සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 4

සක්කාය දිට්ඨිය දුරු කිරීම - 3

වසර 2600 කට පමණ ඉහත දී වදාළ, ඒ බුද්ධ වචනය අනුව මේ දක්වා විවිධ අය විවිධ අර්ථකථනයන් ඉදිරිපත් කරමින් පවත්වාගෙන පැමිණියහ. එලෙසට කුමන අර්ථකථන ඉදිරිපත් කළ ද මූලික බුද්ධ වචනයට කිසිදු වෙනසක් නොකිරීමට ඔවුහු වගබලා ගත්හ. මේ වන විට බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ නොවසන නිසා අපට බුදුරජාණන් වහන්සේගෙන් ම ධර්මය ඇසෙන්නේ නැත. එසේ නම් තථාගතයන් වහන්සේ වදාළ සියලු බුදු වදන් දරාගත්තේ කවුරුන්ද යන්න වග සොයා බැලිය යුතු වේ. ඒ, ආනන්ද ස්වාමීන් වහන්සේ යි. මතක තබා ගැනීමෙන් අග්ර වූ ආනන්දයන් වහන්සේ, තථාගතයන් වහන්සේ වදාළ සියලු ධර්මය දරාගෙන වැඩ සිටි සේක.
“එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං බහුස්සුතානං යදිදං ආනන්දො, එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං සතිමන්තානං යදිදං ආනන්දො, එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ගතිමන්තානං යදිදං ආනන්දො, එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ධිතිමන්තානං යදිදං ආනන්දො, එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං උපට්ඨාකානං යදිදං ආනන්දො.” (අඞ්ගුත්තර නිකාය, එකක නිපාතය, එතදග්ග පාළිය)
“මහණෙනි, මාගේ ශ්රාවකයන් අතරින් බහුශ්රැත බවින් අග්රම ආනන්ද වේ, මහණෙනි, මාගේ ශ්රාවකයන් අතරින් සතිමත් බවින් අග්රම ආනන්ද වේ, මහණෙනි, මාගේ ශ්රාවකයන් අතරින් යහපත් පැවතුම් අතින් අග්රම ආනන්ද වේ, මහණෙනි, මාගේ ශ්රාවකයන් අතරින් ධාරණ ශක්තිය අතින් අග්රම ආනන්ද වේ, මහණෙනි, මාගේ ශ්රාවකයන් අතරින් උපස්ථාන කිරීම අතින් අග්රම ආනන්ද වේ.”

ආනන්ද ස්වාමින් වහන්සේ අග්ර උපස්ථායක වීමට ප්රථමයෙන් බුදුරජාණන් වහන්සේ ගෙන් ඉල්ලා සිටි ඉල්ලීම් අතර, බුද්ධත්වයට පත් වූ දා පටන් දේශනා කළ සියලු ධර්මයන් නැවත තමාට දේශනා කරන ලෙසට සහ තමන් නැති තැන දේශනා කළ සියල්ල ම ද නැවත තමාට දේශනා කරන ලෙසටයි. මතක තබාගැනීමෙන් අග්ර වූ ආනන්ද ස්වාමීන් වහන්සේට අසා ධරාගත් එම ධර්මය මතක තබා ගැනීමට අපහසු වූයේ ද නැත.
“ද්වාසීති බුද්ධතො ගණ්හිං, ද්වෙ සහස්සානි භික්ඛුතො;
චතුරාසීතිසහස්සානි, යෙ මෙ ධම්මා පවත්තිනො.”
(ඛුද්දක නිකාය, ථෙරගාථා පාළිය, තිංසති නිපාත, ආනන්දත්ථෙර ගාථා)
“අසූ දෙදහසක් වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැනගතිමි. දෙදහසක් වූ භික්ෂූන්ගේ ධර්මය දැනගතිමි. යම් ඒ අසූහාරදහසක් වූ ධර්මය මා තුළ පවතී.”

“බහුස්සුතො ධම්මධරො, කොසාරක්ඛො මහෙසිනො;
චක්ඛු සබ්බස්ස ලොකස්ස, පූජනීයො බහුස්සුතො.”
“බහුශ්රැත වූ ධර්මධර වූ මහා ඍශිගේ ධර්ම භාණ්ඩාගාරය ආරක්ෂා කරා වූ ඒ පූජනීය බහුශ්රැත භික්ෂුව සියලු ලෝකයටම ඇසක් බඳුය.”
“බහුස්සුතො ධම්මධරො, කොසාරක්ඛො මහෙසිනො;
චක්ඛු සබ්බස්ස ලොකස්ස, අන්ධකාරෙ තමොනුදො.”
“බහුශ්රැත වූ ධර්මධර වූ මහා ඍෂිගේ ධර්ම භාණ්ඩාගාරය ආරක්ෂා කරා වූ ඒ භික්ෂුව අන්ධකාරයේ අඳුර දුරලන සියලු ලෝකයටම ඇසක් බඳුය.”
“ගතිමන්තො සතිමන්තො, ධිතිමන්තො ච යො ඉසි;
සද්ධම්මධාරකො ථෙරො, ආනන්දො රතනාකරො.”
“යහපත් ගති පැවතුම් ඇති, සතිමත් බව ඇති, ධාරණ ශක්තිය ද ඇති ඍෂිවරයෙක් වන ආනන්දයන් ස්ථවිරයන් වහන්සේ රන් ආකරයක් මෙන් සද්ධර්මය දරාගෙන සිටිති.”

තථාගතයන් වහන්සේ යමක් වදාළ ද, එය ඒ ආකාරයටම ක්රියාවෙන් සිදුකරන සේක. එය තථාගතයන් වහන්සේගේ තථාගත ස්වභාවය යි.
“යථාවාදී භික්ඛවෙ තථාගතො තථාකාරී. යථාකාරී තථාගතො තථාවාදී. ඉති යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී, තස්මා තථාගතො’ති වුච්චති.” (ඛුද්දක නිකාය, ඉතිවුත්තක පෙළ, චතුෂ්ක නිපාතය, ලෝකාවබෝධ සූත්රය)
“මහණෙනි, තථාගතයන් වහන්සේ යම්සේ කියන්නේ ද, එසේ ම කරන්නේ වේ. තථාගතයන් වහන්සේ යම්සේ කරන්නේ ද, එසේ ම කියන්නේ වේ. මේ ආකාරයට යම්සේ කියන්නේවේ ද එසේම කරන්නේ වේ. යම්සේ කරන්නේ ද එසේම කියන්නේ වේ. එහෙයින් තථාගත යැ යි කියනු ලැබේ.”

මේ කරුණු ගැන සොයා බලන විට තථාගතයන් වහන්සේ වදාළ සියලු ධර්මයන් ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කර ඇති බව වටහා ගත හැකි වේ. ඒ සියල්ල ඒ විදියට ම ආනන්ද ස්වාමීන් වහන්සේ මතක තබාගෙන ද ඇත. මෙසේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු දේශනා මූලික බුදු වදන් බව වටහා ගත හැකි වේ. තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ පසුව පළමු ධර්ම සංඝායනාව පැවැත්වී ය. විවිධ තැන්වල දේශනා කළ ඒ සියලු ධර්මයන් එක්තරා ක්රමයකට සකස් කිරීම හා අන් අයට මතක තබා ගැනීම සඳහා සැලැස්වීම මේ සංඝායනාවේ දී සිදුවි ය.

ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ සියලු ධර්මයන් “එවං මෙ සුතං” (එනම් “මා විසින් මෙසේ අසන ලදී.”) ලෙස ඉදිරිපත් කළහ. එම සියල්ල පරියාය, නිදානය, ව්යංජනය ඒ ආකාරයට ම ඉදිරිපත් විය. ආචාර්ය පරම්පරාවෝ ඒවා ඒ අයුරින්ම මතක තබාගත්හ. ඒ මූලික බුදු වදන අදට ත් පවතින්නේ ඒ නිසා ම ය. වෙනත් වූ කිසිවෙකුගේ විස්තරයකින් තොරව පවතින මූලික බුද්ධ වචනය “එවං මෙ සුතං” ලෙස ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන ලදී. එම මූලික බුදු වදනට යොමු වූ විට පමණක් ම තථාගත දහම අන්ය වූ විමුක්තිකාමී දහමින් වෙන් කොට වටහාගත හැකි වේ. ඒ සඳහා පරියාය, ව්යංජනය මනාව ඉගෙන ගත යුතු වේ. එසේ නොවුන හොත් බුදු වදන විනාශ කිරීමට යොමු වන බව ද තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ සේක.

“ඉධ භික්ඛවෙ, භික්ඛූ දුග්ගහිතං සුත්තන්තං පරියාපුණන්ති දුන්තික්ඛිත්තෙහි පදබ්යඤ්ජනෙහි. දුන්නික්ඛිත්තස්ස භික්ඛවෙ පදබ්යඤ්ජනස්ස අත්ථොපි දුන්නයො හොති. අයං භික්ඛවෙ, පඨමො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති ” (අඞ්ගුත්තර නිකාය, පඤ්චක නිපාතය, චතුත්ථො පණ්ණාසකය, සද්ධම්ම වග්ගය, තතියසද්ධම්මසම්මොස සූත්රය)
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව පිළිවෙළකට ධර්මය උගත්තේ නොවෙයි, පද ව්යංජනයන්ද පිළිවෙළකට නොගත්තේ වෙයි. මහණෙනි, වැරදි ලෙස පද ව්යංජන ඉගෙනගත් විට අර්ථය විනාශ කරගත්තා වෙයි. මහණෙනි, සද්ධර්මය විනාශ කරන, අතුරුදහන් කරන, පළමු කරුණ මෙය වෙයි.”

ලෝකයෙන් එතෙරවන ප්රතිපදාවක් වන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ලෝකයේ ඇති වචන භාවිත කරමින් පැහැදිලි කර ඇත්තේ එම වචන වලට රිංගා නොගෙන සියලු ව්යවහාරිකත්වයන් ඉක්මවීම සඳහා ය. එබැවින් ඒ තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ පද පිළිවෙළ, පරියාය යන සියල්ල නිවැරදි ව ඉගෙනගත යුතු වේ. එසේ නොකළහොත් ලෝකයේ ව්යවහාර වන වචන භාවිත කරමින් පෙන්වා වදාළ, බුදුරජාණන් වහන්සේට පමණක් ආවේණික ලෝකෝත්තර මඟ ඉස්මතු නොවේ. එනම් බුදුරජාණන් වහන්සේට පමණක් ආවේණික ලෝකෝත්තර මඟ අතුරුදහන් වේ. විනාශ වේ. එබැවින් එම ධර්මය වදාළ ව්යවාහාරික සමාජයේ වූ භාෂාව වන මාගධී භාෂාව (පාලි) පිළිබඳව ද මනා අවබෝධයක් තිබිය යුතු වේ. ඒ පිළිබඳව ඉදිරි ලිපියේ දී සාකච්ඡා කරමු.

 

““““““““““““““““““““““

පූජ්ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *