සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 3

දඹදිව විමුක්තිකාමී සමාජය තුළ විමුක්තිකාමීහු විමුක්තිය සෙවීම සඳහා ලෝකයේ යථාර්තවාදී ප්‍රතිපදාවන් ලෙස භාවනා මාර්ග පුරුදුකළහ. ඒ අතර ආනාපානසති භාවනාව ද ප්‍රධාන ප්‍රතිපදාවක් ලෙස වැඩූහ.
“යථා කථං පන ත්‍වං අරිට්ඨ, භාවෙසි ආනාපානසතින්ති. අතීතෙසු මෙ භන්තෙ, කාමෙසු කාමච්ඡන්‍දො පහීනො. අනාගතෙසු මෙ කාමෙසු කාමච්ඡන්‍දො විගතො. අජ්ඣත්තබහිද්ධා ච මෙ ධම්මෙසු පටිඝසඤ්ඤා සුප්පටිවිනීතා. සො සතොව අස්සසාමි සතො පස්සසාමි. එවං ඛො’හං භන්තෙ, භාවෙමි ආනාපානසතින්ති.” (සංයුත්ත නිකාය, මහා වර්‍ගය, ආනාපාන සංයුක්තය, එකධම්ම වර්‍ගය, අරිට්ඨ සූත්‍රය)
“අරිට්ඨ, නුඹ කෙසේ නම් ආනාපානසතිය වඩන්නේද?. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අතීත කාමයන්හි මාගේ කාමච්ඡන්‍දය ප්‍රහීණ වූයේ ය. අනාගත කාමයන්හි මාගේ කාමච්ඡන්‍දය ප්‍රහාණය වූයේ ය. ආධ්‍යාත්මික බාහිර ධර්මයන් කෙරෙහි මාගේ පටිඝ සංඥාව මනාව ප්‍රහාණය වූයේ ය. ඒ මම සිහියෙන් ම ආශ්වාස කරමි. සිහියෙන් ම ප්‍රශ්වාස කරමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මෙසේ මම ආනාපානසතිය වඩමි.”
බුදුරජාණන් වහන්සේගේ ආනාපාන සතිය පිළිබඳ වදාළ ධර්මය ඇසීමෙන් තොරව, විමුක්තිකාමී සමාජය තුළ සිට පැවිදි වූ අය ද ඒ සමාජය තුළ තිබූ ආනාපානසති භාවනාව පුරුදු කර ඇත. එය වැරදි නැති බව බුදුරජාණන් වහන්සේ වදාළ අතර බුදුරජාණන් වහන්සේ නමක් පමණක් ම පෙන්වන ලෝකයෙන් එතෙරවීම සඳහා වූ ආනාපානසති භාවනාව ද විස්තර වශයෙන් දේශනා කළහ.
දක්ෂතාවයක්, සතිමත් බවක් සහ බ්‍රහ්මචරියෙන් අග්‍ර වූ විමුක්තිකාමී සමාජයක් තුළ මේ ආකාරය ට උතුම් ප්‍රතිපදාවන් පුරුදු කරමින් අන්‍ය ශ්‍රමණවරුන් සිටීම අරුමයක් ද නොවේ.
එමෙන්ම, ඒ උතුම් අන්‍ය ශ්‍රමණවරු ප්‍රඥාව දුර්වල කරන නීවරණයන් ප්‍රහාණය කිරීම ත්, එලෙසට නීවරණ ප්‍රහාණ වූ විට බොජ්ඣංග ධර්මයන් භාවිත කීරීමත් හොඳින් කළහ.
“අථ ඛො තෙ භික්ඛූ යෙන අඤ්ඤතිත්‍ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්‍වා තෙහි අඤ්ඤතිත්‍ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ තෙ අඤ්ඤතිත්‍ථියා පරිබ්බාජකා එතදවොචුං: සමණො ආවුසො, ගොතමො සාවකානං එවං ධම්මං දෙසෙති. “එථ තුම්හෙ භික්ඛවෙ, පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ සත්තබොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙථා”ති. මයම්පි ඛො ආවුසො, සාවකානං එවං ධම්මං දෙසෙම. “එථ තුම්හෙ ආවුසො, පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ සත්තබොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙථා”ති. ඉධ නො ආවුසො කො විසෙසො, කො අධිප්පායො, කිං නානාකරණං, සමණස්ස වා ගොතමස්ස අම්හාකං වා යදිදං ධම්මදෙසනාය වා ධම්මදෙසනං අනුසාසනියා වා අනුසාසන්ති” (සංයුත්ත නිකාය, මහා වර්‍ගය, බොජ්ඣඞ්ග සංයුක්තය, බොජ්ඣඞ්ග වර්‍ගය, පරියාය සූත්‍රය)

“එකල්හි භික්‍ෂූහු අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය කරා එළඹියහ. එළඹ ඒ අය සමඟ සතුටු සාමීචි කතාවේ යෙදී එකත් පසෙකව සිටියහ. ඒ භික්‍ෂූන්ට අන්‍ය පරිබ්‍රාජකයෝ මෙසේ කීහ: ඇවැත්නි, “ශ්‍රමණ ගෞතමයන් මෙසේ ශ්‍රාවකයන්ට දහම් දෙසයි “මහණෙනි, සිත කෙලෙසන, නුවණ දුර්වල කරන පංච නීවරණ ප්‍රහාණය කොට, සප්ත බොජ්ඣඞ්ග යථාර්ත වශයෙන්ම වඩව්” යි. ඇවැත්නි, අපිද ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසමු. “ඇවැත්නි, සිත කෙලෙසන, නුවණ දුර්වල කරන පංච නීවරණ ප්‍රහාණය කොට, සප්ත බොජ්ඣඞ්ග යථාර්ත වශයෙන්ම වඩව්” යි. ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන්ගේ හා අපගේ මේ ධර්‍ම දේශනාව වෙනස කුමක්ද? විශේෂත්වය කුමක්ද?”
මේ ආකාරයට සිත කෙලෙසන, නුවණ දුර්වල කරන පංච නීවරණ ප්‍රහාණය කොට, සප්ත බොජ්ඣඞ්ග යථාර්ත වශයෙන්ම භාවිත කිරීම විමුක්තිකාමී සමාජය තුළ බුද්ධ දේශනාවෙන් තොරව ද සිදු වූ භාවනාවන් ය.
මේ සියලු ම කාරණා ශූරත්වය හා සතිමත් බවින් යුතු විමුක්තිකාමී සමාජය තුළ පුරුදු කළ ප්‍රතිපදාවන් වේ. මේ ආකාරයට කොපමණ පුරුදු කළ ද එම ශාසන තුළ ශ්‍රමණයන්ගෙන් හිස් ම වේ. පංච උපාදානස්කන්ධ, ධාතු පිළිබඳව සොයමින් මේ ප්‍රතිපදාවන් පුරුදු කළ මේ ශ්‍රමණවරුන් ට සැබෑම ශ්‍රමණත්වය වන මගඵල ලැබීමට නොහැකි වූයේ බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වා දෙන ඒ ගැඹුරු ශුන්‍යතා ප්‍රතිබද්ධ ධර්මය නො ඇසෙන නිසා ය.

“රූපං භික්ඛවෙ, අනිච්චං දුක්ඛං විපරිණාමධම්මං අත්‍ථිසම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පි තං අත්‍ථීති වදාමි. වෙදනා අනිච්චා දුක්ඛා විපරිනාමධම්මං අත්‍ථිසම්මතා ලොකෙ පණ්ඩිතානං අහම්පි තං අත්‍ථීති වදාමි, සඤ්ඤා -පෙ- සඞ්ඛාරා අනිච්චා දුක්ඛා විපරිනාමධම්මා අත්‍ථිසම්මතා ලොකෙ පණ්ඩිතානං අහම්පි තං අත්‍ථීති වදාමි, විඤ්ඤාණං අනිච්චං දුක්ඛං විපරිනාමධම්මං අත්‍ථිසම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පි තං අත්‍ථීති වදාමි.” (සංයුත්ත නිකාය, ඛන්‍ධක වර්‍ගය, ඛන්‍ධ සංයුත්තය, මජ්ඣිම පණ්ණාසකය, පුප්ඵ වර්‍ගය, පුප්ඵ සූත්‍රය)
“මහණෙනි, රූපය අනිත්‍ය, දුක්ඛ, විපරිණාම ධර්‍ම යැයි ලොකයේ පණ්ඩිතයනගේ සම්මතයක් ඇත. මම ද එය ඇතැ යි වදාරමි. වේදනාව අනිත්‍ය, දුක්ඛ, විපරිණාම ධර්‍ම යැයි ලොකයේ පණ්ඩිතයනගේ සම්මතයක් ඇත. මම ද එය ඇතැ යි වදාරමි. සංඥාව අනිත්‍ය, දුක්ඛ, විපරිණාම ධර්‍ම යැයි ලොකයේ පණ්ඩිතයනගේ සම්මතයක් ඇත. මම ද එය ඇතැ යි වදාරමි. සංස්කාර අනිත්‍ය, දුක්ඛ, විපරිණාම ධර්‍ම යැයි ලොකයේ පණ්ඩිතයනගේ සම්මතයක් ඇත. මම ද එය ඇතැ යි වදාරමි. විඥානය අනිත්‍ය, දුක්ඛ, විපරිණාම ධර්‍ම යැයි ලොකයේ පණ්ඩිතයනගේ සම්මතයක් ඇත. මම ද එය ඇතැ යි වදාරමි.”
මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ නමකගේ පෙන්වා දීමෙන් තොරව ද විමුක්තිකාමී සමාජය තුළ වූ පණ්ඩිතයෝ පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය, දුක්ඛ, වෙනස්වන ස්වාභාවය පෙන්වා දුන්හ. බුදුරජාණන් වහන්සේ ද එකරුණු ඒ ආකාරයෙන්ම පෙන්වා වදාළේ “තමා” යන්නෙන් ශුන්‍ය බව විද්‍යමාන කරමිනි.
“කිඤ්ච ආනන්‍ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා: චක්ඛුං ඛො ආනන්‍ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා. රූපා සුඤ්ඤා අත්තෙන වා අත්තනියෙන වා, චක්ඛුවිඤ්ඤාණං සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, චක්ඛුසම්ඵස්සො සුඤ්ඤො අත්තෙන වා අත්තනියෙන වා යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා. යස්මා ච ඛො, ආනන්‍ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, තස්මා සුඤ්ඤො ලොකොති වුච්චතීති.” (සංයුත්ත නිකාය, සළායතන සංයුත්තය, ඡන්න වර්‍ගය, සුඤ්ඤතලොක සූත්‍රය)
“ආනන්‍දයෙනි, තමා හා තමාට අයිතීත්වයෙන් කුමක් ශූන්‍ය වේ ද? ආනන්‍ද, ඇස තමා හා තමාට අයිතීත්වයෙන් ශූන්‍ය වේ. රූප තමා හා තමාට අයිතීත්වයෙන් ශූන්‍ය වේ. ඇසේ දැනගැනීම තමා හා තමාට අයිතීත්වයෙන් ශූන්‍ය වේ. ඇසේ ස්පර්ශය තමා හා තමාට අයිතීත්වයෙන් ශූන්‍ය වේ. ඇසේ ස්පර්ශයෙන් උපදින සැප, දුක, අදුක්ඛමසුඛ විදීම් තමා හා තමාට අයිතීත්වයෙන් ශූන්‍ය වේ…… මනසේ ස්පර්ශයෙන් උපදින සැප, දුක, අදුක්ඛමසුඛ විදීම් තමා හා තමාට අයිතීත්වයෙන් ශූන්‍ය වේ. යම් සේ ආනන්ද තමා හා තමාට අයිතීත්වයෙන් ශූන්‍ය වේ ද ඒ හෙයින් ‘ලෝකය ශූන්‍ය’ යැ යි කියනු ලැබේ.”
බුදුරජාණන් වහන්සේ ‘තමා හා තමාට අයිති බවින් හිස්’, යන්න පිළිබඳ වූ දහමක් ලොවට පෙන්වා දුන්හ. මේ ආකාර ගැඹුරු ප්‍රතිපදාවන් සහිත විමුක්තිකාමීත්වයකින් යුතු සමාජයක පහළ වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොපමණ ගැඹුරු ද සහ ඊට යොමු වීමට කොපමණ හැකියාවක් තිබිය යුතු ද යන්න මනාව වටහා ගත හැකි වේ. එම නිසාම මූලික ම බුද්ධ වචනය කුමක් ද? යන්න වටහාගෙන ඒ තුළින් කියවෙන අර්ථය සෙවීමට යොමුවිය යුතු ම වේ.
ඒ මූලික බුදු වදනට යොමුවන ආකාරය මීළඟ ලිපියෙන් විමසා බලමු.

———————-
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි
රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය
වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *