සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 1

“බුදුරජාණන් වහන්සේ දේශනා කළ විමුක්ති මාර්ගයේ දී මුලින් ම සිදු වන්නේ සක්කාය දිට්ඨිය ප්රඥාවෙන් දැනගෙන එය ප්රහාණය කිරීමේ වැඩපිළිවෙළ වේ. එලෙස සක්කාය දිට්ඨිය ප්රඥාවෙන් දැනගැනීම සඳහා විමුක්තිකාමි නොවන සමාජයක ජීවත්වන අපට එකල පැවැති සමාජයීය පසුබිම හා විමුක්තිකාමී වැඩපිළිවෙළවල් දැනගැනීම වැදගත් වේ. ඒ හරහා බුදුරජාණන් වහන්සේ විසින් වදාළ, බුදුරජාණන් වහන්සේ නමකට පමණක් ආවේණික ප්රතිපදාව වෙන්කර දැනගැනීමට පහසු වේ. මේ ආකාරයට සක්කාය දිට්ඨිය ප්රඥාවෙන් දැනගෙන ප්රහාණය කරන ආකාරය මෙම ලිපි පෙළ තුළින් ඉදිරිපත් කරනු ලැබේ.”

මේ මහා භද්ර කල්පයේ සිව්වනුව ලොව පහළ වී වදාළ ශ්රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාරය වේවා.

නූතන ලෝකයේ ජීවත් වන මිනිසුන් තම තමන්ගේ සුඛ විහරණය ඇති කරගැනීමටත් කායික හා මානසික දුක් පීඩා දුරු කරගැනීමටත් කුඩා කාලයේ සිටම අධ්යාපන රටාවකට හුරු වෙමින් නවීන විද්යාවට අනුගත වෙමින් භෞතිකත්වය පාදක කරගෙන විවිධ කටයුතුවල යෙදෙමින් සිටිති. භෞතිකත්වය මූලික කරගෙන තම තමන් මානසිකව සිතන මට්ටම අනුව එකිනෙකා එම ආශ්වාදය විවිධාකාරයෙන් භුක්ති විඳිමින් සිටිති. කොපමණ ආශ්වාදයක් භුක්ති වින්ද ද එයින් කිසි ලෙසකින් කිසිවෙක් කිසි දිනෙක සෑහීමකට පත් වන්නේ ද නැත. එලෙසට සෑහීමකටපත් නොවන්නේ ම මානසික සැනසිල්ල භෞතිකත්වය මත පාදක කර ගන්නා නිසාය. භෞතික දේ පාදක වෙමින් කාමයන්ගෙන් ලැබෙන සැපය ද වෛද්ය විද්යාව තුළින් කායික මෙන්ම මානසික නිරෝගීකම් වලට විවිධ ක්රම උපායන් යොදා ගනිමින් කරන කටයුතු වලින් ද ස්ථිරසාර සැනසිල්ලක් ඇති නොවේ. එනමුදු නූතන මිනිසා එයම තවදුරටත් කරමින් ස්ථිරසාර සැනසිල්ලක් බලාපොරොත්තු වේ.

විමුක්තිකාමී සමාජය:

අතීතයේ මෙන්ම වර්තමානය තුළ ද දඹදිව සමාජය තුළ වෙනස්ම වූ ආකාරයකට සැනසීමක් සොයයි. එය එම සමාජයට ආවේණික වූ ලක්ෂණයක් නිසාය. බඹසරවිසීම, සිහිය පැවැත්වීම හා දක්ෂතාවය අතින් දඹදිව අග්ර වන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

සූරා, සතිමන්තො, ඉධ බ්රහ්මචරියවාසො. ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ඨානෙහි ජම්බුදීපිකා මනුස්සා උත්තරකුරුකෙ ච මනුස්සෙ අධිගණ්හන්ති දෙවෙ ච තාවතිංසෙති.( සූ.පි., අඞ්ගුත්තර නිකාය, නවක නිපාතය, ඨාන සූත්රය)
“උතුරුකුරු මිනිසුන්ට තව්තිසා දෙවියන්ට වඩා ශූරත්වයෙන්, සතිමත්බවින් සහ බ්රහ්මචරිය වාසයෙන් යන කරුණු තුනින් දඹදිව මිනිසුන් උසස් වේ.”

ලෝකයේ සියළුම මිනිසුන් භෞතික දියුණුවකින් සැනසීමක් සෙව්වද එය කිසිදාක ළඟ නොවන අතර කායික පහසු වියරණයක් හා කාමයන් ලබමින් අතෘප්තිමත්ව මරණයට පත්වේ. එනමුදු ජීවිතයේ සැබෑම මානසික සැනසිල්ල භෞතික දේ තුළින් ළඟාකර ගත නොහැකි බව ශූරත්වයෙන්, සතිමත්බවින් සහ බ්රහ්මචරිය වාසයෙන් අග්ර දඹදිව සමාජයේ ජනයා මානසික සුවය සොයන්නේ ස්ථිරසාර සැනසිල්ලක් ලැබීමටය. ස්ථිරසාර සැනසිල්ල වන විමුක්තිය සෙවීමට ආවේණික ගති ලක්ෂණ එම සමාජය තුළ අදටත් පවතී. නුතන විද්යාව දියුණුවී තිබියදීත් එම ගති ලක්ෂණ අදටත් වෙනස් නොවී පවතින්නේ එය සමාජයීය ලක්ෂණයක් නිසාය. බුදුරජාණන් වහන්සේ නමකගේ මඟ පෙන්වීමක් නැතිව විමුක්තිය සොයන සමාජීය පසුබිම දඹදිව් සමාජයේ හැර වෙන කිසිදු රටක වර්තමානයේ දකින්නට නොලැබේ.

නොයෙක් ආකාරයට විමුක්තිය සොයන මාර්ග මෙන්ම ඒවාට අනුගත වූ බොහෝ අය දඹදිව් සමාජය තුළ වර්තමානයේ ද දක්නට ලැබේ. දඹදිව තුළ අදටත් නිඝණ්ටයන් ඇතුළු තවත් ශ්රමණවරු එම ජීවිතය ගත කරන්නේ විමුක්තියක් සෙවීම සඳහාය. එමෙන්ම වනාන්තර, ජනශුන්ය ප්රදේශ ඇසුරු කරගෙන විවිධ භාවනා ක්රම යොදාගනිමින් සමාධි සමාපත්තීන් උපදවාගෙන බොහෝ අය අදටද වාසය කරන්නේ විමුක්තිය සෙවීම පිණිස ම ය. මේ කිසිවෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වූ මඟ අනුගමනය නොකර එම සමාජීය පසුබිම තුළින් විමුක්තිය ගවේෂණය කරති. මේ ආකාරයට වර්තමානයේත් දඹදිව් සමාජය තුළ විමුක්තිය සොයන්නේ නම් අතීතයේ කෙසේ තිබෙන්නට ඇතිද?

මෙයින් වසර 2600 කටත් එහා දඹදිව් සමාජය තුළ බොහෝ අය විවිධ ක්රමෝපායන් භාවිතා කරමින් විමුක්තිය සෙවූහ. එලෙසට විමුක්තිය සෙවූ අයට විවිධ ක්රම තුළින් විමුක්ත වූ බවද තම තමන්ට පසක් වී තෘප්තිමත් ජීවිතයක් ගත කරමින් සැබෑ ම මානසික සැනසිල්ලක් ලැබූහ. එලෙසට විමුක්තිය සොයන්න පටන් ගත්තේම අන් දෙයක් පාදක කරගනිමින් නොව, එම විමුක්ති මාර්ගයන් පෙන්වූ එකල සමාජයේ ජීවත් වූ ශ්රාස්තෘවරුන් කෙරෙහි පැහැදීම හා විශ්වාසය පෙරදැරිකරගෙනය. සම්පූර්ණයෙන්ම ආධ්යාත්මික පර්යේෂණක් නිසා එම සියලුම ප්රතිපදා ආරම්භය වන්නේ පැහැදීම හා විශ්වාසය වන ශ්රද්ධාව පෙරදැරිවයි. ආධ්යාත්මික පර්යේෂණ තුලින් දුකින් නිදහස් වීමේ ක්රමයන් සොයා ගත් බොහෝ ශාස්තෘවරු සිටියහ. නිගණ්ඨනාථ පුත්ර ඇතුළු ෂඩ් ශාස්තෘවරු විවිධ ක්රම උපායන් පෙන්වූයේත් තම තමන් ආධ්යාත්මිකව පර්යේෂණ කරමින් සොයාගත් විමුක්ති ප්රතිපදාවන් ය. එමෙන් ආලාර කාලාම, උද්දකරාම පුත්ත, අසිත, බාවරී, සංජය ආදී කොට බොහෝ ශාස්තෘවරු විවිධ සමාධි සමාපත්ති ලබමින් ඒ තුළින් ලබන විමුක්තිය පෙන්වූහ. ඒ සඳහා ශ්රද්ධාව යොමු කරගත් බොහෝ අය එම ප්රතිපදා අනුගමනය කොට එයට අනුව ඒ විමුක්තිය ලැබූහ. මෙසේ විමුක්තිය සොයන සමාජයකට සත්ය විමුක්තිය පෙන්වා දෙන සම්මා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වූහ.

බුදුන් උපන් සමාජය :
ශූරත්වය සතිමත්බව හා බ්රහ්මචරියාව අතින් ශ්රේෂ්ඨ මිනිසුන් සිටින දඹදිව මධ්ය දේශය තුළ බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වන විමුක්ති මාර්ගයෙන් තොරව ද බොහෝ විමුක්තිය සොයන ප්රතිපදාවන් පුරුදු කරන්නට විය. සිල් රැකීම්, තපස් රැකීම්, සමාධි සමාපත්ති ලැබීම් පමණක් නොව ඉන්ද්රිය ධර්ම දියුණු කිරීම්, බොජ්ඣංග භාවිතයන් ද භාවිතා කළහ. පන්සිල් පමණක් නොව විකාලයේ නොවැළඳීම ආදියත් රකිමින් ඉතාම සංවර ජීවිතයක් පුරුදු කළ බව බොහෝ සූත්ර මෙන්ම විනයේ ද සඳහන් වේ.
යෙපි ඛො තෙ බ්රාහ්මණානං පුබ්බකා ඉසයො මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො, යෙසමිදං එතරහි බ්රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමීහිතං තදනුගායන්ති, තදනුභාසන්ති, භාසිතමනුභාසන්ති, වාචිතමනුවාචෙන්ති සෙය්යථිදං: අට්ටකො, වාමකො, වාමදෙවො, වෙස්සාමිත්තො, යමතග්ගි, අඞ්ගීරසො, භාරද්වාජො, වාසෙට්ඨො, කස්සපො, භගු, රත්තූපරතා විරතා විකාලභොජනා. තෙ එවරූපානි පානානි සාදියිංසු. “සමණොපි ගොතමො රත්තූපරතො විරතො විකාලභොජනා. අරහති සමණොපි ගොතමො එවරූපානි පානානි සාදියිතු”න්ති පහූතං පානං පටියාදාපෙත්වා කාජෙහි ගාහාපෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි.( වි.පි., මහාවග්ග පාළිය, භේසජ්ජක් ඛන්ධකය)
“ඒ ශ්රමණ බ්රාහ්මණයෝ රාත්රි භොජනයෙන් වැළකුනෝ ය. විකාලයේ භොජනයෙන් තොර වූවෝ ය. ඔව්හු මෙබඳු පැන් ඉවසූහ. ශ්රමණ ගෞතමයන් වහන්සේද රාත්රි භොජයෙන් වැළකුනෝ ය. විකාලයේ භොජනයෙන් තොර වූවෝ ය. ශ්රමණ ගෞතමයන් වහන්සේද මෙබඳු පාන වර්ග ඉවසා වදාරනවා ඇත.”

එමෙන්ම උපෝසථ දවසට පිරිස එකතු වී දහම් දෙසීම ද, වස් වාසය කිරීම ද, බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වන විමුක්ති මාර්ගයෙන් තොරව ඒ විමුක්තිකාමී සමාජය තුළ තිබුණු තවත් වැදගත් කරුණු වේ.
“එතරහි ඛො අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතිත්වා ධම්මං භාසන්ති. තෙ මනුස්සා උපසඞ්කමන්ති ධම්මසවණාය. තෙ ලභන්ති අඤ්ඤතිත්ථියෙසු පරිබ්බාජකෙසු පෙමං. ලභන්ති පසාදං. ලභන්ති අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා පක්ඛං. යන්නූන අය්යාපි චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතෙය්යු’න්ති. සාධු භන්තෙ, අය්යාපි චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතෙය්යු”න්ති.” (වි.පි., මහාවග්ග පාළිය, උපෝසථක්ඛන්ධකය)
“අන්ය තීර්ථක පරිභ්රාජකයෝ පොහෝ දිනයන්හි රැස් වී මිනිසුන්ට ධර්මය කියා දෙති. මිනිස්සු ඒ ඇසීමට එම තීර්ථකාරාම කරා යන්නෝ ය. එයින් ඔවුහු අන්ය තීර්ථක පරිබ්රාජකයන් කෙරෙහි ප්රේමයත්, ප්රසාදයත් ලබති. එවිට ඒ අයගේ පිරිස වැඩිවී බලවත්වේ. අප ගේ ආර්ය්යයන් වහන්සේලාත් පොහෝ දිනයන්හි රැස් වන්නාහු නම් යහපතැයි බිම්බිසාර රජු භාග්යවතුන් වහන්සේට සැළකෙළේ ය.”

“කථං හි නාම සමණා සක්යපුත්තියා හෙමන්තම්පි ගිම්හම්පි වස්සම්පි චාරිකං චරිස්සන්ති, හරිතානි තිණානි සම්මද්දන්තා, එකින්ද්රියං ජීවං විහෙඨෙන්තා, බහූ ඛුද්දකෙ පාණෙ සඞ්ඝාතං ආපාදෙන්තා? ඉමෙ හි නාම අඤ්ඤතිත්ථියා දුරක්ඛාතධම්මා වස්සාවාසං අල්ලීයිස්සන්ති. සඞ්කාසයිස්සන්ති.” (වි.පි., මහාවග්ග පාළිය, වස්සූපනායිකක්ඛන්ධකය)
“කෙසේ නම් ශ්රමණ ශාක්ය පුත්රයෝ හෙමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ කොළ පාගමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරත් ද? මේ අන්ය තීර්ථක පරිබ්රාජකයෝ දුරක්ඛාත දහම් ඇතිව ද වස් විසීමෙහි ඇලෙත්, උත්සාහ රහිත ව නිතර එක් තැන්ව වසන්නාහු ය.”
මේ ආකාරයට නිවන් දැකීම සඳහා වූ බ්රහ්මචරියාව, ශ්රමණත්වය සහ ප්රතිපදාවන් එම විමුක්තිකාමී සමාජය තුළ පැවති අතර එවැනි ගුණ ධර්ම පුරන මිනිසුන් සිටින සමාජයක සම්මා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී තථාගතයන් වහන්සේ ට ආවේණික වූ වැඩපිළිවෙළ ඉස්මතු කළ සේක.

මතු සම්බන්ධයි.
අන්ය තීර්ථක පරිබ්රාජකයන් භාවිතා කළ ඉන්ද්රිය ධර්ම සහ බොජ්ඣඞ්ග පිළිබඳව ඊළඟ ලිපියෙන් විමසා බලමු.
””””””””””””””””””””””””””””””””’
පූජ්ය අලව්වේ අනෝමදස්සි හිමි

Leave a comment

Your email address will not be published. Required fields are marked *


The reCAPTCHA verification period has expired. Please reload the page.