  “යෝනි” ලෙස විග්‍රහ කරන විට නම් කළ හැකි ස්වභාවයක් හමුවේ. එමෙන්ම ඔහු කරන ඒ මනසිකාරය ඒ පැන නැගීමේ ස්වභාවයෙන් යුතු දේ නොඉක්මවයි. මන්ද යත් ඒ ඔහුගේ මනසිකාරය සිදු වන්නේම පැන නැගෙන්නා වූ ස්වභාවයට ම ය. ඒ බාහිර පැන නැගීමේ නිවැරදිත් ව ය අනුවම ඔහු මනසිකාර කරයි. එනම් යොනිසෝ මනසිකාරය සම්පූර්ණයෙන් ම බාහිර වුව හා සබැඳී පවතී. නිමිත්ත කුණු වුව හෝ ලස්සන වුව හා සබැඳුණු විට  “ඒ තුළින් පැන නැගෙන සත්‍ය” අනුවම ඔහු විමසන විට එය අසුභ නිමිත්තක් වේ. වැරදි ලෙස චර්යාව හා නිවැරදි චර්යාව හා සබැඳුණු විට  “ඒ තුළින් පැන නැගෙන සත්‍ය” (කෙලෙස් නිසා ලෝක සත්වයා වැරදි කරයි. නිවැරදි වුව කරයි ලෙස වූ) අනුව ම ඔහු විමසන විට එය මෛත්‍රී නිමිත්තක් වේ. කුණු වුව හෝ ලස්සන වුව හා සබැඳීම  “ඒ තුළින් පැන නැගෙන සත්‍ය අනුව නොමැතිව”  ඔහු විමසන විට එය සුභ නිමිත්තක් වේ. වැරදි ලෙස චර්යාව හා නිවැරදි චර්යාව හා සබැඳීම  “ඒ තුළින් පැන නගින සත්‍ය අනුව නොමැතිව” (කෙලෙස් ස්වභාවය නොදැක හුදු වැරදිම පෙනීම)  ඔහු විමසන විට එය පටිඝ නිමිත්ත වේ. මේ සියල්ලම ලෝකයේ පවතින සත්‍ය අනුව සිදුවුණු පැවැත්ම වේ. ලෝකයෙන් එතෙර වීම සඳහා යොමුවන විට සිදුවුණු ආකාරයත් විමසා බලමු. 

  • වැරදි ධර්මයක් ඇසෙන විට  “ඒ තුළින් පැන නගින සත්‍ය”  අනුව ම විමසන විට එය වැරැද්දක් ලෙස බැහැර කරයි. “අයෝනි”  ලෙස නූපදී.  “යෝනි” ලෙස එතෙර වන මඟක් හමු නොවේ.  
  • වැරදි ධර්මයක් ඇසෙන විට ඒ තුළින් පැන නගින විග්‍රහය අසත්‍ය බැවින් එය අසත්‍ය බව නොදන්නා නිසා, ‘ඒ අසත්‍ය නම් වූ සත්‍යය අනුව නොමැතිව’  විමසන විට අයොනිසෝ මනසිකාරය ඇති වේ.  
  • තථාගත දහම ම ඇසෙන විට  “ඒ තුළින් පැන නගින සත්‍ය අනුව නොමැතිව”  විමසන විට අයොනිසෝ මනසිකාරය උපදී.  
  • තථාගත දහම බාහිරින් ඇසෙන විට  “ඒ තුළින් පැන නගින සත්‍ය” අනුව ඔහු විමසන විට එය යොනිසෝමනසිකාරය වේ. එය බාහිරට අයිති නැත.  

යෝනිසෝ මනසිකාරයෙන් සිදුවන ප්‍රතිපදාව ඊළඟ ලිපියෙන් විමසා බලමු. 

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි 

රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය 

වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ