සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 27

තමන්ගේ ජීවිත අත්දැකීම් තුළ ඇති නිස්සාර බව අනුපිළිවෙළ ආදී කතා තුළින් අවබෝධ වුණු විට එසේ ගැඹුරු දහම පෙන්වන උත්තමයාට යොමු වී ඒ පෙන්වන දහම ඉගෙන ගැනීමට යොමුවේ (සුතා, ධතා…). මේ පිළිබඳව පෙර විස්තර කරන ලදී. මේ ආකාරයට නිවැරදිව ඉගෙන ගත් විට එය තමන්ගේ අත්දැකීම් ලෝකයට ගෝචර නොවන්නකි. එනිසා එසේ අසා දරාගත් දේ තුළින් සත්‍ය සෙවීමට යොමු වේ. එය  ශ්‍රද්ධානුසාරී වීමයි. මෙය සිදුවන ආකාරය පිළිබඳව කීටාගිරි සූත්‍රයේ ද චංකි සූත්‍රයේ ද හොඳින් පැහැදිලි කර ඇත. 

“කථඤ‍්ච භික‍්ඛවෙ, අනුපුබ‍්බසික‍්ඛා අනුපුබ‍්බකිරියා අනුපුබ‍්බපටිපදා අඤ‍්ඤාරාධනා හොති: ඉධ භික‍්ඛවෙ, සද‍්ධාජාතො උපසඞ‍්කමති, උපසඞ‍්කමන‍්තො පයිරුපාසති, පයිරුපාසන‍්තො සොතං ඔදහති, ඔහිතසොතො ධම‍්මං සුණාති, සුත්‍වා ධම‍්මං ධාරෙති, ධතානං ධම‍්මානං අත්‍ථං උපපරික‍්ඛති, අත්‍ථං උපපරික‍්ඛතො ධම‍්මා නිජ‍්ඣානං ඛමන‍්ති, ධම‍්මනිජ‍්ඣානක‍්ඛන‍්තියා සති ඡන්‍දො ජායති, ඡන්‍දජාතො උස‍්සහති, උස‍්සහිත්‍වා තුලෙති, තුලයිත්‍වා පදහති, පහිතත‍්තො සමානො කායෙන චෙව පරමං සච‍්චං සච‍්ඡිකරොති; පඤ‍්ඤාය ච නං පටිවිජ‍්ඣ පස‍්සති.” 

“මහණෙනි,  අනුපූර්‍ව හික්මීමෙන්, අනුපූර්‍ව ක්‍රියාවෙන්, අනුපූර්‍ව ප්‍රතිපදාවෙන් අවබෝධයට පත්වීම කෙසේ වෙයිද? මහණෙනි, මෙහි භික්ෂුව ශ්‍රද්ධාව උපදවාගෙන එළඹේ. යොමුවීමෙන් සුහදශීලිව ඇසුරුකරයි. සුහදශීලි ඇසුරුකිරීමෙන් කන් යොමුකරයි. කන් යොමුකරමින් ධර්මය අසයි. ඇසූ ධර්මය දරා ගනී. දාරාගත් ධර්මයෙහි අර්ථ උපපරීක්ෂණය කරයි. අර්ථ උපපරීක්ෂණය කිරීමෙන් ධර්ම නිෂ්ඨාවේ ඉවසයි. ධර්ම නිෂ්ඨාව ඇති කල්හි කැමැත්ත උපදී. කැමැත්ත උපදීමෙන් උත්සාහ කරයි. උත්සාහ කිරීමෙන් (දහම සමඟ) තුලනය වේ. තුලනය වීමෙන් දැඩි වීර්‍ය කරයි. දැඩි වීර්‍යයෙන් යුතුව පරම සත්‍යත්වය සාක්ෂාත් කරයි. ප්‍රඥාවෙන් ද අවබෝධ කරයි.”  (කීටාගිරි සූත්‍රය – ම.නි.2) 

ශ්‍රද්ධාව එළැඹීම සඳහා සත්‍ය රකින ගතිය තිබිය යුතු බව කලින් විස්තර කළ චංකී සූත්‍රය අනුව හොඳින් පැහැදිලි වෙයි. ඉතාම ගෞරවයෙන් කල්‍යාණ මිතුරා කෙරෙහි එළඹි සුහදශීලී ඇසුරක් ඇති කරගෙන, එම පෙන්වන දහම කන් යොමාගෙන මනාව ශ්‍රවණය කලයුතු වේ. එය ශ්‍රවණය කොට දරා ගන්නා ආකාරය (සුතා, ධතා…) කලින් විස්තර කරන ලදී. එලෙස දරා ගන්නා ලද ධර්මය තුළින්ම ශ්‍රද්ධාව අනුවම යෙදෙමින් අර්ථයන් සෙවීමට පටන් ගනියි. එනම් අර්ථ උපරීක්ෂණය කරයි එම ධර්මයට ළං වී අර්ථය සෙවීම සිදුවේ.   

සුතය තුළ ඇති දිට්ඨියා සුප්පටිවිද්ධා වීම සඳහා මනසින් කල්පනා කිරීමත් මෙතන පෙන්වන අර්ථ උප පරීක්ෂණයත් හාත්පස වෙනස් කරුණු දෙකකි. තථාගත දහම මුල, මැද, අග පිරිසිදුභාවය, පද පිළිවෙළ, පරියාය, නිධානය නිවැරදිව මනසින් විමසීම මනසානුපෙක්ඛති වේ. එවිට, පෙන්වූ ඒ කරුණු තථාගත දහම විදියට ම මනාව දකී. එසේ නොකර අර්ථ විමසීමට යෑමේ දී තමන්ගේ ලෝකයේ කරුණු සමග ගැලපී දිට්ඨියා සුප්පටිවිද්ධා වේ. එය සද්ධම්ම අධිමානය වේ. ඔහුට අධිගම අධිමානයක් ඇති වේ. එමෙන්ම මිච්ඡා ප්‍රතිපදාවකට ද යොමු වේ. තම තමන්ගේ ගෝචර ලෝකයේ සත්‍ය හමුවීමෙන් සක්කාය ම තහවුරුවෙයි. තථාගත දහමින් බොහෝ දුර වෙයි. තථාගත දහම යනු සක්කාය නිරෝධ වන ප්‍රතිපදාවයි.  

දිට්ඨියා සුප්පටිවිද්ධා නිවැරදි වූ විට තම තමන්ගේ අත්දැකීම් ලෝකයට කිසිසේත් නොගැලපෙන සත්‍යයක් නිසා, ශ්‍රද්ධාව අනුව සිටීමට පටන් ගනී. එය ශ්‍රද්ධානුසාරී වීමත්, යෝනිසෝ මනසිකාරය සිදුවීමත් වේ. මේ ආකාරයෙන් සිදු වන්නේ එම දහමට ළං වී අර්ථ සොයන විට දී ය. එවිට තථාගත දහමේ ප්‍රතිපදාව ප්‍රායෝගිකව සිදු වේ. එනම් අනිත්‍ය සම්මර්ශනය ප්‍රතිපදාත්මක ව ම  සිදුවේ. තම තමන්ගේ ලෝකයක් හමුනොවේ. දහමට ළං වී අර්ථය සෙවීම පමණක් ම සිදු වේ. එසේ ප්‍රතිපදාව සිදුවන විට සක්කාය දුරුවීම ප්‍රායෝගික වන බැවින් කෙසේ නම් තම තමන්ට යමක් වැටහුණු බව ලැබෙන්නද? කුමක නම් සත්‍ය යැ යි රිංගා ගන්න ද? එය සක්කාය දුරු කරන ප්‍රායෝගික ප්‍රතිපදාව ම වේ. 

“තථා තථා භික‍්ඛවෙ, භික‍්ඛු උපපරික‍්ඛෙය්‍ය, යථා යථාස‍්සු උපපරික‍්ඛතො බහිද‍්ධා චස‍්ස විඤ‍්ඤාණං අවික‍්ඛිත‍්තං අවිසටං අජ‍්ඣත‍්තං අසණ‍්ඨිතං අනුපාදාය න පරිතස‍්සෙය්‍ය.” 

“ මහණෙනි, භික්ෂුවක් යම් යම් ආකාරයට උපපරීක්ෂණය කරයිද, ඒ ඒ ආකාරයට උපපරීක්ෂණය කරන විට, බාහිර දැනගැනීමේ ද නොවිසිරේ, වික්ෂිප්ත නොවේ. ආධ්‍යාත්මයේ පිහිටියේ නොවේ. උපාදාන නොවීමෙන් පසුනොතැවේ.” (උද්දේසවිභඞ්ග සූත්‍රය- ම.නි. 3) 

 
උප පරීක්ෂණය සිදුවන විට යෙදෙන වැඩපිළිවෙළ මේ උද්දේස විභංග සූත්‍රයෙන් මනාව පැහැදිලි වේ. බාහිරයට විසිරීමක් සිදු නොවන විට එතෙර වන ප්‍රතිපදාව ප්‍රායෝගිකව ඉස්මතු වී ඇත. උප පරීක්ෂණය වීම තුළින්  එය සිදුවන ආකාරය පෙන්වා දී ඇත. ඒ තුළින් මනස මුල් කරනගෙන (අරමුණු වලට යෑමක් නැතිව) හෝ දැන ගැනීමක් සිදු නොවන ආකාරයට සක්කාය නිරෝධ වීමේ ප්‍රතිපදාව සිදුවේ. එමෙන්ම මේ ආකාරයට උප පරීක්ෂණය සිදු වන විට සිතෙහි විසිරීමක් නොවී සමාහිත බවට පත්වේ. සිත සමාහිත නොවී අඩුම තරමින් ධර්මය ඇසීමට වත් නොහැකි බව අනු පිළිවෙළ කථාව තුළින් හා සම්මත්තනියාම සූත්‍ර තුළින් පැහැදිලි වේ. නිවැරදිව ම අර්ථය උප පරීක්ෂණය කරන විට ලෝකය තුළින් එසේ සිදුවීම සමාහිත සිතක් බව පැහැදිලි කර ඇත. එනමුත් එය තම තමන්ගේ අත්දැකීමක් සිදු නොවන බව උද්දේස විභංග සූත්‍රයේ ආධ්‍යාත්මයේ බැස නොගන්නා ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමෙන් ඉස්මතු වේ. ධ්‍යානයට ත් පත් වුවද එම ධ්‍යාන අංග දැනගැනීමෙන් යුක්ත නොවන බව ඉතාම හොඳින් පැහැදිලි කර ඇත. එලෙස ධ්‍යාන අංගයන් අත්විඳීම්ක් නොවන බව තුළින් සක්කාය නිරෝධය කිරීමේ ප්‍රතිපදාව ප්‍රායෝගික ව ඉස්මතු වී ඇත. ධ්‍යානයක් ඇති බව එම අංග තුළින් ප්‍රත්‍යක්ෂ වන්නේ නම් එයින් සක්කාය ම තහවුරු වී ඇත. එය තථාගත දහමට ආවේණික (බුදුවරුන්ට පමණක් ආවේණික) ප්‍රතිපදාව නොවේ. අන්‍ය වූ විමුක්තිකාමීන් පුරුදු කළ ප්‍රතිපදාවක් වෙයි. එමෙන්ම එසේ වඩන සමාධිය යමෙකුට  දිටු දැහැමිව සැපයේ වාසය කිරීමටද එය උපකාරිවේ. ලෝකය තුළ ඉන්නා වූ කෙනෙකුට කාමයන්ගෙන් ලැබෙන පීඩාවෙන් වෙන්වී සැපසේ වාසය කළ හැක. 

මේ ආකාරයට ලෝකය තුළ පවතින්නක වාසය කිරීමක්  සිදුනොවන ආකාරයට බුදුරජාණන් වහන්සේ අර්ථ උපපරීක්ෂණය පැහැදිලි කර ඇත. අර්ථ උපපරීක්ෂණය සිදුවන විට එතෙරවන ප්‍රතිපදාව අනුව ඉවසීමකට යොමුවී සක්කාය නිරෝධ වීම සිදුවේ. එලෙසට සිදුනොවන්නේ නම් ලෝකය තුල යම්කිසි ස්වාභාවයක් අත්දැකීම සිදුවේ. එයම සක්කායකි. එසේ වූ සක්කායේදී ලෝකය දකින ආකාරයේ හොඳ නරක අනුව ජීවත් වේ.  එසේ ලෝකය තුළ යහපත්ව ජීවත් වීමේදී සැපසේ වාසය කිරීම සඳහා ධ්‍යාන උපකාර වේ. එය බුදුවරුන්ට ආවේණික එතෙරවන දහම ද නොවේ. ඒ පිළිබඳව ඉදිරි ලිපියේදී සාකච්ඡා කරමු. 

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි 

රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය 

වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ