
සක්කාය දිට්ඨිය දුරු කිරීම – 19
බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වී පෙන්වා වදාරණ, ඒ ලෝකයෙන් එතෙර වන උතුම් දහම කිසිදු අඩු වැඩියකින් තොරව මනාව පෙන්වා දී ඇත.
“කිඤ‍්ච පස‍්සං න පස‍්සතී?ති: එවං සබ‍්බාකාරසම‍්පන‍්නං සබ‍්බාකාරපරිපූරං අනූනං අනධිකං ස‍්වාක‍්ඛාතං කෙවලපරිපූරං බ්‍රහ‍්මචරියං සුප‍්පකාසිතන‍්ති, ඉති හෙතං පස‍්සති ඉදමෙත්‍ථ අපකඩ‍්ඪෙය්‍ය, එවං තං පරිසුද‍්ධතරං අස‍්සාති, ඉති හෙතං න පස‍්සති. ඉදමෙත්‍ථ උපකඩ‍්ඪෙය්‍ය, එවං තං පරිසුද‍්ධතරං අස‍්සාති ඉති හෙතං න පස‍්සති. ඉදං වුච‍්චති පස‍්සං න පස‍්සතීති.” (පාසාදික සූත්‍රය – දි.නි. 3)
“කුමක් දකින විට නොදකී ද? මෙසේ සියලු ආකාරයෙන් යුක්ත සියලු ආකාරයෙන් පරිපූර්ණ, අඩුත් නැති, වැඩිත් නැති, මනාකොට දේශනා කළ කේවලත්වය පිරෙන බ්‍රහ්මචරිය වූ නිවන් මඟ හොඳින් ම ප්‍රකාශ කරන ලදී. මෙසේ යමෙක් දකී (තථාගත දහම) ‘මේ කොටස ඉවත්කළ යුතුයි, මෙය වඩාත් පිරිසිදු යැයි කියා නොදකී. මේ කොටස එකතු කළ යුතුය, මේ වඩාත් පිරිසිදු යැයි’ මෙසේ නොදකී. මෙය දකින විට නොදකිනු යැයි කියනු ලැබේ.”
බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ කිසිදු ආකාරයකින් අඩු වැඩි බවක් නොපවතින බව හා මනාවම අංග සම්පූර්ණව දේශනා කළ බව පාසාදික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත.
“බහුස‍්සුතො ඛො පන අයමායස‍්මා සුතධරො සුතසන‍්නිචයො යෙ තෙ ධම‍්මා ආදිකල්‍යාණා මජ‍්ඣෙකල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්‍ථං සබ්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං අභිවදන‍්ති, තථා රූපස‍්ස ධම‍්මා බහුස‍්සුතා හොන‍්ති. ධතා වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා” (ආදිබ්‍රහ්මචරියපඤ්ඤා සූත්‍රය – අ.නි. 5)
“මේ ආයුෂ්මත් වනාහි බහුශ්‍රැත වූයේ ය, ශ්‍රැතධර වූයේ ය, ඇසූ දේ රැස්කරන ලද්දේ වෙයි, ඒ මේ ධර්මය මුල සුන්දර වූ, මැද සුන්දර වූ, අවසානය සුන්දර වූ අර්ථ සහිත, ව්‍යඤ්ජන සහිත, කේවලත්වයම පිරෙන, පිරිසිදු වූ බ්‍රහ්මචරිය (නිවන් මඟ) දේශනා කර තිබේ. එබඳු ධර්මයන් බොහෝ අසන ලද්දේ වේ. ධාරණය කරගනී. වචනයෙන් ප්‍රගුණ කරන්නේය, මනසින් කල්පනා කරන්නේය, දැකීම් පිරිසිදු වන්නේය (සුතය වශයෙන්). ”
බහුශ්‍රැත විය යුත්තේ කුමන ධර්මයක් පිළිබඳව ද යන වග මේ දේශනා තුළින් හොඳින් ඉස්මතු වේ. ධාරණය කර ගත යුතු වන්නේ, එකතු කළ යුත්තේ බුදුවරුන්ට පමණක් ම ආවේණික දහමයි. එම දහමේ ස්වභාවය වන්නේ මුල, මැද හා අවසානය සුන්දර බවයි. එමෙන්ම අර්ථ ඇති බව ත් ඉස්මතු වී ඇත. එම නිසා ඇසූ ධර්මය අනුව අර්ථ විමසීමකට යොමු වේ. එමෙන්ම ව්‍යංජන පිළිවෙළක් ඇත. ධාතු, ආයතන, ස්කන්ධ, පටිච්චසමුප්පාදය ආදිය පාදක කරගෙන පෙන්වන දහම, එතෙර වන මාර්ගයක් ඉස්මතුවීම සඳහා පෙන්වා ඇත. එනිසා එම පද පිළිවෙළ විශේෂයෙන් ම වැදගත් වේ. මේ බව එකල අන්‍ය තීර්ථකයන් ද දැන සිටියහ. අන්‍ය තීර්ථකයන් පවා දැන සිටි කරුණු යමෙක් නොදන්නේ නම් අන්‍ය තීර්ථකයන්ටත් වඩා පහළ මට්ටමකින් බුදු වදන ගැන ඔවුන් කල්පනා කරති.
“තං ඛො පන භගවන‍්තං ගොතමං එවං කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගතො: ‘ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවාති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ‍්මකං සස‍්සමණබ්‍රාහ‍්මණිං පජං සදෙවමනුස‍්සං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙති. සො ධම‍්මං දෙසෙති ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සබ්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස‍්සනං හොතී’ති” (සේල සූත්‍රය – ම.නි. 2)
“ඒ භවත් ගෞතමයන් වහන්සේට මෙසේ සුන්දර කීර්ති රාවයක් පැතිරී ඇත. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං ය, සම්මා සම්බුද්ධ ය, විජ්ජාචරන සම්පන්න ය, සුගත ය, ලෝකවිදූ ය, අනුත්තර පුරුෂදම්මසාරථි ය, සත්ථා දේවමනුස්සානං ය, බුද්ධ ය, භගවා යයි. ඔහු මේ දෙවියන්, මරුන්, බ්‍රහ්මයන්, ශ්‍රමණ බ්‍රාරහ්මණයන් සහිත ලෝකයේ, දෙවිමිනිසුන් ප්‍රජාවට තමාම අවබෝධ කොට, සාක්ෂාත් කොට ප්‍රකාශ කරයි. ඔහු මුල සුන්දර වූ, මැද සුන්දර වූ, අවසානය සුන්දර වූ අර්ථ සහිත, ව්‍යඤ්ජන සහිත, කේවලත්වයම පිරෙන, පිරිසිදු වූ බ්‍රහ්මචරිය (නිවන් මඟ) ඉස්මතු වන ධර්මය දේශනා කරයි. එවන් රහතන් වහන්සේලාගේ දර්ශනය කොතරම් හොඳද?”
අන්‍ය තීර්ථකයන් පවා අසාමාන්‍ය ලෙස පැහැදීමක් ඇතිකරගන්නේ මේ දහමේ ඇති අර්ථාන්විත සුන්දරත්වය නිසාවෙනි. එමෙන්ම මෙම දහම නිවීම ම ඉලක්ක කර ඇත. එනම් විමුක්තිය ම හරය කොට පෙන්වා දී ඇත.
“විමුත‍්තිසාරා සබ‍්බෙ ධම‍්මා’ති” (කිංමූලක සූත්‍රය – අ.නි. 5)
“සියලු ධර්මයන්ගේ හරය විමුක්තිය යි”
“තෙ පන සමිද‍්ධි, කිං සාරාති? විමුත‍්තිසාරා භන‍්තෙති.” (සමිද්ධි සූත්‍රය – අ.නි. 6)
“සමිද්ධි, එහි (ධර්මය) හරය කුමක් ද? ස්වාමිනී, විමුක්තියයි හරය”
විමුක්තියම සාරය කොට පෙන්වා ඇති, උතුම් තථාගත දහම ප්‍රතිපදාත්වකවම ඒ බව ප්‍රකට කර ඇත. පිරිසිදු වූ බ්‍රහ්මචරියාවක් ම එම ධර්මය තුළ ඉස්මතු වේ. බ්‍රහ්මචරියාව යනු එතෙර වන මඟ වන ආර්ය අෂ්ටාංගික මාර්ගය යි..
“කතමඤ‍්ච භික‍්ඛවෙ, බ්‍රහ‍්මචරියං: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො” (බ්‍රහ්මචරිය සූත්‍රය – ස.නි. 5-1)
“මහණෙනි, බ්‍රහ්මචරියාව යනු කුමක්ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.”
මේ ආකාරයට ඉස්මතු වන ධර්මයක් බුදුරජාණන් වහන්සේ වදාළ බව දැනගෙන මුලින්ම එය ඉගෙන ගත යුතු වේ. අර්ථ විමසීමට පෙර එහි තිබෙන ස්වභාවය නිවැරදිව ඉගෙන ගැනීම මූලික ම කරුණ වේ.
තමන්ගේ අදහස්වලින් තොරව ධර්මයේ තියෙන කරුණු එලෙසට ම ඉගෙනගැනීම ට අවධානයෙන් ඇසිය යුතුය. ඒ බව සෝතානුධත සූත්‍රය තුළිනුත් පෙන්වා දී ඇත. එම අසන දහමෙහි කිසිදු පදයක් හෝ අකුරක් මඟ නොහැරෙන ලෙස මතක තබා ගත යුතු ම ය. එසේ නොවුණ හොත්, මුලින් පෙන් වූ කරුණු වලට යොමු වීමට නොහැක. යම්හෙයකින් හෝ එක් අකුරක් එක් පදයක්, මගහැරුනේ නම් පෙන්වූ දහම් පරියායේ අර්ථය ඉස්මතු නොවී අනර්ථයකට යොමුවේ. එබැවින් කිසිදු අකුරක් හෝ වචනයක් මග නොහැරීම පිණිස සජ්ඣායනා කිරීම අනිවාර්ය ම වේ. මෙය ශ්‍රැතයට ම අදාළ කරුණක් බව තථාගතයන් වහන්සේ වදාළ සේක. එමෙන්ම ශ්‍රැතයට ආහාරය වන්නේ ද සජ්ඣායනාව ම බව ඉට්ඨධම්ම සූත්‍රයේ දී ද සඳහන් විය. එසේ නොකර එම දහම් පරියායේ පිළිවෙළ කල්පනා කිරීමට යා නොහැක.
නිවැරදිව ධර්මය පද පිළිවෙළ සජ්ඣායනා කර මතක තබා ගැනීමෙන් පසු මනසින් කල්පනා කළ යුතු ආකාරය පිළිබඳව ඉදිරි ලිපියේදී සකච්ඡා කරමු.
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ