සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 22

ලෝකයේ මිනිසුන් ජීවත්වන විට එකිනෙකා කෙරෙහි සන්නිවේදනයක් ඇතිකරගැනීම සඳහා ත්, තම තමන්ට යමක් වටහාගැනිමේ පහසුව සඳහා ත් ඒ ඒ සමාජය තුළ ඊට ආවේණික වූ ව්‍යවහාරික භාෂාවක් පවතී. එම ව්‍යවහාරික භාෂාව මුල්කරගෙනම ඒ සමාජයට යමක් සන්නිවේදනය කිරීමට පුළුවන. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වන්නේ ද මෙවැනි ම වූ සමාජයක වේ. බුදුරජාණන් වහන්සේ ද සමාජය තුළ ජීවත්වීමේදී ඒ සමාජයේ ව්‍යවහාර කරන වචන අනුව ම භාවිත කරනසේක. එමෙන් ම එම ව්‍යවහාරික වචනම භාවිත කරමින් බුදුරජාණන් වහන්සේලාට ආවේණික එතෙරවන දහම පෙන්වීමද සිදුවේ. එසේ සිදුකරන විට, එය ව්‍යවහාරික භාෂාවේ වචන වලට අදාළ වුවත්, එතෙර වීම සඳහා උපකාර වන ලෙසට තීව්‍ර අර්ථ ඉස්මතු කරමින් පැහැදිලි කර ඇත. එබැවින් බුදුරජාණන් වහන්සේ ව්‍යවහාර කරන වචනවල අර්ථ වටහාගැනීමේ දී එම කරණු ගැන හොඳින් අවධානය යොමුකළ යුතු වේ. කලින් ඉදිරිපත් කිරීමට යෙදුණු ‘සමනුපස්සති’ යන වචනයේ අර්ථය වටහා ගැනීම සඳහා ‘පජානාති’ වචනය ද උපකාර කරගනිමින් පහත සූත්‍රය ඇසුරින් විමසා බලමු. .      

“සො සුඤ්ඤමිදං සඤ්ඤාගතං ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤායාති පජානාති. සුඤ්ඤමිදං සඤ්ඤාගතං නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤායාති පජානාති. අත්‍ථි චෙවිදං අසුඤ්ඤතං යදිදං ඉමමෙව කායං පටිච්ච සළායතනිකං ජීවිතපච්චයාති. ඉති යං හි ඛො තත්‍ථ න හොති. තෙන තං සුඤ්ඤං සමනුපස්සති. යං පන තත්‍ථ අවසිට්ඨං හොති. තං සන්තමිදං අත්‍ථීති පජානාති.”  (චූලසුඤ්ඤත සූත්‍රය – ම.නි. 3) 

“ඔහු ආකිඤ්චඤ්ඤායතන සංඥා පිළිබඳව වූ සංඥාගතය ශුන්‍ය යයි පජානාති වේ. නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා පිළිබඳව වූ සංඥාගතය ශුන්‍ය යයි පජානාති වේ. නමුත් මේ අශුන්‍යතාවයක් ද ඇත. එනම්, මේ කය නිසා වූ සළායතන ප්‍රත්‍ය වූ ජීවිත පැවැත්මයි. මෙසේ යමක් එහි නැද්ද, එයින් එය ශුන්‍ය යයි සමනුපස්සති වේ. යමක් එහි ඉතිරි ව ඇත්ද, ප්‍රකට වන එය ඇති’ යි පජානාති වේ” 

“පජානාති පජානාතීති ඛො ආවුසො, තස්මා පඤ්ඤවාති වුච්චති. කිඤ්ච පජානාති? ඉදං දුක්ඛන්ති පජානාති, අයං දුක්ඛසමුදයොති පජානාති, අයං දුක්ඛනිරොධොති පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති පජානාති. පජානාති පජානාතීති ඛො ආවුසො, තස්මා පඤ්ඤවාති වුච්චති.” (මහාවෙදල්ල සූත්‍රය, ම.නි-1) 

“ඇවැත්නි, යම් සේ ප්‍රඥාවන්ත වේද, පජානාති පජානාතී යැයි කියනු ලැබේ. කුමක් පජානාති වේද? ‘මේ දුක යැයි පජානාති වේ. මේ දුක හටගැනීම යැයි පජානාති වේ. මේ දුක නිරෝධ යැයි පජානාති වේ. මේ දුක නිරෝධ ගාමිනී පටිපදාව යැයි පජානාති වේ’ යන  මෙකරුණෙන්, ඇවැත්නි ප්‍රඥාවන්ත වේ යැයි කියනු ලැබේ.” 

පජානාති යන වචනයට තථාගත දහමතුළ දී ඇති අර්ථය මහා වෙදල්ල සූත්‍රයෙන් මනාව පැහැදිලි වේ. එනම් එතෙර වන මාර්ගයේ වූ මූලික අංගය වන සම්මා දිට්ඨියයි. ලෝකයෙන් එතෙර වන (ස්වකීයත්‍වය සහ ස්වකීයත්ව නිරෝධය ප්‍රඥාවෙන් දකින විදියයි.) ආකාරයට නිවැරදිව දකින විදියයි. තථාගතයන් වහන්සේට ආවේණික දහම වන ලෝකෝත්තර ධර්ම විග්‍රහය (සක්කාය නිරෝධ දහම) තුළ, පජානාති යන වචනය යෙදෙන විට ඉහත අරුත ඉස්මතු වන ලෙස පැහැදිලි කර ඇත. එනමුදු මෙය ද ලෝකය තුළ  ව්‍යවහාර  වූ වචනයකි. බුදුරජාණන් වහන්සේලා ලෝකයට අලුතින් වචන හඳුන්වා දුන්නේ නැත. ඒ ඒ සමාජය ව්‍යවහාර කරන වචන තුළින් එතෙරවන මාර්ගය ඉපැද්ද වූ සේක. ‘සමනුපස්සති’ යන වචනය ද ලෝකය තුළ ව්‍යවහාර වූ වචනයකි. එහි තථාගතයන් වහන්සේ පෙන්වා දුන් (එතෙරවන ආකාරයට) අර්ථය වටහාගැනීමට ප්‍රථම ලෝකයේ අර්ථයන්ද විමසා බලමු. ‘පජානාමි’ යන වචනය යෙදෙන්නේ උත්තම පුරුෂ ක්‍රියාපදයක් ලෙසිනි. එය ලෝකය තුළ සිටින කෙනෙක්, තමා සිදුකරන ක්‍රියාවකි. එය ලෝකයා ව්‍යවහාර කළ අතර ලෝකය තුළ සිටින බුදුරජාණන් වහන්සේ ද රහතන් වහන්සේලා ද එලෙස ව්‍යවහාර කළහ. 

“පජානාති” ලෙස යෙදෙන්නේ ප්‍රථම පුරුෂ ක්‍රියාවකි. එයද ලෝකය තුළ වූ තවත් කෙනෙකුගේ ක්‍රියාවක් ව්‍යවහාර කිරීමකි. මෙම වචනය ද බුදුරජාණන් වහන්සේ ත්, රහතන් වහන්සේලා ත් ලෝකය තුළ දී ඔවුනොවුන් පිළිබඳව ව්‍යවහාර කිරීමට භාවිත කළසේක.    

උදා: අහං පජානාමි, අග‍්ගඤ‍්ඤඤ්‍චාහං භග‍්ගව පජානාමි. 

සමණො පජානාති, …යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති. 

මේ ආකාරයටම “සමනුපස්සති” වචනය ද “සමනුපස්සති” සහ “සමනුපස්සාමි” ලෙස ලෝකයේ ව්‍යවහාර කර ඇත. බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා ද ලෝකය තුළ දී එලෙස ව්‍යවහාර කර ඇත.  

උදා: අහං සමනුපස්සාමි 

නාහං භික්ඛවෙ අඤ්ඤං එකරූපම්පි සමනුපස්සාමි” 

සමණො සමනුපස්සති. 

භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති” 

ඉහත පෙන්වූ වචන දෙක, එම වෙන් වෙන් වූ ආකාර තුළින් තථාගතයන් වහන්සේ ඇතුළු ව සියලු ම දෙනා ලෝක  ව්‍යවහාරයෙන් භාවිත කර ඇත. තථාගතයන්  වහන්සේට පමණක් ආවේණික වූ සක්කාය නිරෝධ ධර්මය, ප්‍රතිපදාව ලෙසට පෙන්වන විට දී “පජානාමි”, “සමනුපස්සාමි” ලෙස භාවිත නොවේ. (සතිපට්ඨාන සූත්‍ර ආදී දේශනා තුළදී ලෝකෝත්තර මාර්ගයට එළඹීම සඳහා ලෝකය තුළ තම තමන්ට ප්‍රත්‍යක්ෂ වන කරුණක් ඇති බව ගැනීම සිදුවේ. එසේ ලෝකය ප්‍රකටවන කරුණක් පාදක කරගෙන මාර්ගය ඉස්මතු කර ඇත. උදා: ‘ගච්ඡන්තො වා ගච්ඡාමීති පජානාති’). මන්දයත් එහි සක්කාය තහවුරු වීමෙන් “තමා” (මම) කතෘ ලෙස ඉස්මතු වේ. එය ලෝකයේ ම වේ. යෝනිසෝ මනසිකාරයට හේතුවන ලෙස ලෝකෝත්තර ධර්ම විග්‍රහය පෙන්වන සියලු තැන්හි “පජානාති” සහ “සමනුපස්සති” ලෙස පෙන්වා ඇති අතර එහි යෙදීම අනුව ව්‍යාකරණ රීතිය අනුව ප්‍රථම පුරුෂයෙන් ඉදිරිපත් කර ඇත. සක්කාය නම් වූ ස්වකීයත්වය ඉක්මවන ධර්මයක් දේශනා කරන විට “තමා” (මම) ප්‍රධානව පවතින ක්‍රියාවක් තහවුරු වූයේ නම් එය සක්කාය නිරෝධ දහමක් නොවේ. ලෝකෝත්තර දහම පෙන්වන විට “පජානාති” අර්ථය මහාවෙදල්ල සූත්‍රයෙන් මනාව පැහැදිලි විය. එම කරුණ හා සම්බන්ධ කරගෙන චූලසුඤ්ඤත සූත්‍රය තුළින් “සමනුපස්සති” වචනයේ අර්ථය වටහා ගැනීමට උත්සාහ කරමු. 

චූල සුඤ්ඤත සූත්‍රය පුරාවටම ඒ ඒ මනසිකාරය අනුව සුඤ්ඤතාවය සිදුවන ආකාරය ගැන ‘සමනුපස්සති’ ලෙස පෙන්වා දී ඇත. එමෙන් ම ලැබුවා වූ සුඤ්ඤතාවයේ ඇති සුඤ්ඤතාබව ත් අසුඤ්ඤතාබව ත් පිළිබඳව ‘පජානාති’ ලෙස පැහැදිලි කර ඇත. ලෝකයෙන් එතෙරවන සක්කාය නිරෝධ මාර්ගයේ, මනාව දකින ආකාරයෙන් සකස් වූ සුඤ්ඤතාවය ද අසුඤ්ඤතාවය ද පජානාති වේ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වූ ආර්‍ය ශ්‍රාවකයාට කිසිදිනෙක පෘතග්ජන ලෙස දකින ආකාරයක් නැත.  

එලෙසට වූ ආර්‍ය ශ්‍රාවකයාගේ දැකීම පිළිබඳ කරුණු දේශනා ඇසුරින් ඉදිරි ලිපියේ දී සාකච්ඡා කරමු. 

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි 

රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය 

වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ