නේක වූ මිහිරි ගී සරින්, විහඟ ගායනා, ඇසෙද්දී, අතුපත් මල් පොකුරු, පිණි දියෙන් තෙමෙද්දී, සුදු සේද මිහිදුම් වළාවෙන්, කඳුමුඳුන් වැසෙද්දී, හිරු කුමරු දුර පේන, කඳු වලින් එබෙද්දී
අඳුර මැඩ එළිවූවාක් මෙන් දැනින. ආරණ්‍ය තුලට පිවිස ආරණ්‍යයේ නිර්මාතෘවන නායක ස්වාමින් වහන්සේ වැඩම කරන තුරු මදවේලාවක් නිහඬ වූ පරිසරය විඳිමින් සිටියදී, ගෞරවණීය වූ ස්වාමිපාදයන් වහන්සේ වැඩම කොට අනුපිලිවෙල කතාවක් බඳු වු සුහදශීලි කතාබහක නියැලුනෙමි.
මඳවේලාවක් නිහඬව සිට, ප්‍රබෝධමත් මනසේ නිහඬ බව දුරුකරමින් නායක ස්වාමින් වහන්සේ හඬ අවදි කලහ. “ස්වකීයත්වයටම කොටුවී, ඉන් කෙලෙස් වැගිරෙන අයුරුත්, දෘෂ්ඨිය හා සංකල්පයේ යථාර්ථය කෙබඳුද? ජීවිතයයි ධර්මයයි දෙකක්ද? ආදී ලෙසට බුදුරජාණන් වහන්සේ කුමක් වදාල සේක්ද? එනම් සක්කාය නිරෝධ දහමකි” යන වදන් එකිනෙකට විග්රහත්මකව ප්‍රශ්න කරමින් සවනතට මුදා හැරෙද්දී මගේ මතවාද, හැඟීම්, සිතිවිලි, කල්පනා පසෙක තබා ගම්භීර වූ වචන හමුවේ නිරුත්තරවම ස්වාමිපාදයන් වහන්සේගේ දේශණය අසා සිටිනු මිස කළයුතු යමක් නොවීය.
අහෝ! විමුක්තිය පසක් කළ ඒ උතුම් බණ පදයෙන්…
ජීවිත අඳුර මැඩ එළිවූවාක් මෙන් දැනින. මංමුලාවූ මා හට පාර පෙන්වූවා සේය. මාහට ලබාගැනීමට දෙයකුදු නොවීය. මට තේරුම් ගැනීමට යමක් සෙවීම වුවහොත් ස්වකීයත්වය තහවුරු කරගැනීමකි. මේ දහම වනාහි ලෝකයේ වචන වලින් විග්රහ වූවාට, ලෝකයෙන් එතෙර වීම පිණිසයි තථාගතයන් වහන්සේලා දහම් දෙසන්නෙ.
“තථාගතප්පවෙදිතො ධම්මවිනයො විවටො විරොචති නො පටිච්ඡන්නො”
මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්ම-විනය බබලන්නේ විවෘත කළ විටයි, සැඟවී තිබෙන විට නොවේ. – අං.නිකාය, භරණ්ඩු වග්ගය 09 සූත්‍රය.
මේ උතුම් බණ පදයේ අරුත මා දරා සිටින ලෙසට තාත්විකවම දැනෙන්නට විය. කුමක් කරම්ද, මම කවුද, මම මේ මොකක්ද කරන්නෙ, හාත්පසම තිබෙන්නේ තමා තහවුරු වන ලෙස ගත කරන ජීවිතයකි. මී වදයෙන් පැණි වැගිරෙන්නා සේ තමා හා බැඳුණු දකින්න දුෂ්කර වූ යම් දුකක් උරුම ජීවිතයේ අරුමය කිම?
අඳුර රජයන ජීවන අහස්තලයෙන් බැසගිය
සම්බුද්ධ නම් හිරුමඬලින්
ගලා හැලුණු දම්විනය නම් ආලෝක දහර
කළුවර සිත් අහසේ පායනා පුන් සඳ ලෙසින්
ලබා දෙන පින්වත් සමිඳුනේ…
අපහට අනුකම්පාවෙන් දහම කියා දෙන ලෙසට ආයාචනා කරන්නට සිත්විය. ඒ අදහස දැනගත්තාක් මෙන් අපහට නායක ස්වාමින් වහන්සේ විසින් රචිත දහම් පොත් කිහිපයක් ලබාදුනි. රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය තුල වැඩ වසමින් නායක ස්වාමින් වහන්සේ කරන සාසනික සේවාව අතිමහත්ය.
ගෝතම සසුන්කෙත අස්වැද්දවිම උදෙසා…
- ධර්ම-විනය සුරැඳුන පොත්වහන්සේලාගේ උතුම් ශ්‍රී මුඛ බුද්ධ දේශණා මුලසිට එකක් නෑර දේශණා කොට පවතී.
- නායක ස්වාමින් වහන්සේ විසින් රචිත දහම් පොත් බොහෝ ප්‍රමාණයක් සිංහල, ඉංග්‍රීසි භාෂා වලින් දෙස් විදෙස් දම් පිපාසය සංසිඳුවමින් පවතී.
- රෑනකෙටුවගල ආරණ්‍ය සෙනසුන ආරම්භ කළ 2013 වසරේ සිට මෙකල නිවෙන්නට වෙර දැරූ උතුම් වූ ඩෙන්මාර්කයේ ඤාණදීප වැනි මහ යතිවරුන්ට සහ සුපේෂල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලාට පහසු විහරණය ලබාදුන් සහ ලබාදෙන පුණ්‍ය භූමියකි.
- එලෙසම නායක ස්වාමින් වහන්සේගේ ආචාර්ය්යත්වයෙන් පැවිදිව, උන්වහන්සේගේ අනුශාසනාව යටතේ හික්මෙන්නට වෙර දරණ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාද කිහිප නමක්ම වැඩ සිටී.
රෑනකෙටුවගලින් ධම්මපාරමියට…
“ධම්මපීති සුඛං සෙති විප්පසන්නෙන චෙතසා. අරියප්පවෙදිතෙ ධම්මෙ, සදා රමති පණ්ඩිතො.”
“දහම් ප්‍රීතිය සැප ගෙනෙදේ. පණ්ඩිතයින් මනාව පැහැදුන සිතින් ආර්යන් වහන්සේලා වදාළ ධර්මයෙහි හැම කල්හිම ඇලෙයි.”
(ධම්මපදය – පණ්ඩිත වග්ගය 4 ගාථාව)
- අනුරාධපුර කටුකැලියාව ධම්මපාරමී ආරණ්‍ය සහ ධම්මපාරමී මෙහෙණි ආරණ්‍ය 2018 වසරේ සිට ආරම්භ කර ගිහි-පැවිදි ශ්‍රාවක පිරිසට දහම් සාකච්ඡා, ධර්ම දේශනා ස්වකීයත්ව නිරෝධ දහමට අනුගතව සිදුකරන සියලු ක්‍රියාකාරකම් සඳහා නවාතැන් පහසුකම් සහිතව ඉතා මනරම් ලෙස ඉදිකොට ඇත.
මෙවැනි ශාසනික මෙහෙවරක් සිදු කරණ ස්වාමින් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!
“දසබලසෙලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨඞ්ග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහ නිවන නම් මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව බොහෝ කල් ගලාබසින සේක්වා!
“උක්කාධාරො මනුස්සානං නිච්චං අපචිතො මයා.”
“මිනිසුනට නැණ පහන දල්වන්නා මා විසින් නිතර පුදන ලද්දාහු වෙත්.”