
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ලෝකෝත්තර ප්‍රතිපදාවේ මූලිකම යොමුවන වැඩපිළිවෙල ඉස්මතු කරන විට ‘සමනුපස්සති’ යන යෙදීමක් පැහැදිලි කර ඇත. එනම් අනිත්‍ය, නිත්‍ය, සැප, දුක, ආත්ම, අනාත්ම, නිබ්බාන දුක්ඛ, නිබ්බාන සුඛ ආදී සම්මර්ශනයන් යෙදෙන ආකාරය පෙන්වීමේදීත් එම සංදර්භයන් සමඟ ‘සමනුපස්සති’ ලෙස පැහැදිලි කර ඇත.
එම යෙදෙන ආකාරය ‘පජානාති’ වීම යනු එතෙරවන මාර්ග අංගයේ සම්මා දිට්ඨිය වේ.
සක්කාය දිට්ඨිය ද ඒ ආකාරයටම ‘පජානාති’ වීමෙන් සක්කාය දිට්ඨිය දුරුවන ප්‍රතිපදාවට යොමුවන බව මහාමාලුඞ්ක්‍ය සූත්‍රයේ පැහැදිලි වේ. එයද ඉදිරියේදී පැහැදිලි කරනු ලැබේ.
මේ ‘සමනුපස්සති’ යන වචනය පැහැදිලි කරගැනීම සඳහා පහත උපමාව යොදාගනිමු.
“අනුරාධපුර නගරයේ සිට කොළඹ නගරයට යම් පුද්ගලයෙක් වාහනයකින් ගමන් කරන බව සිතන්න. එවිට කොළඹ නගරයේ සිටින පිරිසට තමන් අනුරාධපුරයේ සිට පැමිනි බව පවසයි. එය ව්‍යවහාරික ලෝකය තුළ සත්‍යකි. නමුත් එම පුද්ගලයා කිසිදු ලෙසකින් තමන්ගේ ගමන් කරන ක්‍රියාවෙන් (ඇවිදිමින්) අනුරාධපුර සිට කොළඹට පැමිණියේ නැත. ඔහු වාහනය තුළ සිටියා පමණි. වාහනය අනුරාධපුරයේ සිට කොළඹට පැමිණියේය. මෙසේ කෙනෙක් පැහැදිලි කරන විට සත්‍ය බව පිළිගනී. ‘මම පැමිනියේ නැත, වාහනය පැමිනියා’ පෙර කියූ ව්‍යවහාරිකත්වයට වඩා මෙය සත්‍ය වේ. එනමුදු වාහනය ගමන් කරන ආකාරය පිළිබඳව ඔහු තුළ කිසිදු වැටහීමක් නැත. නමුත් තමන්ට පෙනෙන දේ අනුව පවසයි. එයත් තවත් වූ සිතීමකින් සාමාන්‍ය ව්‍යවහාරිකත්වයට එහා ගිය වෙනත් ව්‍යවහාරිකත්වයකි. වාහනයේ ක්‍රියාකාරීත්වය මනාව දන්නා ඉංජිනේරුවරයෙක් වාහනයේ මේ ආකාරයට ම වාහනයේ පැමිණි බව පවසයි. එය ඔහු පවසන්නේ හුදු ව්‍යවහාරයකින් තොරව සත්‍ය වූ සිදුවීම දැන ඒ අනුව ම ය. මේ ඉංජිනේරුවරයාට ගමන් කිරීමේ සත්‍ය ඒ ආකාරයට ම වැටහී ඇත. එනමුදු ඔහු ද ගමන් කිරීම නැමැති සිද්ධියට සම්බන්ධ නොවේ. එය සිදුවන්නේ වාහනයෙනි. නමුත් වාහනය එය නොදනී. නමුත් ගමන් කිරීම සිදුවේ.”
- අනුරාධපුරයේ සිට කොළඹට තමන් පැමිණි බව පැවසීම සාමාන්‍ය ව්‍යවහාරික ලෝකයයි
- අනුරාධපුරයේ සිට කොළඹට වාහනය ගමන් කිරීම නිසා පැමිණි බව වැටහීම සාමාන්‍ය ව්‍යවහාරික ලෝකය ඉක්මවා තවත් ලෝක ව්‍යවහාරයකම යෙදීමකි. මන්ද යත් වාහනයේ ගමන් කිරීමේ කෘත්‍ය නිවැරදිව නොදන්නා බැවිනි.
- ගමන් කිරීමේ සිදුවීම වාහනයේ සිදුවේ. එනමුදු වාහනය එය නොදනී
- වාහනය ගැන දන්නා ඉංජිනේරුවරයා ඒ ඒ කොටස්වල ක්‍රියාකාරීත්වය මනාව සෙවීම තුළිින් සම්පූර්ණයෙන් ම වාහනය ගමන් කරන බව මනාව අවබෝධකරගනී. එසේ අවබෝධ කරගන්නා ඔහු වාහනය නොවේ. ඔහු ගමන් කිරීමේ ක්‍රියාවට ද අදාළ නැත. නමුත් ගමන් කිරීමේ ක්‍රියාව මනාව දැනගැනීම සිදුවී ඇත. එම ගමන් කීරීමේ ක්‍රියාවෙන් ඉක්ම වී ඔහු ගමන් කිරීමේ ක්‍රියාව අවබෝධකරගෙන ඇත. එය වාහනයට ද අදාළ නැත.
මේ උපමාවට මෙසේ උපමේය වටහාගන්න. ‘සමනුපස්සති’ යනු වාහනයේ ගමන් කිරීමේ ක්‍රියාව වේ. අනුරාධපුරයේ සිට කොළඹට තමා පැමිණි බව පැවසීම ව්‍යවහාරික ලෝකයේ ‘පජානාති’ සහ ‘සමනුපස්සති’ අර්ථය වේ. අනුරාධපුර සිට කොළඹට වාහනය ගමන් කළ නිසා පැමිණි බව පැවසීම ‘සමනුපස්සති’ බව වැටහුන බවට ඒ ඒ කෙනා කරන ව්‍යවහාරය වේ. ඉංජිනේරුවරයා වාහනයේ ක්‍රියාව මනාව අවබෝධ කරගැනීම ලෝකෝත්තර මාර්ග අංගය වන සම්මා දිට්ඨියෙන් දකින ආකාරය වන ‘පජානාති’ බව වේ.
ලෝකයෙන් එතෙරවන ලෙසට පෙන් වූ ධර්මය තුළ, සිදුවන ක්‍රියාකාරීත්වයන් ගැන පැහැදිලි කරන ‘සමනුපස්සති’ බව මනාව අවබෝධවන්නේ ‘පජානාතී’ වීමෙනුයි. එසේ ‘පජානාති’ නොවී තම තමන් ‘සමනුපස්සති’ බව වටහාගැනීමට යාමේදී ‘සමනුපස්සති වටහා ගත්තා යැයි’ විශාල මුලාවකට පත්වේ. මෙය පිළිබඳ ව සක්කාය දිට්ඨිය විග්‍රහ කරන විට තවත් හොදින් පැහැදිලි වේ.
තම තමන්ගේ සිදුවන ක්‍රියාකාරිත්වය ‘නිත්‍ය, සැප, ආත්ම’ ලෙස වන්නේ නම් (සමනුපස්සති) ඔහුට ආර්‍ය මාර්ගයට පැමිනීමට නොහැකි බව අනිත්‍ය ආදී සූත්‍ර තුළ පෙන්වා දී ඇත. තම තමන් කල්පනා කිරීමෙන් තම තමන්ට යමක් නිරවුල් වූ විට එය තවත් ලැබීමකි. එය පිහිටීමකි. එය බැසගැනීමකි. එය තමන්‍ට අයිති දෙයකි. එය සක්කායකි. එනම් ඔහුගේ යෙදීම ‘නිත්‍ය, සැප, ආත්ම, නිබ්බාන දුක්ඛ’ සම්මර්ශනයකි (සමනුපස්සති). එබැවින් තථාගත දහම් මගට බැසගැනීමක් සිදු නොවේ.
‘අනිත්‍ය, දුක්ඛ, අනත්ත, නිබ්බාන සුඛ’ සම්මර්ශනය (සමනුපස්සති) සිදුවීමට නම්, තම තමන්ගේ ලෝකයේ (සිතන, කල්පනා කරන, වැටහෙන) සියලුම කරුණු නිස්සාර බව වැටහී සත්‍ය පෙන්වන කෙනාට නැඹුරුවිය යුතුයි. ඔහු පෙන්වන ගම්භීර තථාගත දහම පමණක් තම තමන්ගේ ලෝකයේ සිතන විදියෙන් තොරව මනසිකාර කළ යුතුයි. මෙසේ සිදුවන විටදී ම නොලැබී ම, නොපිහිටී ම, තමා බව නොයෙදී ම ඉක්මවීමේ සැපය ලෙසට සම්මර්ශනය (සමනුපස්සති) සිදුවේ. එනම් ‘අනිත්‍ය, දුක්ඛ, අනත්ත, නිබ්බාන සුඛ’ ලෙස සම්මර්ශනය වේ. සම්පූර්ණයෙන් ම ඔහුගේ චින්තන ස්වාභාවය සිදුවන්නේ, ගම්භීර තථාගත දහම සමග පමණක්ම වේ. ඒ සඳහා ශ්‍රද්ධාව ඇතිවිය යුතුයි. එනම් මනා පිළිගැනීමක් තිබිය යුතුයි. මෙසේ කල්පනා කරන විට නිස්සාර වූ තම තමන්ගේ අත්දැකීම් ලෝකය සමග කිසිසේත්ම ගැලපීම, විමසීම සිදුනොවේ. මන්ද යත් ඒ නිස්සාර අර්ථ ශුන්‍යත්වය නිසාම ශ්‍රද්ධාව ඇතිවී පිළිසරණකට යොමුවන බැවිනි. එසේ සිදු නොවන්නේ නම් ශ්‍රද්ධාව ත්, සරණ ත් ඇති නොවේ. තම තමන්ගේ අත්දැකීම් ලෝකය පමණක් තහවුරු වේ. ‘නිත්‍ය, සැප, අත්ත, නිබ්බාන දුක’ ලෙසට සම්මර්ශනය සිදුවේ.
මෙසේ වූ අවසනාවකට යොමු නොවී ලැබුනා වූ උතුම් මොහොත තුලින් සැබෑම ප්‍රයෝජනය ගැනීම සඳහා ශ්‍රද්ධාවෙන් යුක්තව අනුගතවීම සිදුවිය යුතු වේ. එසේ මූලිකවම සිදුවීම ශ්‍රද්ධානුසාරී නම් වේ. ලෝකෝත්තර දහම නම් වූ සක්කාය නිරෝධ ධර්මයට ප්‍රතිපදාත්මකවම යොමුවීමේ මූලික වැඩපිළිවෙල වන ශ්‍රද්ධනුසාරී ස්වාභාවය ගැන ඉදිරි ලිපියේදී සාකච්ඡා කරමු.
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ