
පෙර ලිපියේ පැහැදිලි කළ අකාරයට ම විමුක්තිකාමී සමාජය තුළ තාත්විකව ව්‍යවහාර වූ තවත් කරුණු විමසා බලමු.
ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්මයන් තුළින් සමාධි සමාපත්තීන් ලබා ගත් ආකාරය ද එම විමුක්තිකාමී සමාජය තුළ වූ ලක්ෂණයක් වේ. ඒ බව බෝධිසත්වයන් වහන්සේ ගිහි ගෙයින් නික්ම විමුක්තිය සොයා ආළාර කාලාම තවුසා වෙත ගොස් එම දහම ශ්‍රද්ධාවෙන් ඉගෙන, ඉන්ද්‍රිය ධර්ම භාවිත කරමින් ආළාර කාලාම පෙන්වූ සත්‍යය අවබෝධ කිරීමට උත්සාහ කළ ආකාරය මෙසේ අරියපරියෙසන සූත්‍රයේ සඳහන් වේ.
“න ඛො ආළාරස්සේව කාලාමස්ස අත්‍ථි සද්ධා, මය්හම්පත්‍ථි සද්ධා. න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්‍ථි විරියං, මය්හම්පත්‍ථි විරියං. න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්‍ථි සති, මය්හම්පත්‍ථි සති. න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්‍ථි සමාධි, මය්හම්පත්‍ථි සමාධි. න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්‍ථි පඤ්ඤා, මය්හම්පත්‍ථි පඤ්ඤා. යන්නූනාහං යං ධම්මං ආළාරො කාලාමො ‘සයං අභිඤ්ඤා සච්ඡිකත්‍වා උපසම්පජ්ජ විහරාමී’ති පවෙදෙති. තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්‍ය”න්ති (සූ.පි., මජ්ඣිම නිකාය, මූලපණ්ණාසකය, ඔපම්ම වග්ග, අරියපරියෙසන සූත්‍රය)
“ශ්‍රද්ධාව ඇත්තේ ආළාරකාලාම හට පමණක් නො වේ. මට ද ශ්‍රද්ධාව ඇත. ආළාරකාලාම හට පමණක් ම වීර්‍ය්‍ය ඇත්තේ නො වේ. මට ද වීර්‍ය්‍ය ඇත. ආළාරකාලාම හට පමණක් ම සිහිය ඇත්තේ නො වේ. මට ද සිහිය ඇත. ආළාරකාලාම හට පමණක් ම සමාධිය ඇත්තේ නො වේ. මට ද සමාධිය ඇත. ආළාරකාලාම හට පමණක් ම ප්‍රඥාව ඇත්තේ නො වේ. මට ද ප්‍රඥාව ඇත. ආළාරකාලාම යම් ධර්‍මයක් තමන්ගේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරන්නෙමි’යි කියා කියයි නම්, මම ද ඒ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂ කිරීමට උත්සාහ කරන්නේ නම් මැනැවි යි”, බෝධිසත්වයෝ කල්පනා කළහ.
එනමුදු එම විමුක්තිකාමී සමජය තුළ තිබූ ප්‍රතිපදා තුළින් සත්‍ය අවබෝධ කර නිවීම සාක්ෂාත් කිරීමට නොහැකි වේ. බුදුරජාණන් වහන්සේගේ භාෂිතයෙන් පිට කිසිදු ශ්‍රමණයෙක් නොමැති බව ද තථාගතයන් වහන්සේ වදාළ සේක. එනම් සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන ශ්‍රමණවරුන්ගෙන් හිස් වේ.
“ඉධෙව භික්ඛවෙ සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්‍ථො සමණො. සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙති.” (සූ.පි., මජ්ඣිම නිකාය, මූල පණ්ණාසකය, සීහනාද වර්ගය, චුළසීහනාද සූත්‍රය)
“මහණෙනි, පළමු ශ්‍රමණයා ද (සෝතාපන්න), දෙවැනි ශ්‍රමණයා ද (සකදාගාමී), තුන්වැනි ශ්‍රමණයා ද (අනාගාමී), සිවුවැනි ශ්‍රමණයා ද (රහතන්වහන්සේ) මේ ශාසනයෙහි ම පමණක්ම සිටී. අන්‍ය වාද ඇති ශාසන තුළ ශ්‍රමණයන්ගෙන් හිස් වේ.”
මෙසේ ශ්‍රමණවරුන්ගෙන් හිස් ශාසනවල සිටින උතුම් ශ්‍රමණවරුන් ට රාග ද්වේෂ මෝහයන් ප්‍රහාණය වූ බව තමාට ප්‍රත්‍යක්ෂ වූ අතර, කාම, දිට්ඨි, සීලබ්බත යන උපාදානයන් ද දුරු වූ බව ප්‍රත්‍යක්ෂ විණි. එමෙන්ම ප්‍රපංච දුරු වී තණ්හාව දුරු වූ බව ත් අත්විඳිමින් නිවීම සාක්ෂාත් කළ බව ට මුලා වූහ.
“තස්මා තෙ භොන්තො සමණබ්‍රාහ්මණා සබ්බුපාදානපරිඤ්ඤාවාදා පටිජානමානා තෙ න සම්මා සබ්බුපාදාන පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. දිට්ඨුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. සීලබ්බතුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. න අත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති.”
“එ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ, සියලු උපාදානයන්ගේ පිරිසිඳ දැකීම පනවන්නෙමි’යි ප්‍රතිඥා දෙති. ඔවුහු මැනවින් සියලු උපාදානයන්ගේ පිරිසිඳ දැකීම පනවන්නේ නැත. කාම උපාදානයේ පිරිසිඳ දැකීම පනවති. දිට්ඨි උපාදානයේ පිරිසිඳ දැකීම පනවති. සීලබ්බත උපාදානයේ පිරිසිඳ දැකීම පනවති. අත්තවාද උපාදානයේ පිරිසිඳ දැකීම නො පනවති.”
“සම්මා ව්‍යාකරමානා භික්ඛවෙ අඤ්ඤතිත්‍ථියා පරිබ්බාජකා එවං ව්‍යාකරෙය්‍යුං: නිප්පපඤ්චාරාමස්සාවුසො සා නිට්ඨා නිප්පපඤ්චරතිනො, න සා නිට්ඨා පපඤ්චාරාමස්ස පපඤ්චරතිනො’ති.”
“මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නා වූ අන්‍ය තීර්තක පරිබ්‍රාජකයෝ මෙසේ ප්‍රකාශ කරති. ඇවැත්නි, එනම් ප්‍රපංචයේ ඇසුරු නොකොට ගෙන, ප්‍රපංච කිරීමට නොඇලී වාසය කිරීමයි. ප්‍රපංචකිරීම ඇසුරුකිරීම හා ප්‍රපංචකිරීමේ ඇලීම ඇති කෙනා නිෂ්ඨාවට පත් නො වෙයි.”
“සම්මා ව්‍යාකරමානා භික්ඛවෙ අඤ්ඤතිත්‍ථියා පරිබ්බාජකා එවං ව්‍යාකරෙය්‍යුං: වීතමොහස්සාවුසො සා නිට්ඨා, න සා නිට්ඨා සමොහස්සාති.”
“මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නා වූ අන්‍ය තීර්තක පරිබ්‍රාජකයෝ මෙසේ ප්‍රකාශ කරති. ඇවැත්නි එනම් මෝහය දුරුවූවෝ නිෂ්ඨාවට පත් වේ. මෝහය සහිත කෙනා නිෂ්ඨාවට පත් නො වෙයි.”
මේ ආකාරයට ශ්‍රමණවරුන් ගෙන් හිස් ශාසන ප්‍රතිපත්තිය ඉතාම මනහර වේ. එමෙන් ම කොපමණ සැනසීම ක් ලබන්න ඇති ද? එනමුත් තථාගතයන් වහන්සේ වදාළ සක්කාය නිරෝධ දහමක් ඒ තුළ ප්‍රකට වූයේ ම නැත. වර්තමානය තුළ මනාව සිහිය පිහිටුවාගෙන අතීත අනාගතය අනුව නොගොස් මේ ජීවිතයේම නිවුණු බවට රැවටුණු අයද බොහෝ සිටියහ. මේ ප්‍රතිපදා තුළ කොපමණ වැදගත් බවක් ප්‍රකට වුවද ශ්‍රමණයන්ගෙන් හිස් ම වේ.
“යදෙව තත්‍ථ සුඛමිති චෙතසො ආභොගො එතෙනෙතං ඔළාරිකං අක්ඛායති. යතො ඛො භො අයං අත්තා සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්‍ථගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්‍ථං ඣානං උපසම්පජ්ජ විහරති, එත්තාවතා ඛො භො අයං අත්තා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොතී’ති. ඉත්‍ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති.” (සූ.පි., දීඝ නිකාය, සීලස්කන්‍ධ වර්‍ගය, බ්‍රහ්මජාල සූත්‍රය)
“යම් ඒ සැප යැයි සිතෙහි නැමුණු බව ක් වේද එයද ගොරෝසු බව වැටහේ. යම්විටෙක ලැබුණු ධ්‍යාන වූ තමාගේ සැපයේ ප්‍රහාණයෙන්, දුකේ ප්‍රහාණයෙන් ද, මුලින්ම සෝමනස්ස දෝමනස්ස දුරුවීමෙන් ද, දුක සැප නැති සිහිය සහිත උපේක්ෂාවේ පිරිසිඳුබවින් යුතු සතරවන ධ්‍යානය ලබාගෙන වාසය කරයි. භවන්ත්නි මෙතෙකින්ම තමා යැයි ලැබුණු උතුම් දිටු දැහැමේ ලැබුණු නිවීම වේ. මෙසේ ඇතැමුන් සත්වයාට ප්‍රකටවන ලෙස උතුම් දිටු දැහැමේ නිවීම පනවති.”
“ඉධ පන භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා පුබ්බන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා අපරන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා සබ්බසො කාමසඤ්ඤොජනානං අනධිට්ඨානා පවිවෙකාය පීතියා සමතික්කමා නිරාමිසස්ස සුඛස්ස සමතික්කමා අදුක්ඛමසුඛාය වෙදනාය සමතික්කමා සන්තොහමස්මි නිබ්බුතොහමස්මි අනුපාදානොහමස්මී’ති සමනුපස්සති” (සූ.පි., මජ්ඣිම නිකාය, උපරිපණ්ණාසකය, දෙවදහ වර්‍ගය, පඤ්චත්තය සූත්‍රය)
“මහණෙනි, ඇතැම් මහණෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ පූර්‍වාන්තානු දෘෂ්ටීන් (අතීත අනුව වූ දැකීම්) ද දුරැලීමෙන් හා අපරාන්තානු දෘෂ්ටීන් (අනාගත අනුව වූ දැකීම්) ද දුරැලීමෙන් සම්පූර්ණයෙන්ම කාම සංයොජනයන් (කාමය හා එකතුවීම්) බැහැර කිරීමෙන් විවේකය, ප්‍රීතිය ඉක්මවීමෙන් නිරාමිස සැපය ඉක්මවීමෙන් අදුක්ඛමසුඛ වේදනාව ඉක්මවීමෙන් මම ශාන්ත වූ බව, මම නිවුණු බව, මම උපාදාන නැති බව සම්මර්ශනය කරයි.”
ඉහත සඳහන් දේශනා පාඨ තුළින් විද්‍යාමාන වනුයේ විමුක්තිකාමී සමාජය තුළ බුදුරජාණන් වහන්සේ නමකගේ දහමින් තොරව අති ගම්භීර වූ ශාන්ත සුන්දර ප්‍රතිපදා තිබූ බව ය.
තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ සැබෑ ම බුද්ධ වචනය නොදන්නා කෙනෙකුට මේ සියලු ක්‍රමයන් නිවන් මඟ යැයි සිතෙන්නට පුළුවනි. එනමුදු ඒ සියල්ලම ශ්‍රමණවරු නැති ශාසන ප්‍රතිපත්ති ම වේ. එපමණක් නොව තථාගතයන් වහන්සේ පෙන්වා දෙන ආනාපානසතියට අමතර වූ ආනාපානසතියක් ද ඒ උතුම් විමුක්තිකාමීහු පුරුදු කළහ. මේ සියලු ප්‍රතිපදා තුළින් අධ්‍යාත්මය තුළ සැනසීමක් ලැබෙන අතර ම ලෝකයෙන් නිදහස් නොවී ලෝකය තුළ ම සිටිමින් සසර ගමන් කරයි. ඒ බව ලබන සතියේ සාකච්ඡා කරමු.
——————————–
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ