සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 5

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 5

වසර 2600 කට පමණ පෙර දී දේශනා කරන්නට යෙදුණු ඒ බුදුරජාණන් වහන්සේගේ දහම ඉගෙන ගැනීම සඳහා තවත් විශේෂ කරුණක් පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ. එනම්, එකල ව්යවහාර වූ භාෂාව දැන ගත යුතු වීමයි. යම් කරුණක් තවත් කෙනෙකුට සන්නිවේදනය වන්නේ භාෂාව හරහා ය. යම් හෙයකින් ඒ භාෂාව නිවැරදි ව දැන නොසිටියේ නම් ඒ පෙන්වන කරුණු වටහා ගත නොහැකි වේ . ලෝකය තුළ ව්යවහාර වන අර්ථයන් ද වටහා ගැනීම ට භාෂාව පමණකුදු නොව කොමාව (,) හා නැවතීමේ තිත (.) පවා බලපායි.

උදා: “සමන් මරන්න එපා, නිදහස් කරන්න.”

“සමන් මරන්න, එපා නිදහස් කරන්න.”

කොමාව (,) හා නැවතීමේ තිත (.) අනුව අර්ථය පරස්පර විරෝධීවන බව මේ උදාහරණයෙන් පැහැදිලි වේ. එබැවින් එකල ව්යවහාරික භාෂාව හා ඒවා යෙදුණු අවස්ථා අනුව ම අර්ථයන් සෙවිය යුතු වේ.

එමෙන් ම එය ව්යවහාර වන පරියාය අනුව ද අර්ථය වෙනස් වේ.

උදා:

කෝලාහලයකදී වෛරයෙන් යුතු ප්රකාශය:

“සමන්ගේ කොන්දට ගහන්න.”

ආහාර හිරවී හෝ පිටඋගුරේ ගිය විට මෛත්රියෙන් යුතු ප්රකාශය:

“සමන්ගෙ කොන්දට ගහන්න.”

මේ ආකාරයට, යෙදුණු අවස්ථා අනුව සම්පූර්ණයෙන්ම අර්ථය වෙනස් වේ. එම නිසා එකල භාෂාව පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතු ම වේ. ඉන්දියාවේ මගධ දේශයේ ව්යවහාර වූ භාෂාව, මාගධී භාෂාව නම් වේ. එයට පාලි භාෂාව යැයි ද හඳුන්වනු ලැබේ. මේ භාෂාව ට අනන්ය වූ අක්ෂරයන් නොමැත. ඉගෙන ගන්නා වූ භාෂාවට අනුව මාගධී භාෂාව ලිවීම සිදු කිරීම සඳහා ශබ්දය අනුව ඒ ඒ භාෂාවේ අක්ෂර භාවිතයෙන් පාලි හෝඩියක්, ව්යාකරණ රීති සම්පාදනය කළ අය විසින් සකස් කර ඇත. ගැඹුරු ව්යවහාර හා අරුත් ඇති ඒ භාෂාවේ යෙදීම් අනුව ඉගෙන ගෙන ඒ භාෂාමය අර්ථය ස්වකීය වූ භාෂාවට අනුව යොමු වී වටහා ගතයුතු වේ. එසේ නොවුණහොත් එම ගැඹුරු ධර්මය වටහා ගත නොහැකි වනු ඇත.


“ඉධ භික්ඛවෙ, තදෙව එකච්චෙසු ජනපදෙසු පාතීති සඤ්ජානන්ති. පත්තන්ති සඤ්ජානන්ති. විත්ථන්ති සඤ්ජානන්ති. සරාවන්ති සඤ්ජානන්ති. ධාරොපන්ති සඤ්ජානන්ති. පොණන්ති සඤ්ජානන්ති. පිසීලවන්ති සඤ්ජානන්ති. ඉති යථා යථා නං තෙසු තෙසු ජනපදෙසු සඤ්ජානන්ති: ඉදං කිර මෙ; ආයස්මන්තො සන්ධාය වොහරන්තීති. තථා තථා වොහරති අපරාමසති. එවං ඛො භික්ඛවෙ ජනපදනිරුත්තියා ච අනභිනිවෙසො හොති. සමඤ්ඤාය ච අනතිසාරො.” (මජ්ඣිම නිකාය, උපරි පණ්ණාසකය, විභඞ්ග වග්ගය, අරණවිභඞ්ග සූත්රය)


“මහණෙනි, එකම බඳුනට ඇතැම් ජනපදයන්හි ‘පාති’ යන්නෙන් හඳුන්වයි. ‘පත්ත’ යන්නෙන් හඳුන්වයි. ‘විත්ථ’ යන්නෙන් හඳුන්වයි. ‘සරාව’ යන්නෙන් හඳුන්වයි. ‘ධාරොප’ යන්නෙන් හඳුන්වයි. ‘පොණ’ යන්නෙන් හඳුන්වයි. ‘පිසීලව’ යන්නෙන් හඳුන්වයි. මෙසේ වෙනස් ආකාරයන්ට එකම බඳුනට ඒ ඒ ජනපදයන්හි හඳුනාගනිත් ද, එපරිද්දෙන් ම ඒ ආයුෂ්මතුන් එයට ව්යවහාර කෙරෙයි. එපරිද්දෙන් ව්යවහාර කළද, එය දැඩිව ග්රහණය නොකරගනී. මහණෙනි මෙසේ, ඒ ඒ ජනපද නිරුක්ති වලට නොබැසගැනීම ද, ව්යවහාර නොයික්මවීම ද වේ.”

යමක් කෙනෙකුට පවසන විට එම කරුණෙහි අර්ථය වටහාගැනීම සඳහා ඔහු ව්යවහාර කරන භාෂාව තුළින් පෙන්වාදීම හෝ තමන් ව්යවහාර කරන භාෂාව ඉගැන්වීම හෝ සිදුකළ යුතු වේ. එසේ නොවුනහොත් එම අර්ථය අන් අයට සන්නිවේදනය නොවේ. ව්යවහාර කරන භාෂාවට රිංගා නොගෙන අර්ථය පෙන්වීම සඳහා පමණක් එම භාෂාව භාවිත වන බව අරණවිභඞ්ග සූත්රයේන් පැහැදිලි වේ.

ශූරත්ත්වයත්, සතිමත් බවත් ඉහළින් තිබූ විමුක්තිකාමී සමාජය තුළ මාගධී භාෂාව ව්යවහාරික භාෂාවක් ලෙස ඉතාමත් තාත්වික ලෙසට ව්යවහාර කර ඇත. මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් මූලික බුද්ධ වචනය ඉගෙන ගැනීමට යොමුවිය යුතු වේ.

මාගධී භාෂාව ව්යවහාර කළ සමාජයක පහළ වූ බුදුරජාණන් වහන්සේට තමන් අවබෝධ කළ ලෝකෝත්තර ධර්මය දේශනා කිරීමට ලෝකයේ ව්යවහාර වන භාෂාවට අනුව ද අපහසු බව වැටහිණි. අසාමාන්ය අධ්යාත්මික හැකියාවකින් යුතු මිනිසුන් සිටින කාලයක හා එම සමාජයක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී තමන් අවබෝධ කරගත් ධර්මය අන් අයට දේශනා කිරීම වෙහෙසක් පමණක් ම බව ද සිතූ සේක.

“අධිගතො ඛො ම්යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. ආලයරාමා ඛො පනායං පජා ආලයරතා ආලයසම්මුදිතා. ආලයරාමාය ඛො පන පජාය ආලයරතාය ආලයසම්මුදිතාය දුද්දසං ඉදං ඨානං යදිදං ඉදප්පච්චයතාපටිච්චසමුප්පාදො. ඉදම්පි ඛො ඨානං දුද්දසං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අහඤ්චෙව ඛො පන ධම්මං දෙසෙය්යං පරෙ ච මෙ න ආජානෙය්යුං, සො මමස්ස කිලමථො, සා මමස්ස විහෙසාති” (මජ්ඣිම නිකාය, මූල පණ්ණාසකය, ඔපම්ම වග්ගය, අරියපරියෙසන සූත්රය)

“මා අවබෝධ කළ මේ ධර්මය ගැඹුරු ය. දැකීමට, අවබෝධකිරීමට අපහසු ය. ශාන්තය. ප්රණීත ය. තර්කයෙහි හැසිරීමක් නොමැත. තීක්ෂණ බුද්ධියෙන් පණ්ඩිතයන් විසින් දත යුතු ය. මේ ලෝකයා ඇලීමෙහි ඇලුන, ඇලීමෙහි සතුටුවන, ඇලීමෙහි වාසය කරන්නාහ. එසේ වාසය කරන ලෝකයාට යම් මේ ඉදප්පච්චයතාව නම් වූ පටිච්ච සමුප්පාදය දකින්නට දුෂ්කර ය. යම් මේ සියලු සංස්කාර සංසිඳීම, සියලු උපදි දුරුකිරීම, තණ්හාව දුරුවීම, රාගය දුරුවීම, නිරෝධවීම, නිවීම ද දකීම දුෂ්කර ය. මම දහම් දෙසන්නේ නම් අන්ය අය එය අවබෝධ නොකරගන්නෝ ය. එය මට ක්ලාන්ත වීමකි. එය මට වෙහෙසකි.”

කිසිම කෙනෙකුට සමාන කළ නොහැකි අසාමාන්ය හැකියාවෙන් යුතු වූ බුදුරජාණන් වහන්සේට ශූරත්ත්වය හා සතිමත් බවින් අග්ර වූ විමුක්තිකාමී සමාජයේ මිනිසුන්ට ද දහම් දේශනා කිරීමට මන්දෝත්සාහී වූයේ නම්, එම දහම කෙතරම් ගැඹුරු එකක් ද යන වග මනාව පසක් වේ. අවබෝධ කිරීමට දුෂ්කර වූ, පණ්ඩිතයන් පමණක් දකින, තර්කයක හැසිරීමක් නැති, සූක්ෂම වූ ගැඹුරු ධර්මය දේශනා කළ නොහැකි බව සිතුණු බුදුරජාණන් වහන්සේ, ශූරත්ත්වයෙන්, සතිමත් බවින් අග්ර විමුක්තිකාමී සමාජයේ ප්රඥාවන්ත මිනිසුන්ට පහුරක්, උපමා ලෙස යෙදෙන අයුරින් ධර්මය පෙන්වා වදාළ සේක. යම් ප්රඥාවන්තයෙක් ඒ දහම නිවැරදිව ශ්රවනය කළේ නම් තථාගත දහමට අධ්යාත්මය තුළින් යොමුවීමේදී ම පහුරක් ලෙසටම ප්රායෝගිකත්ව ය අනුව ම යෙදේ. එලෙසට සිදු නොවන්නේ නම් සර්පයාගේ නගුටෙන් ඇල්ලුවාක් මෙන් ඔහුව විනාශ වී යයි.

දහම පහුරක් බව ත්, වැරදි ලෙස ඉගෙනගත්තේ නම් සර්පයාගේ නගුටෙන් ඇල්ලීමෙන් තමාව ම විනාශ වෙන බවත් ඉදිරි ලිපියේ දී සාකච්ඡා කරමු.

—————————


පූජ්ය අලව්වේ අනෝමදස්සි හිමි

රෑනකෙටුවගල ආරණ්ය සේනාසනය

වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *


The reCAPTCHA verification period has expired. Please reload the page.