
සක්කාය දිට්ඨිය දුරු කිරීම – 20
බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්මය ඉගෙන ගැනීමේ දී මුලින් ම එම ධර්මය අසා දරාගෙන, වචනයෙන් පුරුදුකළ යුතු වේ. වචනයෙන් පුරුදු කිරීම නම් වූ සජ්ඣායනාව තුළින් ඇසූ දේ කිසිදු අඩුවකින් තොරව මතකයේ පවතී. එසේ මතක තබාගෙන ඇති පිළිවෙළ අනුව එහි පද ගැළපීමේ ස්වභාවය, නිදානය, පරියාය පවතින ආකාරය යන කරුණු තමාගේ මනස පාදක කරගෙන සෙවීමට යොමු වේ. මේ ආකාරයට තමාගේ මනස පාදක කර කරගෙන සිදුකළ යුතු වන්නේ අර්ථ සෙවීම නොව ශ්‍රැතය පිරිසිදු කර ගැනීමයි. මුලින් ශ්‍රැතය නිවැරදි ආකාරයට දැකීමකට නොගොස්, ඉගෙන ගන්නා පදයෙහි අර්ථය විමසමින් ශ්‍රැතය නිවැරදි කර ගැනීමට යාමේ දී සද්ධර්ම අධිමානය කට පත්වේ.
“බහුස‍්සුතො ඛො පන අයමායස‍්මා සුතධරො සුතසන‍්නිචයො, යෙ තෙ ධම‍්මා ආදිකල්‍යාණා, මජ‍්ඣෙකල්‍යාණා, පරියොසානකල්‍යාණා සාත්‍ථං සබ්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං අභිවදන‍්ති. තථාරූපාස‍්ස ධම‍්මා බහුස‍්සුතා හොන‍්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. තස‍්මා අයමායස‍්මා අධිමානිකො අධිමාන සච‍්චො අප‍්පත‍්තෙ පත‍්තසඤ‍්ඤී අකතෙ කතසඤ‍්ඤී අනධිගතෙ අධිගතසඤ‍්ඤී අධිමානෙන අඤ‍්ඤං බ්‍යාකරොති ‘ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතකරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමී’ති.” (අධිමාන සූත්‍රය – අ.නි. 6)
“මේ ආයුෂ්මත් වනාහි බහුශ්‍රැත වූයේ ය, ශ්‍රැතධර වූයේ ය, ඇසූ දේ රැස්කරන ලද්දේ වෙයි, ඒ මේ ධර්මය මුල සුන්දර වූ, මැද සුන්දර වූ, අවසානය සුන්දර වූ අර්ථ සහිත, ව්‍යඤ්ජන සහිත, කේවලත්වයම පිරෙන, පිරිසිදු වූ බ්‍රහ්මචරිය (නිවන් මඟ) දේශනා කර තිබේ. එබඳු ධර්මයන් බොහෝ අසන ලද්දේ වේ. ධාරණය කරගනී. වචනයෙන් ප්‍රගුණ කරන්නේය, මනසින් කල්පනා කරන්නේය, දැකීම් පිරිසිදු වන්නේය (සුතය වශයෙන්).
එබැවින් මේ ආයුෂ්මතුන් අධිමානය ඇතියේ වේ. අධිමානය සත්‍ය කොට ඇතියේ වෙයි. නොපැමිණි දේට පැමිණියේ යැයි හඳුනාගෙන ඇත. නොකළ දේ කළේ යැයි හඳුනාගෙන ඇත. පත්නොවූවට පත්වූයේ යැයි හඳුනාගෙන ජාතිය ක්ෂය කළේ යැයි, කළ යුත්ත කළේ යැයි, නැවත කළයුත්තක් නැති බව දන්නේ යැයි ලෙස අරහත්වය පවසයි.”
මේ ආකාරයට සද්ධර්ම අධිමානයකට යාම තුළින් අධිගම අධිමානය පවා ඇතිවේ. මෙය ශාසනය තුළ සිදුවන මහා අනතුරකි
“සද‍්ධම‍්මෙසු වා අධිමානිකො හොති” (අක්කොසක සූත්‍රය – අ.නි. 6)
“සද්ධර්මය කෙරෙහි අධිමානය වේ.”
ආර්ය වූ උපවාද කිරීමේ දී සිදුවන මහා ව්‍යසනවල කරුණක් ලෙසට ද මෙම සද්ධර්ම අධිමානය පෙන්වා වදාරා ඇත්තේ එහි ඇති භයානක කම නිසාවෙනි. තම තමන් ඇසූ කරුණුවල අර්ථ විමසමින් තම තමන්ගේ කෝණයට අනුව එනම් ස්වකීයත්වයට අනුව එම ඇසූ ධර්මය ගැලපෙන විට යෝනිසෝ මනසිකාරයට අවකාශයක් නොලැබේ. එමෙන්ම ශ්‍රද්ධාව අනුව පැවතීමට ද අවකාශය නොලැබේ. නිවැරදි ආකාරයට ශ්‍රද්ධාව ද නොපිහිටයි. තමන් ද දන්නා බව තමන්ට වැටහෙන බව හමුවේ ශාස්තෘන් වහන්සේ කරා යොමුවීමට හෝ ශාස්තෘ දහම පෙන්වන කල්‍යාන මිතුරා ට නැමීම සිදු නොවේ.
“සත්‍ථා භගවා, සාවකොහමස‍්මි. ජානාති භගවා, නාහං ජානාමීති.” (කීටාගිරි සූත්‍රය- ම.නි.2)
“භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘ වන සේක. මම ශ්‍රාවකයා වෙමි. භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක. මම නොදනිමි. ”
මේ සා භයානක අනතුරක් සිදු වන්නේ තථාගතයන් වහන්සේ පෙන් ව මූලික කරුණු සිදු නො නොකිරීම නිසාවෙනි. ඛිප්පාභිඤ්ඤා වූ දාරුචීරිය හා මහා ප්‍රඥා ඇති උපතිස්ස පරිබ්‍රාජකයා වැනි අයට ධර්මය අසන විට ම අර්ථ විමසීම සිදු වී මාර්ගය ඉස්මතු විය. එනමුදු සමස්තයක් ලෙස සියලු දෙනාටම එසේ සිදු නො වේ. එබැවින් සමස්තයක් ලෙස සියලු දෙනාට ම පොදු ලෙස පෙන් වූ කරුණු මුල සිටම සිදු කිරීම අවශ්‍ය වේ. එසේ නොවුණ හොත් ඇසුණු පදයන් උතුම් ලෙස ගෙන ශ්‍රද්ධාව හා යෝනිසෝ මනසිකාරය ඉක්මවා සද්ධර්ම අධිමානයට පත්වේ.
“උග‍්ඝටිතඤ‍්ඤූ, විපචිතඤ‍්ඤූ, නෙය්‍යො, පදපරමො. ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.” (නෙය්‍යපුග්ගල සූත්‍රය – අ.නි. 2)
“උග්ඝටිතඥ ය, විපචිතඥ ය, නෙය්‍ය ය, පදපරම යි. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙන විද්‍යමානය.”
උග්ඝටිතඤ්ඤ, විප්පටිතඤ්ඤ වැනි අය ඉතාම කලාතුරකින් පහළ වේ. එවැනි අයට අසන විට ම අර්ථය විමසිය හැක. අප ද ඒ අය මෙන් සිතු විට එතෙර වන මඟ ඉස්මතු නොවී සද්ධර්ම අධිමානයකට පත් වී පදපරම බවට පත්වේ. එනම් ඇසූ පදය උතුම් ලෙස සැලකීමයි. එසේ වන්නේ ම එතෙර වීමක් සිදු නොවී තම තමන්ට ම එම පදය නිරවුල් වී එය ම ස්වකීයත්වයට උතුම් වීමයි. නමුත් තථාගතයන් වහන්සේ පෙන්වූ අනුපූර්ව ප්‍රතිපදාව ඒ ආකාරයට ම පිළිවෙළට කිරීමට උත්සාහ කිරීමේදී, නෙය්‍ය අය ලෙස තථාගත දහම පෙන්වන කල්‍යාන මිත්‍රයාට යොමුවී එතෙර වන මාර්ගය ඉස්මතු වෙයි.
ඇසුණු ධර්මය මනසින් කල්පනා කරන විට එතෙර වන ප්‍රතිපදාවක් වූ ස්වකීයත්ව නිරෝධය ලෙස පෙන්වූ දහම ඒ ලෙසට ම මනා ලෙස දැකීමක් ඇති වේ. එනම් දිට්ඨියා සුප්පටිවිද්ධා වේ. මෙය අවබෝධයක් නොවේ. තමන්ට වැටහීමක් ද නොවේ. සත්‍ය වූ දහම, ගම්භීර අතක්කාවචර, දුද්දස, දුරනුබෝධ, සන්ත පණීත නිපුන පණ්ඩිත වේදනීය ලෙස ඉස්මතු වීමයි. මේ ආකාරයට දිට්ඨියා සුප්පටිවිද්ධා වන විට එම කරුණුවල අර්ථ විමසීමට යොමු වී නැත. එනමුදු එම කරුණු ස්වකීයත්වයට නොවැටහෙන සත්‍යයක් බවත්, එම සත්‍ය සෙවිය යුතු බවත් සත්‍ය ගවේෂි කෙනාට ඉස්මතු වේ. මේ බව චංකී සූත්‍රය තුළ ද සඳහන් වේ. එම දේශනාව කලින් ඉදිරිපත් කරන ලදී.
සත්‍ය වූ ගැඹුරු ධර්මයක් බව සත්‍ය ගවේෂි කෙනාට ඉස්මතු වීම ද ස්වකීයයත්වයට හසු නොවීම ද යන කරුණු මත එම සත්‍ය පෙන්වූ උත්තමයන් අනුව යෙදීමට අනුගත වේ. එසේ අනුගතවීම ම තථාගතයන් වහන්සේ පෙන්වූ දහමෙහි අර්ථ විමසීමට ද පටන් ගැනේ. මෙසේ ඔහු තුළ සිදු වුණු ක්‍රියාවලිය නොහොත් හොයන ආකාරය ‘අනිත්‍ය සම්මර්ශනය’ ලෙස පැහැදිලි වේ.
එමෙන්ම දුක් ලෙස, අනාත්ම ලෙස, නිවීම සැප ලෙස, සම්මර්ශනය වීම ප්‍රතිපදාත්මකවම සක්කාය නිරෝධ මාර්ගයට අනුගතවීම වේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, නිබ්බාන සුඛ දේශනා තුළින් ඉදිරි ලිපියේදී ඒ පිළිබඳව සාකච්ඡා කරමු.
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ